එහි අභ්‍යන්තර සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව වාර්තා වේ.
රියෝද ජෙනෙයිරෝ නුවර පිහිටා තිබූ මෙම කෞතුකාගාරය, රටේ කෞතුකාගාර විද්‍යාව සම්බන්ධයෙන් පැවති පැරණිතම ආයතනය වේ.
ඇමරිකානු මහද්වීපයන්හි තිබූ පැරණිතම මානව අවශේෂ ඇතුළු අයිතම මිලියන 20 ක් පමණ එහි තිබූ බව විශ්වාස කරන අතර, එයින් වැඩි කොටස දැවී හළු වී යන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙය ඇමරිකානු මහද්වීපයන් දෙකෙහි (උතුරු ඇමරිකාවේ සහ දකුණු ඇමරිකාවේ) ස්වභාව විද්‍යා ඉතිහාසය සහ මානව විද්‍යා ඉතිහාසය පිළිබඳ වැඩිම සාක්ෂි ප්‍රමාණයක් දරා සිටි ස්ථානයයි.
ඒ අනුව ඩයිනසෝර ඇටකටු මෙන්ම මානව ඉතිහාසයේ පැරණිතම සාමාජිකාව වශයෙන් සැලකෙන ලුසියාගේ පොසිලය ද තැන්පත් කර තිබුණේ මෙහිය. මෙය වසර 12,000 ක් පමණ පැරණි ය.
ප්රාග් කොළොම්බියානු යුගයට අයත් විවිධ නෂ්ටාවශේෂ මෙන්ම රෝමානු සහ ඊජිප්තු දේශයෙන් ගෙන ආ වස්තූන් රාශියක් ද මෙහි විය.
1818 වසරේදී මෙම ගොඩනැගිල්ල බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරය බවට පත් කරන ලද්දේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධන කිරීමේ මූලික අරමුණ ඇතිව ය.
ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත. මෙම අනතුරින් කිසිවෙකු තුවාළ ලබා නැති බව ද සඳහන් වේ.
මෙම කෞතුකාගාරය පිහිටා තිබූ ගොඩනැගිල්ල අතීතයේදී පෘතුගාල රාජකීය පවුල පදිංචි ස්ථානය වශයෙන් භාවිතයට ගත් එකකි. එය 200 වැනි සංවත්සරය සැමරුවේ ද මෙම වර්ෂයේදී ය.
ඉරිදා හවස ගිනි ගැනීම සිදු වී තිබෙන්නේ කෞතුකාගාරය වසා දැමීමෙන් පසුව ය. බ්‍රසීල රූපවාහිනිය මගින් විකාශය කළ රූපරාමු මගින් එම ගින්න ගොඩනැගිල්ල හරහා වේගයෙන් පැතිර යන ආකාරය දැක්විණි.
රියෝ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත්සේවය සමග පවසා තිබෙන්නේ කෞතුකාගාරය අසල පිහිටා තිබූ ජල නළ ද ක්‍රියාවිරහිත වූ බැවින් අසල විලකින් ජලය ගෙනැවිත් ගින්න නිවීමට සිදු වූ බවයි. මුළු ගොඩනැගිල්ලම ගින්නෙන් විනාශ වන තෙක් එය නිවා දැමීමට අපොහොසත් වීමට හේතුව මෙය බවට සැලකේ.
මෙය හුදෙක් බ්‍රසීල ඉතිහාසයේ සංරක්ෂණාගාරයක් පමණක් නොව, රියෝ නගරයේ ප්‍රධානතම සලකුණක් ද විය. 2016 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා අති දැවැන්ත මුදල් සම්භාරයක් පොම්ප කිරීමෙන් පසු දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීම හේතුවෙන් මෙම කෞතුකාගාරය කෙරෙහි ද නිසි පරිදි අයවැය වෙන්කිරීමක් පසුගිය වසර දෙක තුළ සිදුවී නොතිබිණි. කෞතුකාගාර සේවකයන් ද අවස්ථා කිහිපයකදීම මෙය නඩත්තුව සඳහා අරමුදල් වෙන් නොකිරීම සහ එය ජරාවාස වෙමින් යාම පිළිබඳ සිය කණගාටුව පළ කර තිබිණි.
මේ අනුව බ්‍රසීල කෞතුකාගාරය ගින්නෙන් විනාශ වීම සැලකෙන්නේ බ්‍රසීලය පමණක් නොව මුළු ලෝකයම මුහුණ දුන් සංස්කෘතික ඛේදවාචකයක් ලෙස ය.