×

බොට්ස්වානාවෙන් අලි මළකුණු 90කට වඩා හමුවෙයි!

බොට්ස්වානා අලින්ට නරක කාලයක්. බොට්ස්වානාහි වන අලින්ගේ ආරක්ෂාව නොසිතු විරූ ලෙස පහත වැටේ.


මේ බැව් අනාවරණය වුණේ මියගිය වන අලින් සම්බන්ධයෙන් බොට්ස්වානාහි කරන සමීක්ෂණයකිනි. මියගිය වන අලින්ගේ කුණුපයන් 90කට ආසන්න සංඛ්‍යාවක් සොයාගන්නට ලැබුණු බව සමීක්ෂණය සිදු කළ “එලිෆන්ට්ස් විතවුට් බෝර්ඩර්ස්” ආයතනය පවසයි. හස්තීන් 90ම එකවර, එකම හේතුවකින් මියගියා යැයි කියා තොරතුරු හමු නොවන බව පැවසේ. කෙසේ වුවත්, විවිධ හේතු නිසා බොට්ස්වානාහි මියයන වන අලි සංඛ්‍යාව මේ වසර තුළදී තවත් ඉහළ යා හැකි බව එම ආයතනයේ බලධාරීහු පවසති.

දැනට සොයාගෙන ඇති වන අලි කුණුපයන් 90න් 53ක් පිළිබඳ තොරතුරු බොට්ස්වානා රජය සතුව ඇත. එම වන අලින් මරුමුවට පත්ව ඇත්තේ ස්වභාවික හේතු මත සහ අලි – මිනිස් ගැටුමෙහි ප්‍රතිඵල හැටියට ය.

#NEWS: 87 Elephant Carcasses Discovered in Botswana

බොට්ස්වානා රාජ්‍යය, වැඩිම අලි ගහනයක් සහිත අප්‍රිකා රාජ්‍යය ලෙස සැලකේ. එහි වසන වන අලින් සංඛ්‍යාව 130,000කට අධික බව වරක් අනාවරණය විණ. මේ වන අලින් සංචාරණයේ යෙදෙන විට ඇන්ගෝලාව, සැම්බියාව ආදී අසල්වැසි රාජ්‍යවල දඩයක්කරුවන්ට බිලිවන බව සමීක්ෂණවලින් හෙළිව ඇත. ඒ අනුව බොට්ස්වානා වන අලින් දඩයක්කරුවන්ට මෙතෙක් බිලිවුණේ අන්තර්ජාතික දේශසීමාවලදී බව පැහැදිලි වේ. එසේ වුවත් උතුරුදිග බොට්ස්වානාහිදී වන අලින් රට තුළදීම ඝාතනයට ලක්වන බව නවතම අධ්‍යනයන්වලින් තහවුරුව ඇත. මේ අපරාධ සිදු කරන්නේ බොට්ස්වානා ජාවාරම්කරුවන් බවට චෝදනා නැඟේ.

බොට්ස්වානා රාජ්‍යය, වන අලින්ට බෙහෙවින්ම සුරක්ෂිත ස්ථානයක් හැටියටත් කලක් නම් දරා තිබුණේය. වන අලි දඩයමෙහි යන්නන්ට එරෙහිව කටයුතු කිරීමට සිවිල් වැසියෝ පවා සන්නද්ධව පෙළ ගැසී සිටියහ. බොට්ස්වානා රජයේ හමුදා සාමාජිකයෝ වන අලි දඩයමට එරෙහිව දේශසීමා රැකවල්ලා සිටියෝය. දේශසීමාවන්හිදී සිදුවන වෙනත් නොයෙකුත් අන්දමේ අවනීතික ක්‍රියා සැලකිල්ලට ගත් බොට්ස්වානා රජය සිවිල් වැසියන් නිරායුධ කරන්නට පියවර ගත්තේය. සන්නද්ධ දඩයක්කරුවන් මෙල්ල කිරීම මේ නිසා බලාපොරොත්තු සුන් මට්ටමකට ඇද වැටිණ.

අප්‍රිකා රාජ්‍යවලදී මරා දැමෙන ඇතුන්ගේ සහ අලින්ගේ දේහ කොටස් අන්තර්ජාතික වෙළඳපොළේදී ඉතා ඉහළ මිලකට අලෙවි කෙරේ. ඇත් දළ පසුගිය කාලයේදී විශාල වශයෙන් මිලදී ගත්තේ චීනයයි. ඇත් දළ වෙළඳාමට හවුල්වීම චීනය මේ වසර මුල් භාගයේදී අත්හැර දැමුවේ සිය රට තුළ ඊට තහනමක් ද පනවමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියත් ඇත් දළ වෙළඳාම සිය රටවල තහනම් කර ඇත. එසේ වුවත් යුරෝපා සංගමය එම තහනම සිය රටවලට තවමත් හඳුන්වා දී නැත.

යුරෝපීයයන්ගේ යටත් විජිතයක් වන්නට පළමුව අප්‍රිකා මහාද්වීපයයේ, වන අලින් මිලියන 20කට අධික සංඛ්‍යාවක් ජීවත්වුණු බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. 1979 වනවිට මේ සංඛ්‍යාව මිලියන 1.3 දක්වා පහළ වැටුණේය. 2007 සිට 2014 දක්වා වූ කාල පරාසය තුළදී, වනාන්තරවල එතෙක් සිටි වන අලින් සංඛ්‍යාව 30%කින් පමණ පහළ වැටිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි