×

ටෙස්ලා සභාපති එලන් මස්ක්, ඉල්ලා අස්වෙයි.

සිය ට්වීටර් පණිවුඩ හරහා ආයෝජකයන් නොමග යැවූ සුපිරි කෝටිපති එලන් මස්ක් හට දින 45 ක් ඇතුළත ටෙස්ලා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට නියම කර තිබේ.


එසේම ඔහුට සහ ටෙස්ලා සමාගමට වෙන් වෙන් වශයෙන් ඩොලර් මිලියන 20 ක් බැගින් ගෙවීමට ද නියම වී ඇත. මේ වන විට එලන් මස්ක්, ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. Elon Musk Steps Down As Tesla Chairman

මෙම ආන්දෝලානාත්මක සිදුවීමට හේතුව වන්නේ පසුගිය සතිය මුල, ටෙස්ලා සමාගමට එරෙහිව ඇමරිකාවේ Securities and Exchange Commission (SEC) හෙවත් සුරැකුම් සහ විනිමය කොමිෂන් සභාව විසින් ගොනු කළ නඩුවක ප්‍රතිඵලයක් ලෙස ය. එහිදී ඩොලර් මිලියන 20 බැගින් පුද්ගලිකව හා සමාගම විසින් ගෙවීම සහ එලන් මස්ක් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පදනම් කරගෙන එකඟතාවයකට එළඹීමට සිදුව තිබේ.

කෙසේ නමුත් එලන් මස්ක්, තවදුරටත් ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වශයෙන් කටයුතු කරනු ඇත. එසේම අධිකරණය මගින් අනුමත කළ යුතුව තිබෙන මෙම එකඟතාවය පරිදි, තවත් වසර 3 ක් ගත වන තෙක්, ඔහුට නැවතත් සභාපති ධුරයට පත්වීමට ද අවසර නැත. එලන් මස්ක්ගේ ක්‍රියාවන් හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රතිඵල සමනය කිරීම පිණිස ස්වාධීන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්ද අධ්‍යක්ෂ මණ්ඩලයට බඳවා ගැනීමට නියමිත ය.

ඇමරිකාවේ සුරැකුම් හා විනිමය කොමිෂන් සභාව විසින් එලන් මස්ක් සහ ඔහුගේ ටෙස්ලා සමාගමට එරෙහිව නඩු පැවරීමට හේතුව වූයේ නොමග යවනසුලු ට්විටර් පණිවුඩ හරහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමයි. 2018 අගෝස්තු 7 වැනිදා ටෙස්ලා ප්‍රධානී එලන් මස්ක් ට්විටර් පණිවුඩයක් හරහා පැවසා තිබුණේ ටෙස්ලා සමාගම පුද්ගලික සමාගමක් බවට පත්කිරීම සඳහා, ටෙස්ලා කොටසක මිල ඩොලර් 420 බවට පත්කිරීමට තමන් සතුව වත්කම් තිබෙන බවයි. මෙම ට්විටර් පණිවුඩයත් සමග ටෙස්ලා සමාගමේ කොටස් මිල අතිශයින් පහළ වැටුණි. එවැනි අරමුදල් හෝ වත්කම් සුරක්ෂණයක් සිදු වී නොමැති බව නඩුවේදී හෙළි විය.

එලන් මස්ක්ගේ නව නිපැයුම් සහ නව සොයාගැනීම් සමහරක්

                                                                                ♠PayPal – සම නිර්මාතෘ
                                                                            ♠ටෙස්ලා මෝටර්ස් – Tesla Motors
                                                                             ♠ස්පේස් එක්ස් – SpaceX
                                                                             ♠හයිපර්ලූප් – Hyperloop
                                                                             ♠මස්ක් විදුලි ජෙට් යානය – Musk electric jet
                                                                             ♠SolarCity – විදුලි පැනල ව්‍යාපෘති නගරය

මේ සම්බන්ධයෙන් එලන් මස්ක් පවසා තිබෙන්නේ මෙම තීරණය අසාධාරණ බවකි. එසේම ඔහු විසින් සිය ස්පේස් එක්ස් ටෙස්ලා කාරයේ (SpaceX Tesla car) ඡායාරූපයක් ද සමග Don’t panic යනුවෙන් සඳහන් කරමින් නව ට්වීටයක් ද නිකුත් කර ඇත. පෙබරවාරි මාසයේදී ඔහු විසින් අජටාකාශයට යවන ලද ස්පේස් එක්ස් ටෙස්ලා කාරය, මේ වන විට පෘථිවිය කරා ගමන් ගනිමින් තිබේ.

47 හැවිරිදි එලන් මස්ක්, ටෙස්ලා සමාගමට අමතරව ස්පේස් එක්ස් සමාගමේ ද ප්‍රධානියා වන අතර, ස්පේස් එක්ස් හි ප්‍රධාන ඩිසයිනර් ලෙස ද කටයුතු කරයි. PayPal හි සමනිර්මාතෘවරයා වන්නේ ද ඔහු ය. පරිසර හිතකාමී මෝටර් රථ සංකල්පය ලොවට හඳුන්වා දුන් පුරෝගාමියෙකු ලෙස ඔහු අවිවාදයෙන් සැලකේ. Hyperloop කාරයේ නිර්මාතෘවරයා, සිරස්ව ඉහළ නැංවිය හැකි Musk electric jet හි නිර්මාතෘවරයාද වන ඔහු නවීන ලෝකයේ අති ධාවක නව නිපැයුම්කරුවෙකු ලෙස සැලකේ.

එලන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම, මේ වන විට නාසා ආයතනය සමග ඩොලර් බිලියන 1.6 ක ගිවිසුමකට එළඹ සිටියි. ඒ, අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානය වෙත සැපයුම් සහ අවසානයේ මිනිසුන් ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා ය. මස්ක් අන්තර්ජාතික අජටාකාශ මධ්‍යස්ථානයේ වියදම 90% කින් කපා හැරීමට සමත් විය. එනම්, මස්ක්ගේ මැදිහත් වීමට පෙර එහි වියදම එක් ගගන මෙහෙයුමක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියනක් වූ නමුත්, මේ වන විට එම වියදම ඇමරිකානු ඩොලර් මිලියන 60 ක් දක්වා පහළ බැස තිබේ.

මේ සියල්ලම අතරින් ඔහු වඩා වැදගත් වන්නේ පරිසර හිතකාමී නූතන ගමනාගමන විසඳුම් ඉදිරිපත් කරන ලෝකයේ ප්‍රමුඛතමයා ඔහු වන බැවිනි. තිරසාර බලශක්ති නිෂ්පාදනය මගින් ගෝලීය උණුසුම පාලනය කිරීම ඔහුගේ ඒක අරමුණකි. එසේම අඟහරු ග්‍රහයා මත මිනිස් කොලනියක් (ජනාවාසයක්) ඇති කිරීම මගින් පෘථිවියෙන් මානවයා වඳ වී යාමේ වේගය අඩු කිරීමට ද ඔහු සැලසුම් කරමින් සිටියේය.

දකුණු අප්‍රිකානුවෙකු ලෙස උපත ලද එලන් මස්ක්, වයස අවුරුදු 17 දී කැනඩාවට පැමිණ මේ වන විට දකුණු අප්‍රිකාව, කැනඩාව සහ ඇමරිකාව යන රටවල් තුනේම පුරවැසියෙකු වේ. ලෝකයේ කෝටිපතියන්ගේ වගතුග හෙළිදරව් කරන සුප්‍රකට ෆෝබ්ස් සඟරාවට අනුව එලන් මස්ක් ලෝකයේ සිටින 46 වැනි කෝටිපතියා වේ. 2018 අගෝස්තු මාසය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 19.8 ක් විය.

එලන් මස්ක් ගැන පෙර ලිපි මෙතැනින් කියවන්න…

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි