×

වසූරිය වැනි වසංගතයක් අත ළඟයි !

වසූරිය පවුලේ වෛරසයක් බ්‍රිතාන්‍යයේ පැතිරී යනු ඇතැයි කියා සැක මතු වේ.


“මන්කිපොක්ස්” (Monkeypox) යනුවෙන් හැඳින්වෙන රෝගයකින් පෙළෙන රෝගීන් තිදෙනෙකු බ්‍රිතාන්‍යයෙන් මේ වනවිට වාර්තා වී තිබේ. මන්කිපොක්ස් රෝගය ඇති කරන්නේ මන්කිපොක්ස් යනුවෙන් හැඳින්වෙන වෛරසයකිනි. මේ වෛරසය “ස්මොල්පොක්ස්” (smallpox) හෙවත් වසූරිය ඇති වෛරසය ඇතුළත් පවුලේම වෛරසයක් බව විද්‍යාඥයෝ අනාවරණය කරති. කෙසේ වුවත් මන්කිපොක්ස් රෝගය, වසූරිය තරම් තදබල රෝගයක් නොවන බවත් ආසාදනය වීමේ හැකියාව පවා අඩු මට්ටමක පවතින බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත.

උණ, හිසරදය, ඉදිමීම, තුනටියේ වේදනාව, උදාසීන බව යන රෝග ලක්ෂණ මන්කිපොක්ස් රෝගීන් තුළ මුලින්ම දකින්නට පුළුවන. පසුව ඔවුන්ගේ සමෙහි දදයක් ඇති වේ. දද ඇතිවන මුල් අවස්ථාවේදී ඒවා දැකිය හැකි වන්නේ රෝගියාගේ මුහුණෙහිය. ඉන්පසු ශරීරයේ සෙසු කොටස්වලත් දද ඇතිවන්නට පටන් ගනී. අත්ලෙහි, පත්ලෙහි වැඩිපුර දද ඇතිවමට ඉඩ තිබේ. දද ඉතා තද කසන ගතියකින් යුක්තය. දදවල ස්වභාවය ඉතා ඉක්මනින් වෙනස් වන්නට පටන් ගැනේ. දද ආශ්‍රිත සම ගැලවී ඒවා තුවාල බවට පත්වන්නට වුව පුළුවන. ආසාදනය 14 ත් දින 21ත් අතර කාලයක් තිබී පසුව අනුක්‍රමයෙන් පහව යන බව වෛද්‍යවරු පවසති.

මන්කිපොක්ස් වෛරසයෙන් ආසාදිත තත්ත්වයට පත්වූවන් වසූරිය රෝගයෙන් පෙළෙන්නවුන්ට සමාන ස්වරූපයක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. වසූරිය තරම් තදබල රෝගයක් නොවන බව පැවසුවත් මන්කිපොක්ස් ආසාදිතයෝ සමහර අවස්ථාවලදී බෙහෙවින් බරපතල තත්ත්වවලට මුහුණ දෙති. මන්කිපොක්ස් නිසා සිදු වූ මරණ 10ක් පමණ අප්‍රිකා රටවලින් වාර්තා වී ඇත. එමඟින් පෙනෙන්නේ මන්කිපොක්ස් වුව මාරාන්තික බවය.

නිරෝගී පුද්ගලයකු මන්කිපොක්ස් වෛරසයෙන් ආසාදනය වන්නේ, මන්කිපොක්ස් නිසා ආසාදිත තත්ත්වයට පත් පුද්ගලයකු ඇසුරෙහි සිටීම නිසාය. රෝගියකුගේ තුවාල සහිත සමෙන්, ශ්වසනයෙන්, අක්ෂිවලින්, නාසයෙන් හෝ මුඛයෙන් හෝ වැගිරෙන ශ්‍රාවයන් හරහා වෛරසය සම්ප්‍රේෂණය වන බව හෙළිවී තිබේ.

වඳුරන්ගේ දේහවල තිබී මන්කිපොක්ස් වෛරසය පළමුවෙන්ම හඳුනාගෙන ඇත. මධ්‍යම සහ බටහිර අප්‍රිකා රටවල ඉතාමත් දුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල මේ වෛරසය සහිත වඳුරන් සිටින බව විද්‍යාඥයෝ පවසති. විශේෂයෙන්ම පළමුව කී අප්‍රිකා රාජ්‍යවල නිවර්තන වැසි වනන්තර ආශ්‍රිතව ජීවත්වන වඳුරන් තුළ වෛරසය දැකිය හැකි බව පැවසේ. වෛරසයෙහි ප්‍රධාන ප්‍රභේද දෙකක් ඇති බව හඳුනාගෙන ඇත. ඉන් එකක් නම් කර තිබෙන්නේ බටහිර අප්‍රිකා ප්‍රභේදය යනුවෙනි. අනෙක් ප්‍රභේදය මධ්‍යම අප්‍රිකා ප්‍රභේදය යනුවෙන් හැඳින් වේ.

බ්‍රිතාන්‍යයයෙන් වාර්තා වුණු ආසාදිතයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම නයිජීරියාවේ සංචාරය කර බ්‍රිතාන්‍යයට ඇතුළුවූවන් බව වාර්තා වේ.

වෛරසයෙන් ආසාදිත තත්ත්වයට පත් තෙවැන්නා බ්‍රිතාන්‍යයේ බ්ලැක්පූල් රෝහලේ සේවය කරන හතළිස් හැවිරිදි සෞඛ්‍ය සේවිකාවකි. ඇයව බ්‍රිතාන්‍යයේ නිව්කාසල්හි රාජකීය වික්ටෝරියා රෝහලට ඇතුළු කර ප්‍රතිකාර ලබාදෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය සේවා පෙන්වා දෙයි.

එකී රෝහල තිබෙන්නේ ඈ ජීවත්වන ලන්කෂියර්හි ෆ්ලීට්වුඩ් සිට කිලෝමීටර150ක් පමණ ඈතිනි. ආසාදිතයකුට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියට සහභාගිවීම හේතුවෙන් ඈ ආසාදනය වන්නට ඇතැයි කියා සැක කෙරේ.

මන්කි ෆොක්ස් බ්‍රිතාන්‍යයට ආ හැටි..| dailymail

මන්කි ෆොක්ස් බ්‍රිතාන්‍යයට ආ හැටි..| dailymail

ඈ එම රාජකාරිය කර තිබෙන්නේ අත් ආවරණ පැළඳගෙන බැව් අනාවරණය වී තිබේ. එසේ වුවත් අත් ආවරණවලින් ආවරණය නොවන කොටස් හරහා වෛරසය ශරීරගත වන්නට ඇති කියා වෛද්‍යවරු පවසති. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආසාදිත තත්ත්වයට පත් වඳුරන්, මීයන් සහ ලේනුන්ගෙන් වෛරසය ඍජුවම ශරීරගත වන්නට ඉඩක් ඇති බවය.

එසේ වුවත් ආසාදිතයකු පරිහරණය කිරීම නිසා දූෂ්‍ය තත්ත්වයට පත් භාණ්ඩ – එනම් ඇඳ ඇතිරිලි, වස්ත්‍ර ආදිය ස්පර්ශ කිරීම නිසාත් වෛරසය තවත් කෙනෙකුගේ ශරීරයට ඇතුළුවන්නට ඉඩ ඇත. රෝගී තත්ත්වයට පත්වන්නට ආසන්න අවස්ථාවේදී ඈ ඇසුරු කළ ඇගේ පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට එරට සෞඛ්‍ය බලධාරීන් එනිසා තීරණය කර තිබේ.

1970 සිට මේ දක්වා ගෙවුණු කාලය තුළදී අප්‍රිකා රාජ්‍ය දහයකින් පමණ මන්කිපොක්ස් වසංගතය විටින් විට වාර්තා වූ බව මාධ්‍යය වර්තාවලින් කියැවේ. අප්‍රිකා මහද්වීපයෙන් බැහැර තැනෙකින් මන්කිපොක්ස් රෝගීන් පළමුවෙන්ම වාර්තා වූයේ නම් ඒ 2003 වසරේදී ඇමෙරිකා එක්සත් රජධානියෙනි. මන්කිපොක්ස් රෝගය එකල ඇමෙරිකාවේ වසංගතයක් මට්ටමට පත් ව තිබිණ. එහි පුද්ගලයෝ 70කට ආසන්න සංඛ්‍යාවක් රෝගී තත්ත්වයට පත් වූහ. එසේ වුවත් ආසාදිත කිසිවකු ජීවිතක්ෂයට පත් වූයේ නැත. වාර්තාවන්හි දැක්වෙන අන්දමට වසංගතය ඉතාමත් බරපතල තත්ත්වයක තිබී ඇත්තේ නයිජිරියාවෙහිය. පසුගිය වසරේදී එකී තත්ත්වය නයිජීරියාවේ දැකිය හැකි විණ. ඒ අනුව ආසාදිතයන් එකසිය හැත්තෑ දෙදෙනෙකු ගැන තොරතුරු වාර්තා වී ඇත. එයින් 75%ක්ම 21ත් 40ත් අතර වයස් ඛණ්ඩයේ පසු වූවන් වීම තවත් විශේෂත්වයකි.

මන්කිපොක්ස් රෝගය මඩින්නට හැකි ඖෂධයක් නැත. වසංගත තත්ත්වය මර්දනය කළ හැකි වන්නේ ආසාදනයන් වැළක්වීමෙන් පමණක් බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය බලධාරීහු පවසති. වසූරියට ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත මන්කිපොක්ස් රෝගය සඳහාත් 85%කින් පමණ ඵලදායි ලෙස ක්‍රියාත්මක වියහැකි බව ඇතැම් වෛද්‍යවරු පවසති. ඒ නිසා එකී ප්‍රතිශක්තිකරණ එන්නත ගැන තරමක විශ්වාසයක් ඇත. කෙසේ වුණත් වෛරසය පැතිර යන අතරතුර එහි ප්‍රවේණික ද්‍රව්‍ය වේගයෙන් පරිණාමයකට ලක්වන බව විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇත.

ලන්ඩනයේ ක්වින් මේරි විශ්වවිද්‍යාලයේ වෛරස අධ්‍යන විද්‍යාංශයේ ජෝන් ඔක්ස්ෆර්ඩ් පවසන්නේ සතුන්ගෙන් ඇතිවිය හැකි මහා විශාල වසංගතයකට මුහුණදීමට ලෝකයාට ඉදිරියේදී සිදුවනු ඇති බවකි. එය මන්කිපොක්ස්දැයි කියා හරියටම කියන්නට බැරිවුණත් එය නොවේ යැයි කියා කිසිවකුට කිව නොහැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

සතුන්ගෙන් බෝවන වෛරස රෝග රාශියක් ලෝකයට බරපතල ගැටළු ඇතිකරමින් මේ වනවිට ව්‍යාප්ත වේ. AIDS /HIV, ඉන්ෆ්ලුවෙන්සාව, එබෝලා ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මේ විධියට සතුන්ගෙන් මිනිසා කරා ළඟා වන වෛරස් රෝග නිසා ලෝකයට අහිමි වූ ජිවිත සංඛ්‍යාව මැනිය හැකි වන්නේ මිලියන ගණනෙනි. එහිලා කැපී පෙනන්නේ 1918දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයයි. ලෝ පුරා සිටින මිලියන 500කට අධික පිරිසක් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වීමෙන් පීඩාවට පත්වූහ. ලොව ඉතාමත් හුදකලා ස්ථාන ලෙස සැලකෙන පැසිපික් සහ ආර්ක්ටික් දූපත්වලට පවා වෛරසය ව්‍යාප්ත වූයේය. මිලියන 50ත් 100ත් අතර පිරිසක් වසංගතය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූහ. ලෝකයේ ඊළඟට ව්‍යාප්තවන වෛරසයත් එවැනිම මහා මිනිස් සංහාරයක් සිදුකරන්නට ඉඩ ඇත.

යොමුව-

https://www.bbc.com/news/health-45665821



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි