×

මාසයකට පොත් 100 ක් කියවන්න ක්‍රමයක්! – Blinkist app

අන්තර්ජාලයේ කාලය කා දැමූ යුගයට තිත තබා, ඒ කාලයෙන් වැදගත් පොත් කියවන්න පුළුවන් ඇප් එකක් දැන් තිබෙනවා.


Blinkist ඇප් එක ගැන ඔබ අසා තිබෙනවාද?

මාසයකට පොත් 100 ක්! විශේෂයෙන්ම ප්‍රබන්ධ නොවන, කතා පොත් නොවන පොත් 100 ක්! හිතාගන්නවත් බැහැ! ඒක තමයි, ඕනෑම කෙනෙකුට මුලින්ම හිතෙන දේ. නමුත් මේ කාන්තාව, ජර්මනියේ තෙරේස් එහෙම කරනවා. ඇයට බර්ලින් නුවර ජීවත් වන ව්‍යාපාර සංවර්ධන කළමනාකාරවරියක්. ඉතින් ඇයට කොහෙන්ද මේ හැටි වෙලාවක්? ඔබට එහෙම හිතෙන්න පුළුවන්.

තෙරේස් මේ හපන්කම කරන්නේ තනිකරම තාක්ෂණයේ පිහිටෙන්. ඇය ඒ සඳහා Blinkist කියන app එක එහෙමත් නැතිනම් යෙදවුම පාවිච්චි කරනවා.

මෙයට ටික කලකට පෙර, මෘදුකාංගයක් ඇසුරෙන් ප්‍රබන්ධමය නොවන පොත්වල සාරය ග්‍රහණය කර ගැනීම ගැන ඇයට මුල්ම අදහස ආවේ මිතුරියක් කළ අභියෝගයක් නිසයි. ඇයට ලැබුණු අභියෝගය තමයි, මැල්කම් ග්ලැඩ්වෙල් ගේ Outliers: The Story Of Success පොත, පැය 2 කින් කියවන්න කියන එක. ඇයට පොතේ මුල් ටික වේගයෙන් කියවා ගන්නට හැකි වුණත් පසුව සෙමෙන් සෙමෙන් ඇගේ වේගය බාල වුණා. පොත කියවා අවසන් කරන්න පැය 3 ක් ගත වුණත්, ඒ වන විට අලුත් අදහසක් ඇගේ හිතේ විදුලි කොටන්න පටන් අරගෙන.

පොත්, බයිට්ස්වලට හරවන වෙබ් අඩවි, බ්ලොග් සහ ඇප්ස් තියෙනවාද සොයමින් ඇය පැය ගණනාවක්ම අන්තර්ජාලයේ ගත කළා. අවසානයේ ඇය තෝරාගත්තේ Blinkist app එක. මේ ඇප් එක මගින් දැනට අලෙවි වාර්තා තබා ඇති ප්‍රබන්ධමය නොවන (මනෝවිද්‍යාව, දේශපාලනය, නායකත්වය, සාර්ථකත්වය වැනි මාතෘකා ගැන ලියැවුණු) පොත් 2000 කට වඩා ඩිජිටල් ක්‍රමයට පුස්තකාලගත කර තිබෙනවා. එම පොත් තෝරාගැනීමේදී මෙම ඇප් එක ලොව පුරා සිටින පුස්තකාල විශේෂඥයන්ගෙන් සහාය ලබාගන්නවා. උවමනා නම් ඕඩියෝ බුක්ස් විදිහටත් මේ පොත් ‘අසන්නට‘ පුළුවන්.

ඉතින් තෙරේසා ට මේක හොඳ sidekick එකක් වුණා. ඇය තමන්ට ම ඉලක්කයක් තියාගත්තා. ඒ තමයි, මාසයකට පොත් 100 ක තිබෙන වැදගත්ම දේවල් (key insights) කියවා මතක තියාගන්නවා කියන ඉලක්කය. හොඳින් මනස එක්තැන් කරගෙන Blinkist හරහා කියවන විට එක පොතක් විනාඩි 10 ක් 15 ක් අතර වේලාවක කියවා අවසන් කරන්න පුළුවන් බව ඇය කියනවා. දිනකට පොත් 3 ක් ඇය සාමාන්‍යෙයන් කියවනවා. වැඩ පාඩු කරගෙන නෙවෙයි, වැඩිපුරම කෝච්චියේ කාර්යාලයට යන අතරමග තමයි, ඇය මේ විදිහට පොත් කියවන්නේ.

මාසයකට පොත් 100 ක්!

ඩේල් කානගී ගේ ධනාත්මක චින්තනය ගැන පොත්, රිචඩ් හෝකින්ස්ගේ මනුෂ්‍ය වර්ගය පිළිබඳ අධ්‍යයන, Dan Ariely ගේ මානව හැසිරීම ගැන ලියූ Predictably Irrational වගේ පොත් ඇගේ ප්‍රියතම පොත් ලැයිස්තුවේ තිබෙනවා. මෙතෙක් කල් සමාජ ජාල වලත් Netflix වගේ වෙබ් අඩවිවලත් සැරිසරමින් කාලය කා දැමූ තෙරේසාගේ ජීවිතය දැන්, ඊට වඩා බොහෝ සෙයින් ඉලක්කගත දෙයක් බවට පත් වී තිබෙනවා.

ඉතින් ඔබත් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයන පසුබිමක් සහිත හෝ ප්‍රබන්ධමය නොවන පොත් හෝ කියවන්න කැමති කෙනෙක් නම්, Blinkist app එකට ලියාපදිංචි වී ලෝකයේ දැනුම, ඔබ ළඟට ගෙන්වා ගන්න. ඒ විතරක් නෙවෙයි, බස් එකේ, දුම්රියේ මහමගට නාස්ති වෙන කාලය, මොළයට ඔසුවක් බවට පත් කරගන්නටත් මේ ක්‍රමයෙන් ඔබට පුළුවන් කම ලැබෙනවා.  https://www.blinkist.com/en/nc/library/ මගින් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එක (සබැඳිය) ලබාගන්න පුළුවන්.

මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පහසුකම් තිබෙන ඕනෑම වර්ගයේ  ජංගම දුරකථනයක් විතරයි, මේ වැඩේට අවශ්‍ය වන්නේ. මුලින්ම ඔබට දින 7 ක free trail period එකක් ලැබෙනවා. ඒ කාලය තුළ ඕනෑම වේලාවක එයින් ඉවත් වන්නටත් පුළුවන්. මාසයකට අලුත් පොත් 50 ක් සමග යාවත්කාලීන වන බ්ලින්කිස්ට් ඔන්ලයින් පුස්තකාලය පැත්තෙ, නොමිලේම රවුමක් ගිහින් එන්න අමතක කරන්න එපා..

ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා සබැඳිය-

https://www.blinkist.com/en/nc/library/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි