×

ජමාල් මරා දමන ලදී !

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයේදී ඇති වූ ගැටුමකින් පසු සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ජීවිතක්ෂයට පත් වූ බව සෞදි අරාබියේ රාජ්‍ය රූපවාහිනී සේවය කියා සිටී.


Jamal Khashoggi case: Saudi Arabia says journalist killed in fight

රූපවාහිනී නාලිකාව මේ බැව් කියා සිටියේ සෞදි රජය නිකුත් කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

තම දික්කසාදයට අදාළ ලියකියවිලි ලබාගැනීම සඳහා පසුගිය දෙවැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදී ජමාල් ගැන මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවිණ. සෞදි බලධාරීන් වරක් කියා සිටියේ ජමාල් සිය රාජකාරී කටයුත්ත නිමකර කොන්සල් කාර්යාලයෙන් බැහැරට නික්මුණු බවකි. කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පිවිසි ජමාල් ඛෂෝගී ඉන් බැහැර වූ බවට කිසිදු සාක්ෂියක් නොතිබිණ. ලොව බලවත් රාජ්‍යය, ව්‍යාපාරික ප්‍රජාව, මාධ්‍ය සංවිධාන, අන්තර්ජාතික මට්ටමේ මූල්‍ය ආයතන ආදිය ජමාල්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සෞදි රජය දෙසට ඇඟිල්ල දිගු කරන්නට පටන් ගත්තේය. මෙතෙක් ඒ සම්බන්ධයෙන් හරියාකාර පිළිතුරක් දීම මඟ හැර සිටි සෞදි බලධාරීහු ජමාල් ජීවිතක්ෂයට පත් වූ බව රාජ්‍යය රූපවාහිනී සේවාව හරහා ප්‍රචාරය කිරීමට පළමුවරට කටයුතු කළහ.

This is the first time Saudi Arabia has admitted the death of Jamal Khashoggi AFP/GETTY

This is the first time Saudi Arabia has admitted the death of Jamal Khashoggi AFP/GETTY

සිද්ධියට සම්බන්ධ යැයි කියන දෙදෙනකු ඔවුන් දැරූ තනතුරුවලින් පහ කළ බවත් පුවතින් කියැවිණ. මෙසේ සේවයෙන් පහ කර තිබෙන්නේ සෞදි බුද්ධි අංශ සේවාවෙහි උප ප්‍රධානී මේජර් ජෙනරාල් අහ්මද් අල් – අස්සිරි සහ මොහම්මද් බින් සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සවුද් අල් – ඛහ්ටානි යන දෙදෙනායි. සවුද් අල් – ඛහ්ටානි සෞදි රාජකීය අධිකරණයේ කැපී පෙනෙන චරිතයක් බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. යේමනය සම්බන්ධයෙන් සෞදි මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මේජර් ජෙනරාල් අහ්මද් අල් – අස්සිරි කටයුතු කරමින් සිට ඇත.

මේ අතර, සෞදි බුද්ධි අංශ සේවාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත් මොහම්මඩ් සල්මාන් කුමරු නියෝග කර තිබේ. එම කමිටුවේ ප්‍රධානියා ලෙස මොහම්මද් සල්මාන් කුමරු ක්‍රියා කිරීමට නියමිත බව සඳහන් වේ. මේ තොරතුරු මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණේ මොහම්මද් සල්මාන් කුමරු තුර්කි ජනාධිපති රෙසේප් තය්යිප් එර්ඩොගන් සමඟ දුරකතන මාර්ගයෙන් සාකච්ඡාවක නියැලීමෙන් ස්වල්ප වෙලාවකට පසුවය.

Turkish forensic investigators have already searched the Saudi consulate and consul's residence AFP

Turkish forensic investigators have already searched the Saudi consulate and consul’s residence AFP

සෞදි බලධාරීන්ගේ ප්‍රකාශය නිකුත්වීමෙන් පසු ඇමෙරිකාවේ ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජමාල් ඛෂෝගීගේ මරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි ලෙස ශෝකයට පත්වන බවකි.

සිදු වූයේ යැයි කියා සෞදිය ප්‍රකාශ කරන දෙය පිළිගත නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රුම්ප් පවසයි. වටමේස සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රුම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඉතා වැදගත් සහ පළමු පියවර යැයි කියාය. සිද්ධිය සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියාත්මක වීම අවශ්‍යය බවත් සෞදියට එරෙහිව පැනවෙන සම්බාධක විකල්පයක් බවත් ට්‍රුම්ප් එහිදී පෙන්වා දී තිබිණ.

Turkish officers have searched the Saudi consulate AFP/GETTY

Turkish officers have searched the Saudi consulate AFP/GETTY

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී, තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයේදී ඝාතනය වී ඇතැයි කියා ස්ථිර ලෙස පළමුවෙන්ම ප්‍රකාශ කළේ තුර්කි බලධාරීන්ය. කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පිවිස මඳ වෙලාවකට පසු ජමාල්ගේ කෑගැසීම් හඬ ඇසී ඇත. එම හඬ ඇතුළත් හඬ පටිගතවීමක් තුර්කි බලධාරීන් අතට පත්ව තිබිණ. එහි අඩංගු තොරතුරු අනුව ජමාල් දැඩි ලෙස වධ හිංසනයන්ට ලක්ව ඇති බව තුර්කි බලධාරීහු අනාවරණය කළහ. ජමාල් ජීවතුන් අතර සිටියදීම ඔහුගේ අතැඟිලි කපා දමන්නට හෝ ශරීරය කොටස්වලට වෙන් කරන්නට හෝ ඇති බවත්, කිසියම් විෂක් ශරීරගත කර අනතුරව ඔහුව සදහටම නිහඬ කරන්නට ඇති බවත් තුර්කිය කියා සිටියේය. එසේ වුවත් ජමාල්ගේ දේහය හෝ දේහ කොටස් හෝ කොතැනක වීද යන්න ගැන පැහැදිලි සාක්ෂියක් නොතිබිණ. නම සඳහන් නොකළ තුර්කි නිළධාරියකු අවසානයේදී පැවසුවේ ජමාල්ගේ දේහය හෝ දේහ කොටස් හෝ තුර්කියේ ඉස්තාන්බුල් නුවර බෙල්ග්‍රේඩ් වනාන්තරයට හෝ වගා බිමකට හෝ විසිකර දමන්නට ඇති කියාය.

සෞදි අරාබිය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු මත පදනම් වෙමින් මාධ්‍ය ආයතන මෙන්ම වෙනත් ක්ෂේත්‍රවල බලධාරීහු ද නොයෙක් ආකාරයේ මත ඉදිරිපත් කරමින් සිටිති. සෞදිය දැන් ක්‍රියාකරමින් සිටින්නේ ජමාල් ඛෂෝගීගේ මරණය සෞදි අරාබිය කලින් සැලසුම් නොකරන ලද්දක් බව ලෝකයට ඇඟවීමටයැයි කියා එම මතධාරීහු පවසන්නෝ ය .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි