×

කළු ජාතික රංගන ශිල්පීන්ට ආලෝකයක් වූ සිසිලි ටයිසන් වසර 96ක් ආයු වළදා අභාවප්‍රාප්ත වෙයි

2016 දී Presidential Medal of Freedom සම්මානයට පාත්‍ර වූ ඇයව අගයමින් එවකට ජනපති බැරැක් ඔබාමා කියා සිටියේ නිළියක් ලෙස ඇය ලබා ඇති ජයග්‍රහණවලට අමතරව ඇය ඉතිහාසයේ ගමන් මගද හැඩගස්වා ඇති බවයි.


 

ප්‍රබල අප්‍රිකානු-ඇමරිකානු චරිත නිරූපණය කිරීම සඳහා ප්‍රසිද්ධ හොලිවුඩ් නිළි සිසිලි ටයිසන් වයස අවුරුදු 96 දී මියගොස් ඇති බව ඇගේ කළමනාකරු පවසයි. මරණයට හේතුවක් දක්වා නැත.

හිටපු විලාසිතා නිරූපිකාවක් වන ටයිසන් දශක හතක් පුරා දිවෙන කීර්තිමත් වෘත්තීය දිවියකට හිමිකම් කියයි. 1974 සිවිල් අයිතිවාසිකම් යුගයේ තිරගත වූ The Autobiography of Miss Jane Pittman හී ඇගේ රංගනය වෙනුවෙන් ටයිසන් එමී සම්මාන දෙකක් දිනා ගත්තාය. 1960 දශකයේ East Side/West Side නම් රූපවාහිනී නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑ පළමු කළු ජාතික කාන්තාව ද වූවා ය.

2016 දී Presidential Medal of Freedom සම්මානයට පාත්‍ර වූ ඇයව අගයමින් එවකට ජනපති බැරැක් ඔබාමා කියා සිටියේ නිළියක් ලෙස ඇය ලබා ඇති ජයග්‍රහණවලට අමතරව ඇය ඉතිහාසයේ ගමන් මගද හැඩගස්වා ඇති බවයි.

ටයිසන් කළු කාන්තාවන් සඳහා ඒකාකෘති භූමිකාවන් ප්‍රතික්ෂේප කළ අතර ශක්තිමත්, ධනාත්මක සහ යථාර්ථවාදී චරිත රඟපෑමට පමණක් එකඟ විය.

“මම අවුරුදු 40 කට වැඩි කාලයක් ටයිසන් මෙනවියගේ වෘත්තිය කළමනාකරණය කර ඇත්තෙමි. සෑම වසරකම එය මට විශාල අවස්ථාවක් හා ආශීර්වාදයක් විය” යනුවෙන් ඇගේ කළමනාකරු ලැරී තොම්සන් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් ඇගේ මරණය නිවේදනය කළේය.

නිව් යෝර්ක්හි හාර්ලම් හි උපත ලැබූ ඇය හැදී වැඩුණේ කැරිබියානු දූපතක් වන නෙවිස්හි ය. එබොනි සඟරාවේ විලාසිතා සංස්කාරකවරයකු විසින් ඇයගේ දක්ෂතාවය හදුනාගැනීමෙන් පසු ඇගේ නිරූපණ වෘත්තිය ආරම්භ විය. 1957 වන විට ඇය බ්‍රෝඩ්වේ නිෂ්පාදන වලට එක්වූ අතර 1968 දී The Heart Is a Lonely Hunter චිත්‍රපටයේ පෝර්ටියා චරිතය නිරූපණයට පෙර ඇය විවිධ චිත්‍රපටවල කුඩා චරිත නිරූපණය කළාය.

ඇමරිකානු හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ඇතුළු බොහෝ දෙනෙක් ඇයගේ වෙන් වීම පිළිබදව සිය ට්වීටර් ගිණුම් වල කණගාටුව පළ කර තිබුණි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි