×

ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය අවදානම් සහගත ලෙස ලෝකය පුරා පැතිරෙමින් තිබෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

දැනට දින 3 කට පෙර ලංකාවේ පෑලියගොඩ ප්‍රදේශයෙන් ද වාර්තා වූ බව කියන ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානයට ලක් ව තිබේ.


‘ඩෙල්ටා වේරියන්‘ යනුවෙන් හඳුන්වන මෙම කෝවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් වඩාත්ම ප්‍රමුඛ අවදානමක් බවට පත් වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අනුව ප්‍රකාශ කරයි.

මේ බව ප්‍රකාශ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය (chief scientist) ලෙස කටයුතු කරන වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් විසිනි. 2019 මාර්තු මස සිට එම තනතුරේ කටයුතු කරන ඇය ඉන්දියානු ජාතිකයෙක් ද වේ.

‘‘ඩෙල්ටා වේරියන්ට්, ප්‍රමුඛතම ගෝලීය කෝවිඩ් ප්‍රභේදය බවට පත්වීමේ ගමන අරඹා තිබෙනවා. එයට හේතුව එය වේගයෙන් ව්‍යාප්ත වනසුලු වීමයි..‘‘ යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසුවාය.

ඉහළ ව්‍යාප්තියක් පෙන්වන කෝවිඩ් වෛරස් ප්‍රභේද සඳහා විශේෂයෙන් නිපදවා ඇති ‘කියෝවැක්‘වැක්සිනය (CureVac) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඵලදායීතා ප්‍රමිතිය ලබාගැනීමට සමත් නොවීම ගැන ද වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් සිය කණස්සල්ල පළ කර ඇත.

ඕනෑම කෝවිඩ් එන්නතක් WHO අනුමැතිය ලබාගැනීමට නම් 50%ක ප්‍රතිඵලයක් පෙන්විය යුතු නමුත් ජර්මනියේ නිෂ්පාදනය කරන CureVac වැක්සිනය, ලබාදී තිබෙන්නේ 47%ක ප්‍රතිඵලයක් පමණි. මෙය ප්‍රභේද 13කට ඔරොත්තු දෙන සේ නිෂ්පාදය කළ එකක් බව සමාගම කලින් කියා තිබිණි.

බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඇමරිකාව සහ රුසියාවත් ඉන්දියානු ප්‍රභේදයට නතු වන හැඩ

බ්‍රිතාන්‍යයේ පසුගිය දිනවල ඇති වූ නව කෝවිඩ් රැල්ලට හේතුව ද ඩෙල්ටා වේරියන්ට් ලෙස සැලකෙන අතර, ජර්මනියේ ද ඩෙල්ටා වේරියන්ට් හිස ඔසවමින් සිටියි. රුසියාවේ මොස්කව් නුවර ද මේ වන විට තුන්වැනි රැල්ලක් ගැන බියට පත් වී තිබෙන අතර, මොස්කව් බලධාරීන් කියා තිබෙන්නේ ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඉන්දියානු කෝවිඩ් ප්‍රභේදය මෙයට වගකිව යුතු බවයි.

ජූනි 15 වැනිදා ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ හිටපු ප්‍රධානියා වන වෛද්‍ය ස්කොට් ගොට්ලිබ් පවසා තිබුණේ ඉදිරි කාලයේදී ඇමරිකාවේ ද නව කොරෝනා රෝගීන් මෙම මාදිලිය නිසා සීඝ්‍ර යෙන් වාර්තා වීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවෙන් මුලින් වාර්තා වූ මෙම වෛරස් ප්‍රභේදය මේ වන විට ලෝකයේ වැඩිම වේගයකින් පැතිර යන වෛරස් ස්වරූපය බවට පත් ව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි