×

චීනයට ව්‍යාජ හඳක් වුවමණා වී තිබේ.

චීනය ව්‍යාජ සඳක් ගුවනට නැංවීමට යයි.


ව්‍යාජ සඳක් ගුවනෙහි රැඳවීමේ අදහසක් ඇති බව චීනයේ චෙන්ග්ඩුහි අභ්‍යාවකාශ සමාගමක් පවසයි. සමාගමේ බලාපොරොත්තුව “ප්‍රදීපන චන්ද්‍රිකාවක්” හැටියට මේ ව්‍යාජ සඳ අභ්‍යවකාශයෙහි රැඳවීමයි. රාත්‍රී කාලයේදී වීදී ආලෝකවත් කර ගැනීම සඳහා ව්‍යාජ සඳේ එළිය ලබාගැනීමට හැකි වනු ඇතැයි කියා පැවසේ. මෙසේ ස්ථාපනය කෙරෙන ව්‍යාජ සඳෙන් එළිය ලැබෙනු ඇත්තේ චෙන්ග්ඩු නගරයට පමණි. නගරය තුළ දැනට භාවිතයට ගැනෙන වීදී පහන් එවිට ඉවත් කිරීමට හැකිවනු ඇති බවට අනාවැකි පළ වේ.

ව්‍යාජ සඳ ගුවනට නැංවීමට කටයුතු කරන්නේ චෙන්ග්ඩු ඒරොස්පේස් සයන්ස් ඉන්ස්ටිටියුට් මයික්‍රෝඉලෙක්ට්‍රොනික්ස් සිස්ටම් රිසර්ච් ඉන්ස්ටිටියුට් කම්පැනි ලිමිටඩ් (Chengdu Aerospace Science Institute Microelectronics System Research Institute Co, Ltd) නැමැති ආයතනයකි. එහි සභාපති වූ චුන්ෆෙන්ග් පවසන්නේ මේ තාක්ෂණය වසර ගණනක් පුරා අත්හදා බලා ඇති බවකි. අවශ්‍ය වන්නේ ව්‍යාජ සඳ අහසේ ස්ථාපනය කිරීම පමණකැයි කියා ද හෙතෙම කියා සිටී.

ව්‍යාජ සඳ, කෘත්‍රිම සඳක් හෙවත් දර්පනයක් ලෙස ක්‍රියා කරනු ඇත. සූර්යයාලෝකය පරාවර්තනය කර පෘථිවියට ලබාදීමට එයට හැකියාවක් තිබේ. මේ කෘත්‍රිම සඳ පෘථිවියට කිලෝමීටර 500ක් එහායින් භ්‍රමණය වන අන්දමට ස්ථාපනය කෙරෙනු ඇත. චන්ද්‍රයා භ්‍රමණය වන්නේ පෘථිවියට කිලෝමීටර 380,000ක් ඉහළිනි. ව්‍යාජ හඳෙන් පෘථිවියේ කිලෝමීටර 10ත් කිලෝමීටර 80ත් අතර පෙදෙසක් වෙත සූර්යයාලෝකය පරාවර්තනය කෙරේ. පෘථිවියට අයත් චන්ද්‍රයාගෙන් ලැබෙන ආලෝකයේ දීප්තිය මෙන් අට ගුණයක දීප්තියක් සහිත ආලෝකය ව්‍යාජ සඳෙන් ලැබෙනු ඇති බව වූගේ අදහසයි. 2020 වනවිට ව්‍යාජ සඳ අහසට නංවා ප්‍රදීපන කාර්යය අත්හදා බැලිය හැකි බවට විශ්වාසයක් ඇත.

වර්ග කිලෝමීටර 50ක පමණ ප්‍රදේශයක් ආලෝකවත් කිරීමට විදුලි බලය සඳහා පමණක් වසරකට ඇමෙරිකා ඩොලර් මිලියන 173කට ආසන්න මුදලක් වැය වන බව පැවසේ. ව්‍යාජ හඳ මේ වියදම අඩු කර ගැනීමට මඟක් වනු ඇත.

භූ කම්පන ආදී ස්වභාවික විපත් නිසා විපතට පත්වන, එහෙත් අඳුරු ප්‍රදේශවල ජීවත් වන්නවූවන්ට සහන සැලසීමට මෙවැනි ව්‍යාජ හඳකින් ලබන එළිය විශාල ප්‍රයෝජනයක් වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.

“… මෙවැනි ආයෝජනයක් ගැන සිතන්න. රාත්‍රිය ආලෝකවත් කිරීම සඳහා විදුලිය බලය යොදා ගන්නා විට ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. මෙවැන්නකින් වසර 15ක් පමණ ආලෝකය ලබාගන්න පුළුවන් වුණොත් ඒක ආර්ථිකමය වාසියක් වනු ඇත. …”යැයි කියා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ  විශ්වවිද්‍යාලයේ ස්පේස් සිස්ටම්ස් ඉංජිනියරින් අංශයේ කථිකාචාර්ය ආචාර්ය මැටෝ සෙරියෝටි පවසයි.

කොහොම වුණත්  මෙවැනි සඳකින් නිශාචර සතුන් අවුල් සහගත තත්වයකට පත්වනු ඇති බවට මත පළවේ. එමෙන්ම සොබා දහම තුළ ක්‍රියාත්මක නිශා චක්‍රය බිඳ හෙලන්නටත් මෙවැනි සඳක් හේතුවනු ඇත.

සමහර විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට චීනයේ ඇතැම් නගරවල ආලෝක දූෂණයක් දැනටමත් දකින්නට පුළුවන. ව්‍යාජ සඳ නිසා මේ නගරවලට වැටෙන ආලෝකය තවත් වැඩි වනු ඇත. මේ නිසා ඒ නගරවලට අනවශ්‍ය තරමේ ආලෝකයක් ලැබෙන්නට ඉඩ තිබේ.

අභ්‍යවකාශයේ දර්පන රඳවමින් රාත්‍රිය ආලෝකවත් කරන්නට මින් පෙර අවස්ථා කිහිපයකදීත් උත්සාහ ගෙන ඇත. ඒ ව්‍යායාමයෙන් එතරම් සාර්ථක වී නැති බව සදහන් වේ.

 

මංජුලා විජයරත්න

https://www.bbc.com/news/world-asia-china-45910479

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි