×

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ඇවිලෙයි: ඉතිං මට ගානක් වත් නෑ නෙ.. බොරිස් ජොන්සන් කියයි!

දැන් එංගලන්තේ ජොනී ගේ ප්‍රකාශ, රටම ගිනිගෙන පුපුරා යාමට ඔන්න මෙන්න තිබිය දී, 'අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දේ දීලා තිබෙනවා නේ. ඒ ජනවරමට කිසිවක් වන්නේ නැහැ,' යැයි වරක ශ්‍රී ලංකාවේ ජොනී කෙනෙකු කළ ප්‍රකාශය හා බොහෝ සෙයින් සමානය...


ඉකුත් සිකුරාදා (24) එක්සත් රාජධානියේ පැවැත්වූ අතුරු මැතිවරණයෙන් පාලක පක්ෂය වන බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට අන්ත පරාජයක් අයත් විය. මෙසේ කන්සර්වේටිව් පක්ෂයට අහිමි වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික දක්ෂිණාංශික කුළුණක් වන දකුණු කලාපයේ පිහිටා ඇති ටිවර්ටන් සහ හොනිටොන් ය.  ඡන්ද 24,000 කින් පාලක පක්ෂයට එම ආසන අහිමි වී ඇත. එමෙන්ම උතුරු කලාපයේ පිහිටා ඇති කලක කාර්මික විප්ලවය ජයගත්, එහෙත් කම්කරු පක්ෂ පාලනයෙන් 2019 වර්ෂයේදී ගිලිහී ගිය වේක්ෆීල්ඩ් ද මෙවර කන්සර්වේටිව් පක්ෂයට අහිමි වී තිබේ.

අතුරු මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් අහිමි වූ අතර, මෙමඟින් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ ඇතිවූ කැළඹීම හමුවේ එම පක්ෂයේ සභාපති ඔලිවර් ඩෝව්ටන් ද එදිනම ඉල්ලා අස්වීම සිදුවිය.

මේ අතර, කන්සර්වේටිව් පක්ෂ නායක වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එරට විපක්ෂයෙන් පමණක් නොව පාලක පක්ෂයෙන් ද බලපෑම් එල්ල වීමට පටන් ගෙන තිබේ. කුප්‍රකට පාර්ටිගේට් සිදුවීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කෙරේ එල්ල වූ අප්‍රසාදය බොම්බයක් පුපුරා යන්නාක් මෙන් උඩුදිව ගිය අතර, එරට යම් දේශපාලන අස්ථාවරභාවයක් ඇති කිරීමට ද සමත් විය.

මේ දැවැන්ත අතුරු මැතිවරණ පරාජයත් සමඟ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස එල්ල වන බලපෑම එන්න එන්නම වැඩිවන අතර බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය තුළ ද විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ. කෙසේවෙතත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ තමා ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිඳු හේතුවක් නොමැති බවත්, ඉල්ලා අස්වූ තම පක්ෂ සභාපති ඔලිවර් ඩෝව්ඩන් ගේ කළකිරීම තමාට වැටහෙන මුත් බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂය යනු ‘මීට වසර දෙකකට’ පෙර අති බහුතර ජනවරමකින් බලයට පත්වුනු පක්ෂයක් බැවින් ඉදිරියටත් එම ජයග්‍රහණය ගත හැකි බවත් ය.

එය රටම ගිනිගෙන පුපුරා යාමට ඔන්න මෙන්න තිබිය දී, ‘අපේ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දේ දීලා තිබෙනවා නේ. ඒ ජනවරමට කිසිවක් වන්නේ නැහැ,‘ යැයි වරක ශ්‍රී ලංකාවේ දේශපාලඥයකු කළ ප්‍රකාශය හා බොහෝ සෙයින් සමානය.

බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ මතුව ඇත්තේ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයට ඉතාම අවාසිදායක කාලපරිච්ඡේදයක් බවය. බ්‍රිතාන්‍යයේ ජීවන වියදම අහස උසට නැඟ ඇති අවස්ථාවක, උද්ධමනය පාලනය කර ගැනීමට රජය අපොහොසත් වී ඇති අතර, බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ප්‍රමුඛ එරට විපක්ෂය පාර්ශවයෙන් දිගින් දිගටම එල්ල වන චෝදනාව වන්නේ රජයේ අක්‍රමිකතා රැසක් තිබෙන බවයි.

දැනට වාර්තා වන අන්දමට බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයන් ගෙන් සියයට 41 පමණ පක්ෂ නායක අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට විරෝධය පළ කරන අතර, ද ගාඩියන් පුවත්පත වාර්තා කරන අන්දමට අද (27) දින කළ විමසීමක දී බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙන්නේ කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් තමාට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව තමා කණස්සල්ලට පත් නොවන බවයි. පක්ෂයේ නායකත්වය පිළිබඳව මතුව ඇති අර්බුදය මීට සති කිහිපයකට ඉහත විසඳුනු බවත්, තමා තවමත් එම පක්ෂයේ නායකයා බවත් ඔහු මාධ්‍යයට පවසා ඇත.

දිනෙන් දින දේශපාලන පිටිය තුළ සහ ජන පිටිය තුළ ගොඩනැඟෙන විරෝධය හමුවේ මහත්මා ලෙස පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් වූ ඔලිවර් ඩෝව්ටන් සහ තක්කඩිකම ඉවවහා යමින් පුටුව රැකගැනීමට නන් දොඩන බොරිස් ජොන්සන් තුළින් බ්‍රිතාන්‍ය දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මනා තක්සේරුවක් ගොඩනඟා ගැනීමට හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි