×

කිසිදා HIV නොවැළඳෙන – ලෝකයේ ප්‍රථම ‘ජාන එඩිට් කළ බබා‘ චීනයෙන් (වීඩියෝ)

ලෝකයේ ප්‍රථම - ජාන සංස්කරණයට ලක් කළ (එඩිට් කළ) දරුවන් තම රටේ ඉපදුණු බව චීනය ප්‍රකාශ කරයි.


විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙසේ ඉපදී තිබෙන්නේ නිවුන් දැරිවියන් දෙදෙනෙකි. එම දැරිවියන්ගේ ජාන, මනුෂ්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට HIV ආසාදනය නොවන පරිදි සංස්කරණය කර ඇති බව ද ඔවුහු සනාථ කරති.

එසේ කර තිබෙන්නේ එක් ජානයක් ‘ස්විච් ඕෆ්‘ කිරීම හෙවත් අක්‍රිය කිරීම මගිනි. මෙයට අදාළ වෛද්‍ය ලේඛන ද මේ වන විට අන්තර්ජාලයේ ප්‍රකාශනයට පත් කර තිබේ.

HIV මේ සඳහා තෝරාගත්තේ මේ වන විට මෙය චීනය පුරා විශාල වශයෙන් පැතිරෙමින් තිබෙන නිසා බව ද කියැවේ. මේ වන විට චීනයේ ලක්ෂ 5 ත් 15 ත් අතර පිරිසක් එච්අයිවී ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබේ. මෙම ව්‍යාපෘතියේ පසු අදියරවලදී එච්අයිවී සහිත දෙමාපියන්ගෙන් රෝගය සම්ප්‍රේෂණය නොවීම සඳහා ද මෙම තාක්ෂණය යොදාගැනීමට නියමිත ය

මෙම පර්යේෂණයේ මූලිකත්වය ගෙන සංස්කරණය කළ ජානය සහිත මිනිස් පිටපත් ලොවට බිහිකිරීමට මුල් වූ ෂෙන්සෙන් හි He Jiankui පවසන්නේ මෙසේ ය. ‘‘මෙම තාක්ෂණය සොයාගත් ලෝකයේ ප්‍රථමයා බවට පත්වන්නට වගේම වගකීම් සහගතව ඒ සඳහා නිදසුනක් සපයන්නත් මට උවමනා වුණා. මීළඟට කළ යුත්තේ කුමක්ද කියා සමාජය තීරණය කරාවි..“

කෙසේ නමුත්, මෙම දැරියගේ දෙමාපියන්ගේ අනන්‍යතාවය මෙම වෛද්‍යවරයා විසින් හෙළිනොකිරීම ද විශේෂත්වයකි. දැනට හෙළි වී තිබෙන කරුණු වලින් පෙනී යන්නේ එම දරුවන්ගේ දෙමාපියන්ගෙන් මේ සඳහා අනුමැතිය ලබාගෙන තිබෙන්නෙක් එච්අයිවී සඳහා වැක්සීනයක් එනම් එන්නතක් නිපදවීමේ වැඩසටහනට දායක වීමක් ලෙසට බවයි. මේ අනුව එම දෙමාපියන්, මෙවැනි සංකීර්ණ කාරණයක් පිළිබඳ දැනුවත් ව නොසිටින්නට ඇති බවට ද සැක පළ කෙරේ.

එසේම මෙම වෛද්‍යවරයා, චීනයේ ෂෙන්සෙන් හි විද්‍යා හා තාක්ෂණික පාසලේ විද්‍යාගාරයක් පවත්වාගෙන යන බවත්, චීනය තුළ ඔහුගේ නමින් ජාන සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති බවත් හෙළි වේ. මීයන්, වඳුරන් සහ මානව කළල යොදාගෙන ඔහු විසින් මෙයට පෙර ජාන පර්යේෂණ ගණනාවක් සිදුකර ඇත.

හොංකොං හි මේ සතියේ පැවති අන්තර්ජාතික ජාන සම්මේලනයකදී මෙම වෛද්‍යවරුන් විසින් මෙයට අදාළ අනුරූපණයක් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සමාගම වෙත සිදුකර තිබේ. පහත දැක්වෙන්නේ එම වීඩියෝවයි.

[embedyt] https://www.youtube.com/watch?v=C9V3mqswbv0[/embedyt]

මේ ශතවර්ෂය පුරා කතා බහට ලක්වූ CRISPR-cas9 නමැති ජාන සංස්කරණය කිරීමේ මෙවලම  විද්‍යා ප්‍රබන්ධවලට පමණක් මේ දක්වා සීමා විය. නමුත් එය දැන් සැබෑවක් වී තිබේ. 2015 වසරේදී චීන පර්යේෂකයන් වාර්තා කළේ ලෝකයේ ප්‍රථම වරට මානව කළලයක් සංස්කරණය කළ බව ය. නමුත් වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම දැඩි අභියෝගයකට ලක් කරන සහ පෙරයීම් කළ නොහැකි ගැටළු රාශියකට අත වැනිය හැකි මෙම ක්ෂේත්‍රය මේ වන විටත් ලෝකයේ මහත් ආන්දෝලනකට තුඩු දී තිබේ.

මේ අන්දමින්, මේ ලෝකයේ ඉපදීමටත් පෙරම ජාන වෙනස්කම්වලට ලක් කරන දරුවන් ව හඳුන්වන්නේ designer babies යනුවෙනි.

කෙසේ නමුත් මේ අතර BBC පුවත් සේවය පවසන්නේ ලෝකයේ බොහෝ රටවල තහනම් කර ඇති මෙවැනි වෛද්‍ය පර්යේෂණ, ඒවාට බඳුන්වන ජීවීන්ට පමණක් නොව, අනාගත පරම්පරාවලට ද අතිශය හානිදායක විය හැකි බවයි. ඒ අනුව මෙම පර්යේෂණයේ සාර්ථකත්වය පිළිබඳ බරපතළ සැක සංකා මතුවන බව ද විශේෂඥයෝ ප්‍රකාශ කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි