×

කොණ්ඩේ බැඳපු චීන්නුන්ට නොපෙනී චීන නිළියක් අතුරුදන් වෙයි!

අන්තර්ජාතික කීර්තියට පත් චීන රංගන ශිල්පිනී ෆෑන් බින්ග්බින්ග් පසුගිය ජූලියේ සිට හිටි අතුරුදහන් වී ඇත.


ඇගේ අතුරුදන්වීම සිදුවුණේ හරියටම කවදා ද? අතුරුදන්වීම සිදුවුණේ කෙසේ ද? ඇගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් වගකිවයුතු කවරකු ද? යනාදී ප්‍රශ්න රැසකට පිළිතුරක් නැත. මාස දෙකකට අධික කාලයක් මුළුල්ලේ ඈ ගැන කිසිදු ආරංචියක් නැති නිසාත් සමාජයේ කිසිදු තැනක ඈ පෙනී නොසිටීම නිසාත් ෆෑන්ගේ අතුරුදන්වීම ලෝකයේ බොහෝදෙනෙකුට රහසක් නොවේ. එමෙන්ම බොහෝදෙනා ඒ ගැන ප්‍රශ්න කරන්නටත් පටන්ගෙන සිටිති. බරපතලම ගැටලුව ෆෑන් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්නයි. Fan Bingbing

පසුගිය 16 වැනිදාට ෆෑන්ගේ තිස් හත්වන උපන් දිනය යෙදී තිබිණ. ඇගේ රසික රසිකාවන් බලාපොරොත්තුවෙන් සිටියේ එදිනවත් ඈ කොතැනින් හෝ මතුවනු ඇතැයි කියාය; එහෙම නැත්නම් එදිනවත් ඈ පිළිබඳ අලුතින් කිසිවක් දැනගන්නට ඉඩ ලැබේයැයි කියාය. අවාසනාවකට මෙන් ෆෑන් බින්ග්බින්ග්ගේ රසික රසිකාවන්ට සැනසිල්ලේ හුස්මක් හෙලන්නට එදිනත් ඉඩක් ලැබුණේ නැත. ඒ නිසා ඔවුහු සිය ආදරණීය රංගන ශිල්පිනියට දුක්බර හදින් සුබ පතමින් ඇගේ උපන් දිනය යම්තමට සිහි ගැන්වූහ.

Sebastien Nogier/EPA

Sebastien Nogier/EPA

ෆෑන්ගේ අතුරුදන්වීම හැමවිටම සිහි ගන්වන්නේ චීනය කෙතරම් අනාරක්ෂිත තැනක් වී තිබේ ද යන කාරණය යැයි විදෙස් මධ්‍ය සේවා අවධාරණය කරයි. තවත් සමහර මාධ්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ එරට පළමු පුරවැසියා වන ජනාධිපති ෂී ජින්පින්ග් මෙන්ම එරට කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ අනුදැනුම මත ස්ථාපනය කෙරුණු ජාතික අධීක්ෂණ කොමිසමත් ෆෑන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කරුණු දැක්විය යුතු බවකි. එසේ වුවත් ජනාධිපතිවරයා හෝ පළමුව කී කොමිසමේ බලධාරීන් කිසිවකු හෝ ෆෑන්ගේ අතුරුදහන්වීම ගැන මේ වනතුරු කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.

මහජනයා හමුවේ පෙනී සිටීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම හෝ ෆෑන් නවතා දැමුවේ පසුගිය ජූලි පළමුවැනිදා චීනයේ ෂැන්ග්හායි ළමා රෝහලේ සංචාරයක යෙදීමෙන් අනතුරුව යැයි කියා සමහරුන්ට ඒත්තු ගැන්වී ඇත. පසුගිය ජූලි 23වැනිදායින් පසු ඈ තම සමාජ වෙබ් අඩවි ගිණුම්වලට පිවිස නැති බව තවත් ඇතැම් අය පෙන්වා දෙති. ඇගේ වෙයිබෝ ගිණුම එහිලා කැපී පෙනෙයි. මේ ගිණුමෙහි සිටින ඇගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන 62කට අධික ය. එම අනුගාමිකයන්ගෙන් සමහර අය ෆෑන්ගේ පෙම්වතා වන රංගන ශිල්පී ලී චෙන්ට බැන වදිමින් ඇගේ ගිණුමට පණිවුඩ යොමු කර ඇත. එයට හේතුව ලී තම ගිණුමෙන් ෆෑන්ව මකා දැමීමය. අඩු තරමින් ඇගේ ඡායාරූපයක්වත් එහි තබාගන්නට ලී කල්පනා කර නැති බවක් පෙනෙන්නට තිබේ. ලී මේ මකා දැමීම් සිදුකර තිබෙන්නේ පසුගිය මැයි මාසයේදී බව සඳහන් වේ. මෙයින් පෙනෙන්නේ ෆෑන්ට තිබුණු කරදර ගැන ලී කල් ඇතිව දැනගෙන සිටීමදැයි කියන සැකයත් මතු ඇත.

රංගන කාර්යයන් උදෙසා ඉතා ඉහළ මිලක් අය කරන ශිල්පිනියක ලෙස ෆෑන්ගේ නම බෙහෙවින්ම ප්‍රකටය. ලෝක ප්‍රකට “ෆෝර්බස්” සඟරාව 2013 වසරේ සිට මේ දක්වා පෙන්වා දී ඇති කරුණුවලින් අනාවරණය වන්නේ ඉහළම ආදායම් ලබන චීන රංගන ශිල්පීන් දසදෙනා අතර ෆෑන් ද සිටින බවකි. අන්තර්ජාතික මට්ටමේ කීර්තියක් උසුලන රංගන ශිල්පීන් අතර පවා ඇගේ නම සඳහන්ව තිබුණේ ඉහළම මිලක් අය කරන සහ ඉහළම ධනයක් උත්පාදනය කරන කලාකාරිනියක හැටියට ය. ඇතැම් තැනෙක සඳහන් වන අන්දමට රංගන කාර්යය සඳහා ලොව පස් වන තැනට වැඩිම මුදලක් අය කර තිබෙන්නේ ඇයයි.

මැයි මාසයේ පැවති කෑන්ස් සිනමා සම්මාන උළෙලේදී | CNN

මැයි මාසයේ පැවති කෑන්ස් සිනමා සම්මාන උළෙලේදී | CNN

ෆෑන්ගේ ලාලිත්‍යය මුසු නොවුණු රතු පලසක් පසුගිය ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවල පසුගිය නොතිබිණ. ඇගේ රුවින් හැඩ නොගැන්වුණු ප්‍රධාන පෙළේ නිරූපණ සංදර්ශන ලොව කොයි කොතැනකවත් නොපැවැත් විණ. අන්තර්ජාතික මට්ටමේ සිනමා සම්මාන උළෙල රැසකදී ඇගේ රංගනයන් අගැයීමට ලක්විණ; ඇයට සම්මාන ප්‍රදානය කෙරිණ. තායිවානයේ ගෝල්ඩන් හෝර්ස් සිනමා සම්මාන උළෙල, ජපානයේ තෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල, ස්පාඥ්ඥයේ සැන් සෙබස්තියන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මෙන්ම ආසියා සිනමා සම්මාන උළෙලත් ඒ අතර ඇත.

රංගනය, නිරූපණය සහ රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය හරහා අතිවිශාල ධනයක් උත්පාදනය කළ ද, සම්මාන පිට සම්මාන ලබමින් තම අසීමිත හැකියාවන් ලෝකයට පෙන්නුව ද ෆෑන් චීන රජයට බදු ගෙවීම පැහැර හැර ඇති බව සඳහන් වේ. මේ නිසා ඈ බරපතල බදු ප්‍රශ්න රැසකට මැදි වී සිටි බව සමහර මාධ්‍ය සේවාවන් විටින් විට වාර්තා කළේය. චීනයේ පළවන “සෙකියුරිටි ඩේලි” – අගෝස්තු කලාපයේ ෆෑන් ගැන වාර්තාවක් පළ වී තිබිණ. ඉන් කියැවුණේ ඈ කිසියම් තැනක රඳවාගෙන සිටින බවකි. නිත්‍යානුකූල විනිශ්චයකට යටත් කෙරෙන තුරු ඇය එසේ තබාගනු ඇති බවත් එහි සඳහන්ව තිබුණේය. මේ වාර්තාව පළකර ඉතා කෙටි කාලයක් තුළදී එය වෙබ් අඩවියෙන් ඉවත් කෙරිණ. එම වාර්තාවේ සබැඳුම් සියල්ලක්ම පාහේ සමාජ වෙබ් අඩවිවලිනුත් ඉවත් කර තිබුණු බව සඳහන් වේ. ෆෑන් සමඟ කටයුතු කිරීමට එකඟතා ඇති කරගෙන සිටි සමාගම් සියල්ලක්ම එම එකඟතාවයන් බැහැර කර කටයුතු කරන බවකුත් පෙනී යයි.

ෆෑන්ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති අර්බුධකාරී තත්ත්වය සලකා බලන දකුණු කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටැන්ලි රොසෙන් පවසන්නේ චීනය තුළ කිසිවකුට ආරක්ෂාවක් නැති බව මෙයින් පැහැදිලි වන්නේ යැයි කියාය.

සිවිල් පුරවැසියන් හිටි අඩියේ අතුරුදහන්වීම චීනය තුළ ක්‍රියාත්මක වන ඉතාමත් භයානක තත්ත්වයකි. දේශපාලනඥයන් සිදුකරන දූෂණ සම්බන්ධයෙන් බ්ලොග් සටහන් තැබූ චෙන් ජීරෙන් නමැති මාධ්‍යවේදියාත් හිටි අඩියේ අතුරුදහන් කෙරිණ. ඔහුව අතුරුදහන් කිරීමෙන් පසු ඔහුගේ බිරිය සහ සහෝදරයන් දෙදෙනාත් අතුරුදහන් විණ. මේ පිරිස රඳවාගෙන තිබුණේ ජාතික අධීක්ෂණ කොමිසම භාරයේ බව පසුව අනාවරණය විය. චෙන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙත නිසා පක්ෂයේ සහ රජයේ කීර්ති නාමයට හානියක් වූ බවත් රජය කෙරෙහි සෙසු පාර්ශ්ව තබා තිබු විශ්වාසය පලුදුවීමක් සිදු වූ බවත් “ග්ලෝබල් ටයිම්ස්” පුවත්පත වාර්තාවක් පළ කරමින් ප්‍රකාශ කර තිබුණේය. චෙන් සහ පිරිස පසුව නිදහස් කරනු ලැබිණ. එසේ වුවත් “අන්තර්ජාල පළිබෝධකයකු” යන අශික්කිත නාමයෙන් ඔහුව හංවඩු ගසා තිබුණු බව සඳහන් වේ.

මේ අන්දමට හදිසියේ අතුරුදහන් කරන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතර එම අවස්ථාවන්හිදී ඔවුන්ව දරුණු වධ හිංසනයන්ට ලක් කරන බවත් අනාවරණය වී ඇත. එම අනාවරණය සිදුවුණේ චෙන් යොන්ග් නමැති රියදුරා හදිසියේම අතුරුදහන් වීමත් සමඟයි. චෙන් යොන්ග්, ෆුජියැන් පක්ෂයේ නිලධාරියකුගේ රියදුරකු වශයෙන් කටයුතු කළ අයෙකි. පසුගිය අප්‍රේල් මාසයේදී චෙන් අතුරුදහන් කෙරුණේ සිය නිවසේ සිටියදී ය. ඉන් මසකට පමණ පසුව චෙන්ගේ බිරියට දැනගන්නට ලැබුණේ සිය සැමියා මියගිය බවකි. 45 හැවිරිදි චෙන් අතුරුදහන් වන අවස්ථාව වනතුරු නිරෝගිව සිටියේය. චීන ආරක්ෂක අංශ නිළධාරීන් කියා සිටියේ ප්‍රශ්න කිරීම් සිදුකරන විට ඔහු එක්වරම මැරී වැටුණු බවකි. ප්‍රශ්න කිරීම් සිදුකරන ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශන පෙන්වන මෙන් චෙන්ගේ බිරිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය. ඔවුහු ඇගේ ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේප කළහ.

චීනයේ පාලක පක්ෂය සිය රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශනය ඉතාමත් නිර්ධය ලෙස සීමා කරන බව පසුගිය වසර දෙකක කාලය තුළදී පැහැදිලිවම දැකිය හැකි වූ කාරණයකි. ඇප්ස් ක්‍රියා විරහිත කිරීම, රියලිටි ප්‍රසංග සහ සජීවී වැඩසටහන් වාරණය පමණක් නොව ළමා වැඩසටහන්වල එන ඇතැම් චරිත කපා හැරීමට පවා චීන බලධාරීන් පියවර ගෙන තිබෙනු දැකිය හැකි විණ. අදහස් ප්‍රකාශන අයිතියට බාධා පමුණුවනවාට අමතරව යම් යම් වැරදිවලට වරදකරුවන් යැයි කියා සැකකෙරන පුද්ගලයන් අතුරුදහන් කිරීමත් දැන් එහි අලුත් විලාසිතාවක් වී තිබේ. මේ සියල්ල තුළ ඇත්තේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි