ඔබ මගේ පුතා. මට මේ ලෝකෙ හැමදේටම වැඩියෙන් වටින්නේ ඔයාව. දෙවියන් ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නේ සමරිසියෙකු විදියට නම් ඒක වෙනස් කරන්න මට බැහැ.
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා යනුවෙන් ගීත නිර්මාණය වී තිබේ. සිරිමා බෝ සාමිණි මම පිරිමි පුතෙක් පැතුවා යනුවෙන් තවත් ගායිකාවක් ගයයි. සඳ සාවුන් තරම්වත් දඟ නැති කිරි දරුවන් වදන, හදන. තනන දෙමව්පියෝ අවසනදී දරුවන්ගේ සතුට දැක සතුටු වෙති. දරුවන්ගේ දුකේදී හඞති. ආකාශ් ශර්මා නමැති ආදරණීය පුතා ලොකු මහත්වන ආකාරය, ඉගෙන ගන්නා ආකාරය, ඔහුටම අනන්‍ය වූ ජීවන චර්යාවක් සකස් කරගන්නා ආකාරය, සංගීතය ජීවිතය බවට පත්කර ගනිමින් ජීවිතය විඳින ආකාරය නීලම් සහ දිනේෂ් ශර්මා යුවළ ආදරයෙන් බලා සිටියහ. ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී එහි වෙසෙමින්, එහි රැකියාව කරමින් තම එකම පුතාගේ අනාගතය ගොඩ නැගෙනු දැක ඔවුහු සතුටු වූහ. එහෙත් කිසිදු සාක්ෂියක්, කිසිදු සැකයක් හෝ සැකයක අල්ප මාත්‍රයක් වත් නොමැතිව ආකාශ් ඔහුගේ කාමරයේ සියදිවි නසාගෙන සිටින ආකාරය දැකීමට තරම් නීලම් නැතහොත් ආකාශ් වැඳූ, හැදූ ආදරණීය මව අවාසනාවන්ත වූවාය. තම දරුවාගේ අකල් වියෝවත් සමග මෙම යුවළ ලෝකයේ සිටින වෙනත් අම්මාවරුන්ට, පියවරුන්ට තමන්ට මෙන් විපතක් සිදු නොවේවා යැයි පැතුමින් යුතුව “ස්කයි ශර්මා පදනම” ආරම්භ කරමින් එමගින් ආදරයේ හා සවන්දීමේ අපූර්ව කතාන්දරයක් කියාදෙයි. මේ ආකාශ්, නීලම් සහ ශර්මා යන පවුලේ කතාන්දරයයි.
“ ඔහු හොඳම හොඳ කෙනෙක් වුණා. මම අසනීප වුණාම, මම කඩා වැටුණාම ඔහු සෑමවිටම මගේ ළගින් හිටියා. ඔහු ඒ හැමවෙලාවෙම මාව බදාගෙන, මගේ අතින් අල්ලාගෙන මාව නැගිට්ටුවේ අම්මේ! හැමදේම හරියාවි කියලා මා සනසවමින්. ඔහු හැමවෙලාවෙම කළේ ඔහු හරි කියලා ඔහුගේ හදවත කියපු දේ. ඔහු අමුතු ජාතියේ පුද්ගලයෙක්. ඔහුට හිතුණොත් පාන්දර එකට පමණ ගීත ගායනා කරන්න, ඔහු ඒක කරන ජාතියේ කෙනෙක්.” යනුවෙන් ඔහුගේ මව පවසයි. ආකාශ් මිය යනවිට ඔහුට යාන්තම් වයස 21 ක් වූවා පමණි. ඔහුගේ යහළුවන් ඔහුව ඇමතුවේ ස්කයි හෙවත් අහස යන සුරතල් නමිනි. සත්තකින්ම ඔහු අහස තරම් විසල් අදහස් තිබෙන නිර්මාණශීලී තරුණයෙකු විය. ඔහුගේම ගීත නිර්මාණ කිහිපයකට හිමිකම් කියූ ඔහු දඩබ්බර ගති පැවතුම් ඇත්තෙකු ලෙස පෙනුනද දෙමව්පියන්ට අවනත වීමේ හා ගරුකිරීමේ දකුණු ආසියානු පුරුද්දට ගරු කළ අයෙක් විය.
“මම එදා වැඩට ගියාට පස්සෙ මට දැනුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මට දැනුනා සියල්ල හොඳින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. මගේ සයවැනි ඉන්ද්‍රිය මට කිවුවා නීලම් මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මම ආකාශ්ට කිහිප වතාවක්ම දුරකථනයෙන් කතා කිරීමට උත්සාහ කළත් එයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මම දවල් එක පමණ වන විට නිවසට පැමිණියා. මම ඔහුගේ දොරට තට්ටු කළා. ආකාශ් ඔයා තාම නිදි නම් හරි වෙන මොකක් හරි කරමින් ඉන්නවා නම් හරි කමක් නෑ දොර ඇරියේ නැත්නම් මම ඇතුළට එනවා යනුවෙන් මම පැවසුවා. ආකාශ් එයට ප්‍රතිචාර දැක්වූයේත් නැහැ. මම කිහිප වතාවක්ම ඔහුගේ කාමරයේ දොරට තට්ටු කළා. බැරිම තැන මම ඔහුගේ කාමරයේ දොර ඇරියා. ඒ වෙලාවේ මම දුටු දෙයින් මගේ වටේ මුළු ලෝකයම කැරකෙන්නට වුණා. අනේ! ඔහු සියදිවි හානිකරගෙන, අනේ ඔහු අපිව දාලා ගිහින්. මම මහා හයියෙන් කෑ ගැහුවා. උදවු ඉල්ලුවා. ඒත් ඒ වනවිටත් ඔහු අපිව දාලා ගිහින් ගොඩාක් වෙලාවක්. ” යනුවෙන් නීලම් ඒ අවාසනාවන්ත දවස සිහිපත් කරන්නීය.
“ඒක ලොකු කම්පනයක් විතරක්ම නෙවෙයි. ඒක හරියට ඔහුත් සමගම අපිත් මැරුණා වගේ හැඟීමක්. ” යනුවෙන් ඔහුගේ පියා පවසන්නේය. ආකාශ් කිසිදු අවස්ථාවක ඔහු මානසික පීඩනයකින් හෝ, ආත්ම ඝාතන චේතනාවෙන් හෝ සිටින බව පිටතට පෙන්වූයේ නැත. කිසිදු අවස්ථාවක ඔහු මානසික අවපීඩන තත්ත්වයෙන් සිටින බවක් පෙන්වූවේ නැත. ආකාශ්ගේ දෙමව්පියන් ඔහුව මතක් වනු පිණිස ඒසර් ගසක් සිටුවා ඇත. “ ඔහු හරිම වර්ණවත් මිනිසෙක්. ඔහුගේ ජීවිතයම විවිධ වර්ණවලින් පිරිච්ච අපූරු චිත්‍රයක් වගේ. සියලුම වර්ණ ටික හේදිලා ගිහිල්ලා දැන් අපේ ලෝකය කළු පාටින් විතරක් තිබුණාට ඔහු ජීවත් වූ කාලය බෙහෝ වර්ණවත් වුණා. මේ ඒසර් ගසත් ඒ වගේ. විවිධ සෘතුවලට විවිධ පාටින් මේ ගසේ අතු ඉති ලියලාවි. ඔහු ආස කළ රතු පාට, කොළ පාට, දම් පාට, රෝස පාට, තැඹිලි පාටින් මේ ගස ලස්සන වේවි” යනුවෙන් ඔහුගේ මව පවසයි.
දකුණු ආසියානු කලාපය තුළ ඉතා දරුණු ලෙස තරුණයින් තුළ පවතින මානසික අවපීඩන තත්ත්වය සම්බන්ධයෙන් වැඩ කිරීමට පුන්‍යාතනයක් ලෙස ස්කයි ආකාශ් පදනම ආරම්භ වන්නේ නීලම් හා දිනේෂ් යුවළගේ පෞද්ගලික අදහසක් මතය. මෙම පදනම මගින් දෙමව්පියන් හා දරුවන් අතර පවතින, පැවතිය යුතු මානසික සම්බන්ධතාව තීව්‍ර කරන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන අතර උපදේශනය සැපයීම, සවන් දීම, ප්‍රායෝගික ජීවිත ගැටළුවලට උපදෙස් ලබාදීම ආදිය සිදුකරයි. බ්‍රිතාන්‍යයේ ජීවත්වන සුදු මිනිසුන් මෙන් නොොව දකුණු ආසියානු රටවල් වලින් සංක්‍රමණය වූ මිනිසුන් මානසික උපදේශන සායනවලට යාමට දැඩි මැළි කමක් දක්වති. මේ නිසා ප්‍රශ්නයක් විසඳාගත හැකි මට්ටම ඉහළ ගොස් විශාල කරදරයකින් හෝ ඛේදවාචකයකින් ප්‍රශ්නය අවසන් විය හැකිය. ආකාශ් මිය යාමට බලපෑ ආසන්න හේතුවක් සොයාගත නොහැකි වූයේ ඔහු අඩුම තරමේ මානසික පීඩනයකින් පෙළෙන්නේදැයි නිසි ආකාරයේ විපරමක් සිදු නොවූ බැවිනි. ආකාශ්ගේ මිතුරන් පවසන ආකාරයට ඔහුගේ ශරීරයේ හැඩය පිළිබඳව, දකුණු ආසියාතිකයින්ට සුදු මිනිසුන් විසින් සලකන ආකාරය පිළිබඳව මෙන්ම ඔහුගේ ලිංගිකත්වය පිළිබඳවද ඔහු තුළ යම් කණස්සළු ස්වභාවයක් තිබී ඇත. එහෙත් ඔහු නිරන්තරව ඇත්ත කතාකරන පුද්ගලයෙකු විය. ඔහුට වයස අවුරුදු 18 දී තමන්ගේ මව කැඳවා තමන් සමරිසි පුරුෂයෙකු බව ඔහු මවට පැවසුවේය.
“ඔහු මට පැවසුවා ඔහු සමරිසියෙකු බව. ඒක අහපු ගමන් මට නිකම් දැනුනේ මම ඉන්න තැනින් උස්සලා පොළොවේ ගහනවා වගේ හැඟීමක්. දෙයියනේ අපේ එකම දරුවා සමරිසියෙක් කියන එක මට දරාගන්න බැරිවුණා. ඒත් කාලයක් යද්දී මට ඔහුව ටික ටික තේරුම් ගන්න පුළුවන් වුණා. මම ඔහුගේ කැමැත්තට මගේ අනුමැතිය ලබාදුන්නා. දවසක් මම ඔහුට කිවුවා මම සමාජය හිතන දෙය ගණන් ගන්නේ නැහැ. මම සංස්කෘතිය කියන දෙය ගණන් ගන්නේ නැහැ. ඔබ මගේ පුතා. මට මේ ලෝකෙ හැමදේටම වැඩියෙන් වටින්නේ ඔයාව. දෙවියන් ඔයාව මේ ලෝකෙට එවලා තියෙන්නේ සමරිසියෙකු විදියට නම් ඒක වෙනස් කරන්න මට බැහැ. ඒක වෙනස් කරන්න මම උත්සාහ කරන්නෙත් නැහැ” යනුවෙන් ආකාශ්ගේ මව පවසන්නීය.
ස්කයි ආකාශ් පදනම මගින් ආකාශ්ගේ දෙමව්පියන් බලාපොරොත්තු වන්නේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධයෙන් කතා කිරීමට, සාකච්ඡා කිරීමට දකුණු ආසියානු කලාපීය මිනිසුන් සංවේදී කිරීමයි. ඔවුන් පවසන ආකාරයට අප බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න යටගසමින් ජීවත් වෙයි. අසල්වැසියන් දැනගත්තොත් කුමක් වේවිද? සමාජය දැනගත්තොත් කුමක් වේවිද? ඔවුන් ඒ සම්බන්ධයෙන් කුමනාකාරයෙන් ප්‍රතිචාර දක්වයිද යනාදී වශයෙන් සමාජ භීතිකාවන් පවතින නිසා තමන් තුළ ඇති ප්‍රශ්න මූලික මට්ටමේදීම විසඳා ගැනීමට උත්සාහ කරන්නේ නැත. විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ පුරුෂයින් විසින් තමන් මුහුණ දෙන, තමන් දැවි දැවී ජීවත්වන ප්‍රශ්න වෙනත් අය සමග බෙදාගැනීමට හෝ උපදේශනය ලබාගැනීමට පෙළඹෙන්නේ නැත. අඩුම තරමේ තමන් තුළ ඇති ප්‍රශ්නය තමන්ගේ භාර්යාව සමග පැවසීමට තරම්වත් නිර්භය වන්නේ නැත. මිනිසුන් සිතන්නේ මානසික අවපීඩනයක් හෝ ආතතිය, කාංසාවෙන් පෙළෙමින් සිටිනවා යන්නෙන් අදහස් වන්නේ තමන් තුළ ඇති දුර්වල භාවයක් බවයි. තමන්ගේ දුර්වලතාවය සියල්ලන්ගෙන්ම සඟවා ගැනීමට ඔවුන් උත්සාහ කරන්නේ එය අන් සමග පැවසීමෙන් ලැජ්ජාවට පත්විය හැකියැයි සිතන නිසාවෙනි. ගැහැණියක් සම්බන්ධවද එලෙසමය. ඇය මවක් වූ නිසාම ඇයට පවුලක් බලාගැනීමට, පවුල තුළ ආදර්ශවත් චරිතයක් වීමට අවශ්‍ය වේ. ඇයට කඩාවැටීමට නුපුළුවන. ඇයට අඩු මානසික තත්ත්වයක් තිබීමට නුපුළුවන. මේ යනාදී සිතුවිලි නිසා කාන්තාවන්ද තමන්ට ඇති මානසික ප්‍රශ්න මානසික උපදේශකවරයෙකු සමග හෝ වෙනත් වෘත්තිකයෙකු සමග පැවසීමෙන් සහනයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ නැත. අවසානයේදී සිදුවන්නේ සියලුම කරුණු කාරණා එකතුවී මහා ඛේදවාචකයකින් අවසන් විය හැකි ආකාරයේ තත්ත්වයක් නිර්මාණය වීමයි. එහිදී බොහෝ විට මානසිකව විඳවීමේ තීව්‍රතාවයේ උපරිමය සියදිවි හානිකරගැනීමට පෙළඹීම විය හැකිය. අඩුම තරමේ මිනිසුන් තමන් විඳවන මානසික ප්‍රශ්නය හඳුනාගන්නටවත් උත්සාහ කරන්නේ නැත. මේ නිසා ස්කයි ආකාශ් පදනම විසින් උත්සාහ කරන්නේ තමන් විසින් පෙළෙන, විඳවන මානසික තත්ත්වයන් පිළිබඳව කතා කිරීමට , උපදෙස් ලබාගැනීමට මිනිසුන් පෙළඹවීමයි.
“සෑම දිනකම නින්දට යනවිට මට ඔහුව මතක් වෙනවා. කෑම ගන්න හදනකොට ඔහුව මතක් වෙනවා. තවමත් මට දැනෙන්නේ ඔහු කොහේ හෝ අප සමග සිටින බවයි. අප කරන සියලුම දේ දෙස ඔහු ආදරයෙන් බලා සිටින බවයි. අප ඔහුට කොතරම් ආදරය කළා දැයි කියාගන්න අපිට බැහැ. එත් ඔහු හා අපි අතර යම් පරතරයක් තිබිලා තියෙනවා. ඔහු විඳවමින් සිටින ප්‍රශ්නය තේරුම් ගැනීමට අපට නොහැකි වුණා. ඔහු අඩුම තරමේ කිසියම් ප්‍රශ්නයක ඉන්නවා කියන එකවත් අපිට තේරුණේ නැහැ. මට ඕන මම මේ විඳවන දේ වෙනත් අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට දැනෙන්න ඉඩ නොතියන්නයි.”යනුවෙන් පවසන ආකාශ්ගේ මව තම නිවස ස්කයි ආකාශ් පදනම බවට පත්කරමින් ආකාශ්ගේ ආත්මයට ශාන්තිය පතමින් මනුෂ්‍ය ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් මහන්සි වන්නීය.