×

මසයි මාරාවේ මහා සංක්‍රමණය ඇරඹේ.

සීබ්‍රා ටිකිරි මොළෙන් මහා ප්‍රයෝගයක්!


මාසයි මරා ජාතික වනෝද්‍යානය කෙන්යාවේ ඇති විශාලතම වනෝද්‍යානයක් ලෙස සැලකේ. සිංහ, දිවි, චීටා, අලි සහ සීබ්‍රා ආදී විශේෂ රැසකට අයත් ජීවීහු විශාල සංඛ්‍යාවක් මේ වනාන්තරය තුළ වෙසෙති. වර්ග කිලෝමීටර එක්දහස් පන්සියයකට අධික භූමියක් පුරා විහිදී ඇති මේ වනාන්තරය තව තවත් වන සතුන්ගෙන් පිරි ඉතිරී යන්නේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වූ කෙටි කාලයේදී ය. අවට ඇති වන වනාන්තරවලින් දහස් ගණන් වන සතුන් මාසයි මරා වෙත පැමිණෙන අලංකෘත දර්ශනය දැක බලාගන්නට බොහෝ දෙනෙකුට ඉඩ ලැබෙන්නේ එකී කෙටි කාලය තුළයි. විශේෂයෙන්ම අසල්වැසි ටැන්සානියාවේ සෙරෙන්ගෙටී ජාතික වනෝද්‍යානයේ සිට මාසයි මරා වෙත මේ කාලයේදී පැමිණෙන සතුන් ප්‍රමාණය බෙහෙවින්ම ඉහළ ය. වන ජීවින් මාසයි මරා වනන්තරය බලා මෙලෙස සංක්‍රමණය වීම “මහා සංක්‍රමණය” වශයෙන් විද්‍යාඥයෝ හඳුන්වති.

එක් මහා සංක්‍රමණය කාර්යයකට දකුණු අප්‍රිකා ගවයන් මිලියන 1.7ක් වත් සහභාගී වන බව පැවසේ. ඒ හැරුණු විට තොම්සන්ස් ගසෙල්ස් විශේෂයේ ජීවීහු ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් ද, ඇන්ටිලෝප විශේෂවල ජීවීහු ලක්ෂකට අධික ප්‍රමාණයක් ද, සීබ්‍රා ජීවීහු ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් ද මේ මහා සංක්‍රමණයට එක් වෙති. ගල් තලා, කඳු ගැට ගංඟා තරණය කරමින් මේ ජීවීන් මාසයි මරා වෙත පැමිණෙන්නේ ආහාර සහ ජලය සොයා ගෙනය. බඩගින්න සහ පිපාසය නිවාගන්නට එන මේ ගමන කොහොමටවත් ආරක්ෂාකාරී ගමනක් නොවේ. මඟ දිගට ඕනෑතරම් අනතුරුය. අනෙක් අතට ගමන කිලෝමීටර 800ක් තරම් දිගැති ගමනකි. ඒ දිගු ගමන පුරාම වන සතුන්ට විඳින්නට සිදුව ඇත්තේ අධික කුසගින්න වතුර පිපාසය, වෙහෙස, විලෝපිකයන්ගෙන් අනවරතයෙන්ම පැමිණෙන හිංසන සහ අනතුරු ආදියයි. සංක්‍රමණය වන සත්ත්ව රංචු මැදට විලෝපිකයන් ඕනෑම වෙලාවක කඩා වදින්නට පුළුවන. එහෙව් වෙලාවට ජීවිත බේරා ගැනීම බොරුවකි. මහා සංක්‍රමණය අතර තුරදී මුහුණ දෙන්නට සිදුවන මේ අනතුරු ගැන සංක්‍රමණයෙහි යෙදී සිටින සතුන්ට ඉවක් නැතිවාම නොවේ. ඇතැම් සතුන් ඒ අනතුරුවලට මුහුණ දෙන්නට කල් ඇතිවම සූදානම් වන්නේ එනිසා ය.

සතුන් මහා ප්‍රයෝගකාරයන්යැයි කියා සමහරවිට ඔබ නොසිතනවා වන්නට පුළුවන. දැනටමත් ආරම්භ වී ඇති මාසයි මරා මහා සංක්‍රමණය අතර තුරදී ප්‍රයෝගකාරයකු කළායැයි කියන මේ “වංචාව” ඔබ පිළිගත යුතුවම ඇත.

“වංචාව” කරන්නට ඍජුවම සහභාගී වන්නේ සෙරෙන්ගෙටීහි සිට මාසයි මරා වෙත පැමිණෙමින් සිටි සීබ්‍රා ජීවීයෙකි. ඌ ලෝක “අණ්ඩ පාලයකු” විය යුතුය. එසේ නොවුණා නම් ඌ දකුණු අප්‍රිකා ගව සමූහයක් මැද්දට පැන තනිවම මහා සංක්‍රමණයට එක් නොවනු ඇත. තමන් මැදි විය යුත්තේ දහස් ගණනක් වූ දකුණු අප්‍රිකා ගව සමූහයකට බැව් ඌ කල් ඇතිවම තීරණය කර තිබුණාක් මෙනි. දකුණු අප්‍රිකා ගවයන් කළු පැහැ දැවැන්තයන් ය. දහස් ගණනක් දකුණු අප්‍රිකා ගවයන් ගඟක් ගැලුවාක් මෙන් එක දිගට සංක්‍රමණයේ යෙදෙනවිට ඒ අතරට මැදිවන සීබ්‍රා ජීවීයකු කොහොම නම් හඳුනාගන්න ද?. “අණ්ඩ පාල” සීබ්‍රා, ඒ වංචාව බොහොම අපූරුවට කළේය. ඊටත් වඩා අපූරුව උගේ ප්‍රයෝගය ලක්සම්බර්ග්හි සිටි මාසි මරාහි සංචාරයක නිරතව සිටි ඉන්ගෝ ගර්ලක් නමැති ඡායාරූපශිල්පියා තෙවැනි ඇසට හසු කර ගැනීමය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි