මුලදී මා ශෝකයෙන් පීඩිතව දෑත් ගුලි කරමින් ඇවිද ගියේ මැක්බත් ආර්යාව මෙනි.
දැනුදු මම දෑත් ගුලිකරමි. නමුත්, ඇගේ සමුගැන්ම සවනත වැකුණු දුක්බර හෝරාව එළඹෙන සංවත්සර දිනයේදී පමණි.
මුලදී මගේ හිස තුළ ඇගේ මරණයට පෙර දින සහ මරණයට පසුදින සියලු ජවනිකා නැවත නැවතත් වීඩියෝ පටයක් මෙන් වාදනය විය.
එය නවතාලීමට මම අපොහොසත් වූයෙමි. නමුත් අන් දේවල් පිළිබඳ සමකාලිකව සිතීමෙන් එය නතර කර ගැනීමට දැන් මම සමත් වෙමි.
මුලදී මට සිතුණේ මගේ සම, ශරීරයට නොතරම්ව එල්ලා වැටෙන බවකි.
ව්‍යායාම පිණිස නොවුණද සිතට සැහැල්ලුවක් දැනීම පිණිස මම දිගු වේලාවක් එකදිගට ඇවිදීමට පුරුදු වීමි.
දැන් මා එසේ ඇවිදින්නේ හුදෙක් ව්‍යායාම පිණිස පමණ ය.
මුලදී දැඩි සත්කාර ඒකකයේ දී ඈ මිය ගිය අඟහරුවාදා සවස 12.25 තත්පර කටුවද සමඟ මගේ හිස තුළ දෝංකාර දුන්නේ ය. මම තත්පරයද ගණන් කිරීමට පුරුදුව සිටියෙමි.
නමුත් දැන් මට අඟහරුවාදාව තවත් එක් සාමාන්‍ය දිනයක් පමණකි. මුලදී කාලය දින හා සතිවලින් ගණන් කෙරිණි. දැන් එය මම අවුරුදුවලින් ගණන් කරමි.
මුලදී ඈට හිමි සකල සියලු දේ ශුද්ධ වූ වස්තුන් ලෙස හැඟිණි. ඈට දුන් අරුංගල ජෝඩුව මාතින් බිම වැටුණු විට මම උමතු වීමි.
දැන් ඒවා නැතිවුවද මට දුක සිතෙන බව ඇත්තය. නමුත් මම උමතු නොවෙමි. ඈ සතු බොහෝ දේ දැනටමත් මා බොහෝ සෙයින් දන්දී තිබේ.
මුලදී ඇගේ මරණය හැර අන්කිසි දෙයක් ගැන සිතීම මට අතිශය දුෂ්කර විය. නමුත් ජීවිතයට අලුත් මාතෘකා නොමැතිව ගලායා නොහැකි බව මම දැන් දනිමි.
මුලදී ඇගේ පි‍්‍රයතම කෑම වෙළෙඳසලේ විකිණීමට තබා තිබියදී ද මට දුක සිතිණි. දැනුදු දුක දැනේ.
නමුත් දැන් ඒ දුක දරාගන්නට හැකිය. මුලදී මම අන් කිසිවෙකුගේ නොව එකම දියණියගේ අකල් මරණයේ වියෝ දුකකින් උමතු වූ කිසාගෝතමියක වීමි.
දැන් මම කාලය නැමැති ඔසුවේ මහිමයෙන් සුවපත් වී හිඳිමි.
chicken soup for the Grieving soul ඇසුරිනි.