×

වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිළිකා පර්යේෂකයන් දෙදෙනෙකුට

වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍රය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ විද්‍යාඥයන් දෙදෙනෙකුට පිරිනැමේ.


වෛද්‍ය විද්‍යා විෂය ක්ෂේත්‍රය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර පිරිනැමී තිබෙන්නේ ඇමෙරිකා ජාතික ජේම්ස් ඇලිසන්ට සහ ජපන් ජාතික තසුකු හොන්ජෝ යන විද්‍යාඥයන් දෙපළටයි.

ඔවුන් මෙම සම්මානයට පාත්‍ර වී තිබෙන්නේ පිළිකා සම්බන්ධයෙන් කළ ඉතා වැදගත් අනාවරණයන් හේතුවෙනි.

ඔවුන්ගේ පර්යේෂණයන්ට විෂයය වී තිබුණේ පිළිකාවලට එරෙහිව මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් නැඟෙන ක්‍රියාකාරිත්වය, බිඳ වැටීමට හේතුවන ප්‍රෝටීන දෙකක කෘත්‍යයන් පිළිබඳ අනාවරණයන් ය.

මනුෂ්‍ය ශරීරයේ පවත්නා විකෘති සෛල ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් විනාශ කර දැමේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කරන මෙම පහරදීම්වලින් බේරී සිටීමේ හැකියාව පිළිකා සෛල සතුය. එම හැකියාව නිසා පිළිකා සෛලවලට ඉතාමත් ශක්තිමත්ව සහ ඉතාමත් ඉක්මනින් වර්ධනය වන්නට පුළුවන. බොහෝ පිළිකාවල මෙකී තත්ත්වය දක්නට ලැබේ. මේ නිසා ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. ජේම්ස් ඇලිසන් මේ පිළිබඳව කළ අනාවරණය, පිළිකා මර්දනය සඳහා නව ඖෂධ නිපදවන්නට විශාල රුකුලක් වනු ඇති බව විද්වත්හු පෙන්වා දෙති. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යාන්ත්‍රණය බිඳ දමමින් පිළිකා සෛල ඇති කරන බලපෑමට එරෙහිව ක්‍රියාකළ හැකි ඖෂධ නිෂ්පාදනය කරන්නට ඉදිරියේදී හැකියාව ලැබෙනු ඇත.

Sam Yeh | AFP | Getty Images

Sam Yeh | AFP | Getty Images

ජේම්ස් ඇලිසන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ එම්.ඩී. ඇන්ඩර්සන් පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ මහාචාර්යයවරයෙකි. හෙතෙම තම පර්යේෂණය තුළදී අධ්‍යනය කළේ මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට එරෙහි වන CTLA -4 නැමැති ප්‍රෝටීනයයි. එමඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති වීම හේතුවෙන් අර්බුධ (ගෙඩි) ඇතිවන බව ඔහු පෙන්වා දුන්නේය.

තසුකු හොන්ජෝ, පසුගිය වසර තිස් හතරක කාලය තුළ ජපානයේ කියෝතෝ විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යා ඒකකයෙහි මහාචාර්යවරක් හැටියට සේවය කළේය. ඔහු අධ්‍යයනය කර තිබෙන්නේ තිබෙන්නේ PD -1 නැමැති ප්‍රෝටීනය පිළිබඳවයි. එයත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන ප්‍රෝටීනයකි. එහි කෘත්‍යය, පළමුව කී ප්‍රෝටීනයේ කෘත්‍යයට වඩා වෙනස් බව සඳහන් වේ. PD -1 ප්‍රෝටීනයෙන් ඇති කෙරෙන බලපෑමට එරෙහිව නිෂ්පාදනය කෙරෙන ඖෂධවලට ඉතා හොඳ වෙළඳපොළක් තිබෙනු ඇති කියා දැනටමත් අනාවැකි පළව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි