ගොර්බචොව් ව විවිධ ආකාරවලින් හඳුන්වා දියහැකිය. රුසියානුවන්ට ඔහුව කිසිදා අමතක කළ නොහැකි ය. විටෙක ඔහු සෝවියට් සංගමය බිඳ දැමූ මිනිසා ය. ඇමරිකාව සමග පැවති ශීතල යුද්ධයේ නියමුවා ය. තවත් අයෙකුට අනුව, ඔහු බටහිර කොන්ත්‍රාත්තුවකට අනුව වැඩ කරමින් සෝවියට් සංගමය ලෝක බලයක් බවට පත්වීම සම්පූර්ණයෙන් අඩාල කළ මිනිසා ය. Russia nuclear treaty: Gorbachev warns Trump plan will undermine disarmament
කෙසේ නමුත් මේ වන විට ඔහු පවසමින් සිටින්නේ අතිශය වැදගත් කතාවකි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පසුගියදා පැවසුවේ ඇමරිකාව, ශීතල යුද සමයේ සෝවියට් දේශය සමග ඇති කර ගත් ප්‍රධාන පෙළේ න්‍යෂ්ටික ආයුධ සම්මුතියකින් ඉවත් වීමට සැලසුම් කරන බවයි.
මේ පියවර, න්‍යෂ්ටික නිරවිකරණය (nuclear disarmament) සාක්ෂාත් කර ගැනීම සඳහා ඇති කර ගනු ලබන ප්‍රධාන පෙළේ බාධකයක් බවට පත්වනු ඇතැයි ගොර්බචොව් පවසයි.
1987 වසරේදී ජනපති රොනල්ඩ් රේගන් සමග මධ්‍යදුර න්‍යෂ්ටික බල සම්මුතිය (INF) අත්සන් කළේ මිහායිල් ගොර්බචොව් ය. මේ සම්මුතිය රුසියාව විසින් වසර ගණනක් තිස්සේ උල්ලංඝනය කරමින් සිටින බව ට්‍රම්ප් පවසයි. එය එසේ නම් කළ යුත්තේ එම් සම්මුතියෙන් ඉවත් වීමද? නැතිනම් වෙනත් දෙයක්ද?
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකිරීමට ද රුසියාවේ වත්මන් ජනපති පුටින් බලාපොරොත්තු වෙයි. ඒ සඳහා ඔහු අවස්ථාව වශයෙන් යොදාගැනීමට බලාපොරොත්තු වන්නේ ඇමරිකාවේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් (John Bolton)ව හමුවීමයි.
දැනටමත් ලොව පුරා රටවලින් මෙම පියවර විවේචනය කර තිබේ. එසේ කළ පළමු රට වූයේ ජර්මනියයි. ජර්මනියේ විදේශ ඇමතිනී හෙයිකෝ මාස් (Heiko Maas) මෙවැන්නක් සිදුකළහොත් යුරෝපය ඇතුළු සමස්ත ලෝකයට සිදුවිය හැකි බලපෑම ගැන නැවත සිතා බලන ලෙ කියා සිටියාය.
මෙම INF සම්මුතිය මගින් මධ්‍යදුර මිසයිල අත්හදා බැලීම ලෝකයේ තහනම් කළේය. මධ්‍ය දුර මිසයිල ලෙස හඳුන්වන්නේ මිසයිලයක් දියත් කිරීමෙන් පසු කිලෝමීටර 500 – 5500 අතර දුරකට පතිත විය හැකි මිසයිලයන් ය.
මධ්‍ය දුර මිසයිල පමණක් නොව, සියලුම කෙටි දුර සහ මධ්‍යදුර, න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන මිසයිල අත්හදා බැලීම මෙම සම්මුතිය මගින් තහනම් කළේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට 1991 වසරේදී සෝවියට් සංගමය මිසයිල 2700 ක් විනාශ කර දැමුවේය. මෙම රටවල් දෙකම, තමන්ගේ න්‍යෂ්ටික ස්ථාපිත පරීක්ෂා කිරීමට මෙම සම්මුතිය ප්‍රකාරව එකිනෙකාට ඉඩ ලබාදෙයි.
1945 වසරේ සිට 1989 වසර දක්වාම ඇමරිකාව සහ සෝවියට් සංගමය අතර පැවතියේ යහපත් සබඳතා නොවේ. 1987 වසරේ මෙම සම්මුතිය අත්සන් කිරීමෙන් පසුව එම ආතතිය යම් තරමකින් අඩු විය. විශ්වාස කෙරෙන්නේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර තුන්වැනි ලෝක යුද්ධයක් ඇති වීමට තිබූ ඉඩ ඇහිරූ ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම සම්මුතිය බවයි.
ගතවූ දශක 5 ක කාලය තුළ ඇමරිකාව සහ රුසියාව විසින් කලාපීය ආතතිය අඩු කර ගැනීම සඳහා ඉන් අනතුරුව ද න්‍යෂ්ටික ගිවිසුම් ගණනාවකට එළඹ තිබේ.
ගොර්බචොෆ් යනුවෙන් ද විටෙක හැඳින්වෙන මිහායල් ගොර්බචොව්, සෝවියට් සංගමයේ අවසන් මහලේකම් වරයාය. එනම් අවසන් නායකයා ය.
1985 වසරේ පත් වූ ඔහු, ශීතල යුද්ධයක් ඇමරිකාව සමග ඇතිවීම වළක්වා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් දේශීය වශයෙන් සිදු කළේය.
ඔහු බලයෙන් ඉවත් වූයේ 1991 වසරේදී ය. සෝවියට් සංගමයට අයත් රටවල් වෙන වෙනම රාජ්‍යයන් වශයෙන් නිදහස ප්‍රකාශයට පත් කිරීමත් සමග ඔහු ඉල්ලා අස්විය.
ඇතැම් මාධ්‍ය විසින් ඔහුව එකල හැඳින්වූයේ ‘අධිරාජ්‍යය අහිමි කර ගත් අධිරාජ්‍යයා‘ යනුවෙනි. නමුත් ඇමරිකාව සමග පැවති ශීතල යුද්ධය අවසන් කිරීම ලෝක සාමයට අත්‍යාවශ්‍ය දෙයක් ලෙස ඔහු සැලකුවේය.
කිසිදු රාජ්‍ය තාන්ත්‍රික භාවයකින් තොරව වචන පාවිච්චි කිරීම ගැන ප්‍රසිද්ධියක් උසුළන ට්‍රම්ප් සැබවින්ම න්‍යෂ්ටික නිරවිකරණ සම්මුතියෙන් ඉවත් වීම ගැන කීවේ කුමක්ද?
ඔහු කීවේ, ‘රුසියාවට අවසර දී නැති ආයුධ සමග වැඩ කිරීමට ඇමරිකාව ඉඩ දෙන්නෙ නෑ“ කියා ය. US would not let Russia “go out and do weapons [while] we’re not allowed to”. නේටෝ සංවිධානයද පවසන ආකාරයට රුසියාව විසින් Novator 9M729 නමැති නව මිසයිලයක් අත්හදා බලා තිබේ.
නෙවඩා හි පැවති රැළියකදී, ‘‘මම දන්නෙ නෑ ඔබාමා මේක කළේ නැත්තෙ ඇයි කියලා“ යනුවෙන් හිටපු ජනපති බරාක් ඔබාමා හට ද දෝෂාරෝපණය කළේය.
සැබවින්ම බරාක් ඔබාමා 2014 වසරේදී රුසියාව විසින් INF කඩ කරන බවට චෝදනා කළේය. ඒ, කෘෘස් මිසයිලයක් ඔවුන් විසින් අත්හදා බලා ඇති බවට චෝදනා එල්ල වීමත් සමග ය. නමුත් යුරෝපියානු නායකයන්ගෙන් එල්ල වූ බලපෑම සහ, එවැනි පියවරක තිබෙන අවදානම වටහාගත් ඔහු, එම සම්මුතියෙන් ඉවත් වීම තෝරා නොගත්තේය. ඔබාමා එදා පැවසුවේ, එවැනි දෙයක් කළහොත් එමගින් ආයුධ රේස් එක -ආයුධ තරගය නැවත ආරම්භ විය හැකි බව ය.
නමුත් ට්‍රම්ප්, ආයුධ වෙළඳාමට ලොබ බැඳි කෙනෙකි. ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා ඇමරිකා එක්සත් ජනපදයයි. මේ අනුව ආයුධ වෙළඳාම දිරි ගන්වන දෙයක් මේ ලෝකයේ තිබේ නම් ඒ පියවර වෙත යාමට ට්‍රම්ප් පසුබට නොවේ.