×

ශක්තිමත් පෞරුෂයක සුපිරි ලක්ෂණ දුසිම!

Business Insider හෙළිකරන ශක්තිමක් පෞරුෂයේ කැපී පෙනෙන ලක්ෂණ 12 මෙන්න..


Business Insider හෙළිකරන ශක්තිමත් පෞරුෂයේ කැපී පෙනෙන ලක්ෂණ 12 මෙන්න..

ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාතෘවරයෙක් වන තෝමස් ජෙෆර්සන් හිටපු ජනාධිපතිවරයා වරක් මෙහෙම කිව්වා.. ‘‘ඔබේ ඉලක්කය කරා යාමට වැඩිපුරම ඔබට උදව් කරන්නේ නිවැරදි ආකල්පයයි.“ වෙනත් වචනවලින් කියනවා නම් වැරදි ආකල්ප දරා සිටීම නිසා ඔබට කොහේවත් යන්න ලැබෙන්නේ නැහැ. තිබෙන තැනත් නැතිවෙන්න එය හේතුවක් වන්නටත් පුළුවන්. තවත් සරල ලෙස කියනවා නම්, හැම දේටම මුල ඔබේ මානසික ආකල්ප හැර වෙනත් දෙයක් නෙවෙයි.

ඔබේ ජීවිතය තීරණය කරන එකම, පරම සාධකය ආකල්ප විතරක් නොවෙන බව ඇත්ත. නමුත් ඔබේ සිතිවිලි, ඔබේ හැඟීම් සහ ජීවිතයේ ගුණාත්මය කෙරෙහි එය ඉතාම විශාල බලපෑමක් ඇති කරනවා. ඒ වගේම මානසික ශක්තිය වඩවා ගැනීමත්, කියන තරම් ලේසි දෙයක් නෙවෙයි. ඒ බව අපි හැම කෙනෙක්ම හොඳින් දන්නා දෙයක්.

යථාර්ථවාදී සුබවාදී කමක් රඳවා ගන්න, ශක්තිමත් ලෙස වැඩෙන්න, සෞඛ්‍යමත් සීමාවන් තබාගන්න නම් ජීවිතයට හොඳ පුරුද්දක් අවශ්‍ය වෙනවා.

Personality Test

Personality Test

ඉතින් ඔබත් ඒ වගේ කෙනෙක්ද? මීළඟට කියන්නට යන ලක්ෂණ 12 ඔබේ ජීවිතයේ තිබෙනවාද කියා ඔබටම සොයා බලන්නට පුළුවන් නම්, සිතා බලන්නට පුළුවන් නම් ඒ ප්‍රශ්නයට උත්තරය හොයාගන්න එක ඒ තරම් අමාරු නෑ.

1. හැඟීම්, තර්කය සමග බැලන්ස් කරන්න.

ඔබේ හැඟීම්, ඔබේ සිතිවිලිවලට බලපෑමක් ඇති කරන්නට පුළුවන් බව දැනගෙන සිටීම, මානසික වශයෙන් ශක්තිමත් මිනිසුන්ගේ ලක්ෂණයක්. ජීවිතයේ හොඳම තීරණ ගැනීම සඳහා ඔවුන් බොහෝ විට හැඟීම් සහ තර්කය සමතුලිත කර බලනවා. වෙනත් වචනවලින් කියනවා නම්, හැඟීම්වලට වහල් වන්නේ නැහැ.

2. ඵලදායීතාවයෙන් යුත් හැසිරීම්

මනසින් ශක්තිමත් අය නිෂ්ඵල හැසිරීම්වලින් හැකිතාක් දුරට වැළකෙනවා. ඒ නිෂ්ඵල හැසිරීම්වලට උදාහරණ තමයි, අන් අය ගැන පැමිණිලි කිරීම, මැසිවිලි නැගීම, නිදහසට කරුණු කීම සහ දුෂ්කර අවස්ථා කර ඇරීම.

3. වෙනසට හැඩ ගැසීමේ හැකියාව

මෙවැනි අය වෙනස්කම්වලට විශ්වාසයෙන් යුතුව මුහුණ දෙනවා. ඒවා නිසා තමන්ට කොතරම් අපහසුවක් දැනුණත්, කළ යුතු දේ එය නම් එයට හොඳින් මුහුණ දෙනවා. වෙනසට ප්‍රතිරෝධය දැක්වීම සඳහා තමන්ගේ ශක්තිය වැය කරනවා වෙනුවට ඒ හැඩගැසීම වෙනුවෙන් තමන්ගේ ශක්තිය වැය කරනවා. හැම වෙනසක්ම තමන්ට දරාගත හැකි වෙනසක් බවට ඔවුන් සපථ කර ගන්නවා. ඒ හරහා මානසික විශ්වාසය තවත් වැඩි කර ගන්නවා.

4. ඔබව පසුපසට අදින බය හිතෙන දේට මුහුණ දෙනවා.

මානසික වශයෙන් ශක්තිමත් උදවිය තමන්ව පසුපසට අදින දේට නොබියව මුහුණ දෙනවා. ඔවුන් එසේ කරන්නේ, ප්‍රශ්නයෙන් පළා යාම විසඳුමක් නොවන බව දන්නා නිසයි.

5. අත්වැරදීම්වලින් ඉගෙන ගැනීම

සැඟවී සිටීම හෝ සිය අත්වැරදීම්වලට සමාව ඉල්ලීම වෙනුවට මානසික වශයෙන් ශක්තිමත් මිනිසුන් තමන්ට වැරදුණු තැන්වලින් ඉගෙන ගන්නවා. ඒ වගේම ඉතිරි මුළු ජීවිත කාලය සඳහාම ඒ පාඩම මතක තබාගන්නවා. ඒ වැරදීම තමන් අතින් නැවත සිදු නොවන බව ඔවුන් සහතික කර ගන්නේ එසේ මතක තබාගැනීම තුළින්.

6. තමන්ව පිළිගැනීම සහ වැඩිදියුණු වීම සමතුලිත කිරීම

මානසික ව ශක්තිමත් අයගේ දැකිය හැකි ප්‍රධානතම දෙයක් වන්නේ තමන්ව තමන් ලෙස පිළිගැනීමට තිබෙන හැකියාවයි. නමුත් ඔවුන් එයින් නතර වන්නේ නැහැ. තමන්ගේ පුද්ගලික වර්ධනය නොනැවතී කරගන්නවා.‘‘කරන්න දෙයක් නෑ, මගෙ හැටි මෙහෙමයි‘‘ වගේ වාක්‍ය ඔවුන්ගේ ශබ්දකෝෂවල තිබෙන්නේ බොහොම අඩුවෙන්. ඒ පිළිගැනීම හරහා ඔවුන්ට බොහොම වේගයෙන් තමන්ගේ පෞරුෂය වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙනවා.

7. අනෙක් අයගේ ජයග්‍රහණ සැමරීම

මේ අය තමන් වටා සිටින අයගේ ජයග්‍රහණවලින් අවංකව ම සතුටට පත් වෙනවා. ඔවුන් අනෙකාගේ ජයග්‍රහණය තමන්ගේ පරාජයක් හෝ තමන්ට අභියෝගයක් ලෙස සිතන්නේ නැහැ. තමන් වටා සිටින අය සමග තරග කිරීමට වඩා, ඔවුන් සමග සහයෝගයෙන් ජීවත් වීම අගනා බව මේ අය දන්නවා.

8. වටිනාකම්වලට අනුකූලව ජීවත් වීම

මානසික ව ශක්තිමත් මිනිසුන් තීරණ ගන්නා විට ලෙහෙසියෙන්ම තීරණ ගන්නවා. එයට හේතුව, ඔවුන් තමන්ගේ ප්‍රමුඛතාවන් සහ වටිනාකම් හොඳින් තේරුම් ගෙන තිබෙන නිසයි.

9. කුසලතා වර්ධනය සඳහා නිරන්තර පෙළඹවීම

තමන්ගේ හැකියාවන් පෙන්වීමෙන් නොනැවතී මානසික වශයෙන් ශක්තිමත් මිනිසුන් ඒවා තවදුරටත් වර්ධනය කර ගන්නට මාර්ග සොයනවා. එහෙම වන්නේ ඔවුන් ස්වයං පෙළඹවීමක් සහිතව වැඩ කරන නිසයි. ඒ මිසක් තමන්ගේ හැකියාවන් අනෙක් අය අගය කරාවි හෝ තමන්ගේ අගය කවදා හෝ අනෙක් අයට වැටහේවි වගේ සිතිවිලිවල ඔවුන් එල්බ ගන්නේ නැහැ.

10. පරාජයේදී පවා තමන් වෙත ප්‍රියජනක වීම

මානසිකව ශක්තිමත් මිනිසුන් තමන්ගේ ජයග්‍රහණය හෝ පරාජය මත රඳා පවතින්නේ නැහැ. ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් ඔවුන් කිසිවිටෙක තමන් ගැන සෘණ සිතිවිලි ඇති කර ගන්නේ නැහැ. ඒකට හේතුව, ඔවුන් පරාජයන් දෙස බලන්නේත්, අනාගත ජයග්‍රහණයන් සඳහා අවස්ථාව පාදා ගැනීමක් ලෙසයි. ඔවුන් කිසිම විටෙක තමන්ට වෛර කරන්නට පෙළඹෙන්නේත් නැහැ.

11. යථාර්ථවාදී සුබවාදී කම

තර්කයක් නැතිව සුබවාදී වීම නිසා යථාර්ථය නොපෙනී යන්නට පුළුවන්. මානසික ව ශක්තිමත් මිනිසුන් කොතරම් ධනාත්මක වුණත් මේ ගැන හරිම පරිස්සම් වෙනවා. ජීවිතයේ සුබවාදී පැත්ත ගැන විශ්වාස කරන අතරම ඔවුන් දැනට පවතින යථාර්ථය තුළ ජීවත් වෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මහ පොළොවේ හැමවිටම පය ගසාගෙන සිටිනවා. ඒ නිසාම ඔවුන් මේ මොහොත තුළ තෘප්තියෙන් යුතුව ජීවත් වන උදවිය බවට පත්වෙනවා.

12. කෘතඥතාවය

තමන්ට ජීවිතයේ දැනට ලැබී ඇති දේවල් ගැන මානසික වශයෙන් ශක්තිමත් මිනිසුන් හදවතින් කෘතඥ වෙනවා. බාහිරින් පෙන්වූවත් නැතත්, ඔවුන්ගේ සිත තුළ ඒ කෘතඥකම පවතිනවා. එයින් ඔවුන් ලෙහෙසියෙන්ම ජීවිතයේ සතුට කුමක්ද යන්න හඳුනා ගන්නවා.

දැන්, ඉහත කී ලක්ෂණවලින් කීයක් ඔබේ ජීවිතයේ තිබෙනවාද? ඒ ලක්ෂණ ගණන 10 ක් හෝ ඊට වැඩිනම්, ඔබ මානසික වශයෙන් ඇත්තටම ශක්තිමත් කෙනෙක්.

මූලාශ්‍රය:
12 Signs That You Are a Mentally Strong Person



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි