×

උතුර දකුණ යා කරන පුළුන් පිරවූ මළ ගෝනා

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පුළුං පිරවූ ගෝනෙක්.


මේ පිළිරුව පිහිටා තිබෙන්නේ දකුණු කොරියාවේ පිහිටා තිබෙන හමුදා මුක්ත කලාපය හෙවත් DMZ (Demilitarized Zone) ට යාබදව පිහිටා තිබෙන කෑම්ප් ග්‍රීව්ස් හෙවත් ග්‍රීව්ස් හමුදා කඳවුර (Camp Greaves) තුළයි. එහි නිර්මාණකරුවා වන්නේ කිම් ම්යොන්බියොම් (Kim Myeongbeom).

සියොල්/සෝල් අගනුවරට දකුණු දිගින් පිහිටා තිබෙන මේ කඳවුර අතීතයේ ඇමරිකානු හමුදාවට අයත් ව තිබුණා. ඇමරිකානු හමුදා භටයන් මේ කඳවුරට මුලින්ම ආවේ 2004 වර්ෂයේදී. මේ වන විට ඔවුන් එයින් බොහෝ දුරකට ඉවත් වී තිබෙනවා.

මේ ගෝන පිළිරුව ස්ථාපනය කර තිබෙන්නේ හරියටම කිව්වොත්, ඇමරිකානු හමුදා කඳවුරේ ආයුධ ගබඩාව තුළයි. උගේ අලංකාර අං තට්ටුව වහලය වෙත විහිදිලා. වහලයට බඳින ලද කම්බි මගින් ගෝනා නිසි පරිදි සිටුවා තිබෙනවා.

මේ ගෝනා සිටින්නේ ආයුධ ගබඩාව තුළ බව අපි කලින් කිව්වා. මේ අන්දමින්ම මේ හමුදා කඳවුරේ නිලධාරීන්ගේ කෑම කාමරය මේ වන විට තරුණ නේවාසිකාගාරයක් බවට පත්කර තිබෙනවා.

2016 වසරේදී දකුණු කොරියානු රූපවාහිනියෙන් විකාශය වුණු ‘හිරුගෙන් පැවතෙන්නෝ‘ – “Descendants of the Sun” රූපවාහිනී මාලා නාටකයෙන් කොටසක් රූගත කළේ මෙම හමුදා කඳවුර තුළයි. මේ අනුව එහි රසිකයන්ට හමුදා කඳවුරේ විවිධ පසුතලවල සිට සෙල්ෆි ඡායාරූප ගැනීමේ අවස්ථාව පවා ලබා දී තිබෙනවා.

කොරියානු අර්ධද්වීපය උතුරු කොරියාව සහ දකුණු කොරියාව විදිහට වෙන් වන්නේ හමුදා මුක්ත කලාපයෙන්. මේ වන විට එය ප්‍රධාන පෙළේ සංචාරක ආකර්ෂණයක්. මෙහි එන ඇතැම් සංචාරකයෙකුට මේ කොරියානුවන් අතීතයේ මුහුණ දුන් ඛේදවාචක ගැන විශාල හැඟීමක් නැහැ. නමුත් අවම වශයෙන් මෙවැනි කලාකෘති නරඹා ඔවුන් මෙම ස්ථානයේ ඉතිහාසය සොයන්නට පටන් ගනීවි. එවිට උතුරු කොරියාවේ ධජය වගේම දකුණු කොරියාවේ ධජයත්, එකිනෙකට කුඩා පරතරයකින් යුතුව ලෙළදෙන හැටි ඔවුන්ට පෙනේවි. උතුර සහ දකුණ, එක්සත් වීමට ආසන්න බවට වන ඒ හැඟීම පවා ලෝකයට ගෙන දෙන්නේ අස්වැසිල්ලක්.

මූලාශ්‍රය _ ආට් ඩේලි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි