×

වඳ වී ගිය 8 දෙනා – මේ දශකයේ අපට ඔවුන් සදහටම අහිමි විය!

මේ දශකය තුළ සදහටම වඳවී ගිය සුන්දර සියොතුන් විශේෂ 8 ක් පිළිබඳ හෙළි වේ.


මේ දශකයේදී මිහිමතින් වඳ වී ගියේ යැයි සැක පළ කෙරෙන පක්ෂි විශේෂ කිහිපයක් ගැන තොරතුරු අනාවරණය කෙරේ. මේ අනාවරණය සිදුකර තිබෙන්නේ බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් සංවිධානයේ විද්‍යාඥයන් පිරිසකි. ඔවුන් පෙන්වා දෙන අන්දමට මේ පක්ෂි විශේෂ වඳ වී ගොස් තිබෙන්නේ දකුණු ඇමෙරිකාවෙහි මෑත භාගයේදී සිදුවන වන විනාශයෙහි ප්‍රතිඵලයන් හැටියට ය. Eight bird species are first confirmed avian extinctions this decade

වඳ ගිය පක්ෂි විශේෂ අතර සිටින ස්පික්ස් මැකව් (Spix’s macaw) නමැති ගිරා විශේෂය ප්‍රධානය. මේ ගිරවුන් ඉතාමත් දීප්තිමත් නිල් පැහැ දේහ ධාරීන් ය.

The-Fringe

නිල් පාට ස්පික්ස් මැකෝ ගිරව් | The-Fringe

ඔවුන් සමඟ පූ-උලි (poo-uli), පර්නම්බුකෝ පිග්මි – අවුල් (Pernambuco pygmy-owl), ක්‍රිප්ටික් ට්‍රී හන්ටර් (cryptic treehunter) යන පක්ෂි විශේෂත් වඳ ගොස් සිටින බැව් සඳහන් වේ.

වඳ වී ගිය පූ උලි පක්ෂීන් | Google Plus

වඳ වී ගිය පූ උලි පක්ෂීන් | Google Plus

පර්නම්බුකෝ පිග්මි බකමූණා | Neotropical Birds - Cornell University

පර්නම්බුකෝ පිග්මි බකමූණා | Neotropical Birds – Cornell University

cryptic treehunter | All About Birds

cryptic treehunter | All About Birds

මේ පක්ෂි විශේෂවලින් වැඩි ප්‍රමාණයක් ඉතා කුඩා දූපත් නිජබිම් කරගත්තවුන් බවට සාක්ෂි ඇත. දූපත් වාසී ජීවිතයම ඔවුන්ගේ නැසී යෑමට හේතුවක් වී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. එහිලා දඩයම සහ වෙනත් විශේෂවල ආක්‍රමණ නිසා සිදුවන අන්තරාකාරී තත්ත්ව ද ප්‍රධානය. මේ දශකය තුළදී වඳ වී ගියේයැයි කියා අනුමාන කෙරෙන විශේෂ අටකින් පහකට අයත් ජීවීන්ගේ නිජබිම දකුණු ඇමෙරිකාව වීම තවත් විශේෂත්වයකි. එම විශේෂ පහෙන් කිහිපයක වඳ වී යෑම කෙරෙහි ඍජුවම බලපා තිබෙන්නේ වන විනාශයයි.

බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ස්ටුවර්ට් බුට්චර්ට් පවසන්නේ විශාල මහාද්වීප මත වසන සත්ත්ව විශේෂ පවා වඳ වී යෑමේ අර්බුදයකට දැන් කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් සිටින බවකි. වඳ වී යෑම් සිදුවන්නේ මිනිසා එම ජීවීන්ගේ වාසස්ථාන විනාශ කිරීම හේතුවෙන් යැයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

“… අපේ විග්‍රහයෙන් පෙනෙන්නේ ජීවී විශේෂ වඳ වී යෑම දිගින් දිගටම සිදුවෙන බවක්. ඒ වගේම එය ඉතාමත් වේගයෙන් සිදුවන බවකුත් පෙනෙනවා. ඉතා හුදකලා දූපත්වල සිටින කුඩා ගහනවල පක්ෂීන් තමයි ඓතිහාසිකව 90%ක් ම වඳ ගියේ. නමුත් අපේ සාක්ෂිවලින් සනාත වෙනවා; සෑම මහාද්වීපයම වගේ ජීවත්වන විශේෂවල වඳ වී යෑම්. එය සිදුවන්නේ කෘෂිකාර්මික, ජලපවාහන, දැව කැපීම ආදී කටයුතුවලට භූමිය එළිපෙහෙළි කිරීම නිසා පක්ෂීන්ට ඔවුන්ගේ නිජබිම් අහිමිවීමෙන්. …” යැයි ස්ටුවර්ට් බුට්චර්ට් පවසයි.

අන්තර්ජාතික වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති රතු ලැයිස්තුවට අනුව විශේෂ 26,000කට අයත් ජීවින් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. ඒ සමඟ මිහිමත සිදුවන හයවන සත්ත්ව වඳ වී යෑම ආරම්භ වන බව පැවසේ. එය සිදුවන්නේ මිනිසාගේ මැදිහත් වීම නිසා යැයි විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කරති.

මේ දශකයේදී වඳ වී ගියේයැයි අනුමාන කෙරෙන පක්ෂි විශේෂ අටෙන් හතරක්ම ජීවත් වුණේ බ්‍රසිලයේය. පළමුව කී ස්පික්ස් මැකව් ගිරා විශේෂය ඒ අතර ප්‍රධානය. මෙයට වසර 150කට පමණ ඉහතදී එම ගිරා විශේෂයේ ජීවීන් වනයෙන් අල්ලාගෙන අවුත් විකිනීමට තබා ඇත. ඒ, සුරතලයට සතුන් ඇති කිරීමේ ව්‍යාපාරයෙහි කොටසක් හැටියටය. 1985 වනවිට ඔවුන්ගේ ගහනය බෙහෙවින්ම පහළ බැස තිබෙන බව විද්‍යාඥයන්ට ඒත්තු ගැන්වී තිබේ. එම විශේෂයේ පක්ෂීන් තිදෙනෙකු පමණක් ඉතිරිව සිටින බව මෑත භාගයේදී වාර්තා වී ඇත. එයින් ගිරවුන් දෙදෙනකු නීති විරෝධී ලෙස අල්ලාගෙන ඇති බවත් දැනගන්නට ලැබී තිබේ. ඉතිරි වූ අනෙක් පක්ෂියා පුරුෂ ලිංගිකයකු බවත් විද්‍යඥයෝ හඳුනාගත්හ. මේ අවසන් ගිරවුන් ඇසුරෙන් අලුත් පරම්පරාවක් ගොඩනඟන්නට විද්‍යාඥයන් නොගත් උත්සාහයක් නැත. එසේ වුවත් ඒ සෑම උත්සාහයක්ම ඉතාමත් අවාසනාවන්ත ලෙස ව්‍යර්ථ වී ගියේය. ස්පික්ස් මැකව් ගිරා විශේෂයේ ජීවියකු 2016 වසරේදී දක්නට ලැබුණු බව වාර්තා වී තිබේ. ග්‍රහණයේ සිටි ජීවියකු එසේ දක්නට ලැබෙන්නට ඇති කියා විශ්වාසයක් ද ඇත.

ස්පික්ස් මැකව් වර්ගයේ ගිරවුන් ගැන එවැනි බලපොරොත්තුවක් තබාගත හැකි වුවත් පූ – උලී, ක්‍රිප්ටික් ට්‍රීහන්ටර්, සහ ඇලගොවාස් ෆොලියේජ්-ග්ලීනර් ආදී පක්ෂීන් ගැන අද කෙසේවත් බලාපොරොත්තු තැබිය නොහැකිය. එම විශේෂවල පක්ෂීන් වඳ වී ගොස් දැන් සෑහෙන කාලයක් ගතව ඇත. ඇලගොවාස් ෆොලියේජ්-ග්ලීනර් විශේෂයේ පක්ෂීන් කුඩා වනාන්තර තුළ ශාකවල අතුපතර සිටින අපෘෂ්ඨවංශික ජීවින් අල්ලා ආහාරයට ගත් පක්ෂී විශේෂයකි. 2011 වසරෙන් පසු මෙකී විශේෂයට අයත් පක්ෂීන් ගැන වාර්තා වන්නේ නැත. ක්‍රිප්ටික් ට්‍රීහන්ටර් ඊශාන දිග බ්‍රසීලයේ වනාන්තරවල ජීවත්වුණු පක්ෂියෙකි. එම වනාන්තර උක් වගාවට එළිපෙහෙළි කරන ලදී. මේ නිසා 2007 වසරෙන් පමණ පසුව එකී විශේෂයේ පක්ෂීන් දක්නට නොලැබුණු බව විද්‍යාඥයෝ සඳහන් කරති. පූ – උලී නමින් හැඳින්වුණු පක්ෂි විශේෂය ජීවත් වුණේ හවායි දූපත් ආශ්‍රිතවය. ඔවුන් වඳ වී යෑමට මුහුණ දී සිටින පක්ෂි විශේෂයක් බව දැනගත් වහාම මිනිස් ග්‍රහණයේ සිටින එම විශේෂයේ පක්ෂීන්ගෙන් නව පරම්පරාවක් ඇතිකරගන්නට විද්‍යාඥයෝ උත්සාහා ගත්හ. එසේ වුවත් එය සාර්ථක වූයේ නැත. 2004 වසරෙන් පසු ක්‍රිප්ටික් ට්‍රීහන්ටර් පක්ෂීන් වඳ වී යන්නට ඇතැයි කියා විද්‍යාඥයෝ පවසති. කුඩා කෘමි විශේෂ අල්ලාගෙන කමින් ජීවත්වුණු සෙන්ටිමීටර 15ක් පමණ උසැති පර්නම්බුකෝ පිග්මි – අවුල් විශේෂය වඳ වී යන්නේ 2002 දී පමණ ය.

පක්ෂි විශේෂ 51ක්වඳ වී යෑමේ තර්ජනයට බරපතල ලෙස මුහුණ පා සිටින බව බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් සංවිධානයේ අධ්‍යනයෙන් තහවුරුව ඇත. තොරතුරු වාර්තා කර ගැනීම දුෂ්කර පක්ෂි විශේෂ ඕනෑතරම් සිටිය හැකි බැවින් සත්‍ය වශයෙන්ම වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින පක්ෂි විශේෂ සංඛ්‍යාව කෙතෙක් ද යන්න හරියටම පැවසීම අසීරු බව විද්‍යාඥ ස්ටුවර්ට් බුට්චර්ට් පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි