×

අපිට අපේ තාත්තාගේ මළ සිරුර ලබාදෙන්න! – ඛෂෝගි පුත්තු ඉල්ලති.

සාහසික ලෙස ඝාතනය කර මරා දැමුණු සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ මෘත ශරීරය තමන් වෙත ලබාදෙන ලෙස ඛෂෝගිගේ පුතුන් දෙදෙනා ඊයේ ආයාචනය කළහ.


පියාගේ ඝාතනයෙන් පසු ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලයට ගිය- නැවත ආපසු නොආ ඛෂෝගි ඝාතනය කළ බව පිළිගැනීමට තුර්කි රජය සති ගණනාවක් කල් ගත්තේය.

මේ වන විටත් ඔහුව ඝාතනය කළේ කෙසේදැයි නිශ්චිත ලෙස ඔවුන් හෙළි කරනැත.

මළ සිරුර කඩ කඩ කර කපා දමා ඇති බවටත්, දරුණු වධහිංසා පමුණුවා ඇති බවටත් මීට පෙර වාර්තා පළ විය.

කෙසේ නමුත් මෙයට දින දෙකකට පෙර පළවූ අලුත්ම මතයකින් කියැවුණේ ඛෂෝගිගේ මළ සිරුර ඇසිඩ් භාජනයක ගිල්වා දියකර දමා ඇති බවයි.

‘‘අපේ තාත්තා ධෛර්යවන්ත, නිහතමානී සහ ඉතාම නිර්භීත කෙනෙක්“ යැයි ඛෂෝගිගේ පුතුන් දෙදෙනා වන සාලා ඛෂෝගි සහ අබ්දුල්ලා ඛෂෝගි සීඑන්එන් පුවත්සේවය සමග පැවසූහ.

‘‘අපේ එකම ප්‍රාර්ථනය ඔහුට වේදනාකාරී මරණයක් අත්වෙන්න නැතිව ඇති කියන එකයි. එය ඉක්මන් මරණයක් වුණා නම් එය ඔහුට පහසුවක්..‘‘ යැයි හැඟීම්බර ලෙස ඔවුහු පවසා සිටියහ.

සිය පියා දේශපාලනික හේතු මත වැරදි ලෙස අර්ථකථනය කළ බව ද ඔවුහු කියා සිටියහ.

‘‘ජමාල් (තාත්තා) මධ්‍යස්ථ මිනිසෙක්. ඔහු ට හැමෝම ප්‍රිය කළා.“ සිය පියා අපූර්ව සහ ප්‍රීතිමත් මිනිසෙකුව සිටි බව සිහිපත් කරමින් ඛෂෝගිගේ පුතා සාලා පැවසුවේය. ‘‘මට මේ වන විට පේනවා ඔහු වෙනුවෙන් බොහෝ අය ඉදිරිපත් වෙනවා. මේ සිදුවීමෙන් දේශපාලන වාසි ලබාගන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා“ යැයි ද සාලා පැවසුවේය.

ඛෂෝගිගේ පුතුන් දෙදෙනා වයස 33 සහ 35 වයස්වල පසුවන අයයි.

මේ වන විට හෙළි වී තිබෙන කරුණු අනුව ඛෂෝගි තුර්කියේදී සෞදි කොන්සල් කාර්යාලයට ඇතුල් වන්නේ සිය විවාහයට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා ය. ඒ වන විට ඔහු 3 වැනි වතාවට විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහු කොන්සල් කාර්යාලය තුළට ගියේ විවාහ ගිවිස ගැනීමට යෝජිත සහකාරිය කොන්සල් කාර්යාලයෙන් පිටත රඳවා ය. එසේ නොවුණා නම් ඛෂෝගි කොන්සල් කාර්යාලය තුළට ගිය බව පවා ලෝකය දැන ගන්නේ නැත.

මේ වන විට විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යැයි ලෝකය සිතා සිටි ‘සෞදියේ රැවුල් කුමාරයා‘ යැයි විරුදාවලි ලත් ඔටුන්න හිමි කුමාරයා වන මොහොමද් බින් සල්මන් (Mohammed bin Salman)ගේ ඇතුළු කවය විසින් මෙම ඝාතනය සැලසුම් කරන්නට ඇති බවයි.

සෞදි කුමාරයා ඛෂෝගි සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා වන ජරෙඩ් කුෂ්නර් සමග දුරකථන සංවාදවල යෙදී ඇති බව ද මේ වන විට හෙළි වී තිබේ. ඒවාට අනුව ඛෂෝගි ව ලේබල් ගසා තිබෙන්නේ ‘මුස්ලිම් සහෝදරත්වයේ‘ සගයෙක් සහ භයානක ඉස්ලාම්වාදියෙක් ලසෙ ය. මේ බව හෙළකර සිටින්නේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පතයි. බොහෝ අරාබි රටවල් විසින් මුස්ලිම් සහෝදරත්වය සලකන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ය. නමුත් ඇමරිකාව සහ යුරෝපය එසේ නොසලකයි.

මුස්ලිම් සහෝදරත්වය සමග ඛෂොගිගේ පැවති සම්බන්ධය පිළිබඳ විමසූ අවස්ථාවේදී මේ පුතුන් දෙදෙනා ලබාදුන්නේ අපූරු උත්තරයකි. ‘‘ඒවා ලේබල් විතරයි. ඕව කියන මිනිස්සු හරියට ‘හෝම්වර්ක් කරන්නෙ නෑ..ලේබල් ගහන්න ලේසියි!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි