×

යුක්රේනයට පහර දීමට ඉරාන ඩ්‍රෝන යොදා ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ප්‍රතිචාරය!

යුරෝපා සංගමයෙන් ඉරානයට නව සම්බාධක පැනවීමට අනුමැතිය..


රුසියානු – යුක්රේන යුධ තත්ත්වය හමුවේ යුක්රේනයට ප්‍රහාර දියත් කිරීමට ඉරානයේ නිපදවන ලද ඩ්‍රෝන යොදා ගැනීම පිළිබඳව රුසියාවට චෝදනා එල්ල වී ඇති අතර, මීට යුරෝපා සංගමය ප්‍රතිචාර දන්වා තිබේ.

ඒ අනුව, ඉරානයේ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු විවිධ ඒකක වලට නව සම්බාධක පැනවීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව ප්‍රංශ ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ.

මෙසේ ඉරානයට එරෙහිව පුද්ගලයන් සහ ඒකක 08 කට සම්බාධක පැනවෙන බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

ඉරානයට එරෙහි එකී සම්බාධක මෙම සතිය තුළ යුරෝපා සංගමයේ අනුමැතිය ලබා පැනවෙනු ඇති බවට ඔහු මාධ්‍ය වෙත සඳහන් කළේය. එමෙන්ම මෙම සම්බාධකවලට යුරෝපා සංගමයේ සාමාජිකයන් 27 දෙනෙකු එකඟතාව පළකර ඇති බව ද වාර්තා වේ.

පසුගිය කාලසීමාව පුරාවටම විදෙස් පුවත් අතර උණුසුම්ම පුවත් මැවීමේ සිරස්තලය බවට පත්ව තිබුණේ රුසියානු – යුක්රේන යුද්ධයයි. මෙම යුධ තත්ත්වය යුරෝපා කලාපය පමණක් නොව මුලුමහත් ලෝකයේම ආර්ථිකය, බලශක්තිය සහ ආහාර ඇතුළු අර්බුද රැසකට හේතුවූ බව සඳහන්.

රුසියානු – යුක්රේන යුධ උණුසුම මැද මෑත කාලීනව පාඨක අවධානය දිනා ගැනීමට සමත් වූ නවතම උණුසුම් ශීර්ෂපාඨය වූයේ ඉරාන රජයට විරුද්ධව එරට දියත් කර ඇති ජන අරගලයයි. කාන්තාවන්ට ඇති නිදහස මත පදනම් වූ මෙම ජන අරගලය ඉකුත් දිනක ඉරාන සදාචාර පොලීසියේ (Morality Police) අත්අඩංගුවට පත්ව රැඳවුම්භාරයේ සිටියදී අභිරහස් ලෙස මරණයට පත්වූ මාහ්සා අමීනි සමඟ උත්සන්න විය.

දැන් යුක්රේන – රුසියානු අර්බුදය තුළ ඉරානයේ මැදිහත් වීම පිළිබඳ තතු පළවීමත් සමඟ මෙකී සන්දර්භයන් දෙක එකිනෙක මුහුම් වමින් තිබෙන බවක් දක්නට ලැබේ.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි