×

මගේ හදවත කවදාවත් තාත්තාට සමාව දෙන එකක් නැහැ. ඒත් මම ඔහුට වෛර කරන්නේ නැහැ

බලහත්කාරයෙන් මානසික හිංසනයට ලක් කළ සමරිසියෙකුගේ මතක සටහන්!


මා සම්බන්ධව මට දැනෙන්නට පටන්ගත් කුඩා කාලයේදීම මම තේරුම්ගත්තේ මගේ ආකර්ශනය පුරුෂයන් කෙරෙහි යොමුවන බවය. වර්තමානයේදී මා විසින් මම කවුද යන්න හඳුනාගන්නා “සමරිසි” යන වචනය මා දැන සිටියේ නැත. මා වැනි තවත් අය සිටීද, ඔවුන් කරන්නේ මොනවාද යන්න මා දැනසිටියේ නැත. එක්දිනක් මා මාගේ පියාගේ මිතුරෙකු අතින් අපයෝජනයට ලක්විය. ඔහු මාව දූෂණය කළේය. ඔහු අප නිවසට අවස්ථා ගණනාවකදීම පැමිණ ඇති අතර මා විසින් ඔහු දෙස බලාසිටිනු හෝ, ඔහු පිළිබඳ කැමැත්තක් තිබුණු අයුරු ඔහු නිරීක්ෂණය කරන්නට ඇත. අවසානයේදී මාගේ බලාපොරොත්තු සපථ කරමින් ඔහු මාව දූෂණය කළේය. ඉතා තිරිසන් ආකාරයට ඔහුගේ රළු ආක්‍රමණයට මා ලක්වූ අතර ඉන් ඔහු නැවතුනේ නැත. තමා විසින් සිදුකළ කිසිදු ක්‍රියාවක් පිළිබඳ නොපවසා ඔහු මාගේ පියා සමග පවසා තිබුණේ ඔහුගේ පුතා නොහොත් මා සමලිංගිකයෙකු බවයි. එක්දිනයකදී ගිණි පුපුරු විසිවෙන දෑසින් යුතුව මාගේ පියා ඔහු සමීපයට මා කැඳවීය.

“උඹ සමලිංගිකයෙක්ද?”ඔහු ඇසුවේය. පිළිතුර ඉතා කෙටිය. කුඩා නමුත් නිර්භීත වූ මා “ඔවු” එය එසේ යැයි පැවසීය. දින ගණනාවකට පසුව නැවත වතාවක් ඔහු මා කැඳවීය. “මම උඹව යවනවා තැනකට. එතැනදී උඹේ එය පොන්න ගති ඇරිලා පිරිමියෙක් වෙලා ඒවි. මම එය ප්‍රතික්ෂේප කළෙමි. ඔහු පැවසූයේ එසේනම් මට නිවසින් පිටවීමට හැකි බවයි. නිවසින් පිටවීමට, ඉගෙනගැනීම නතරකිරීමට, බඩගින්නේ සිටීමට මට නොහැකි බව මා තේරුම්ගත්තෙමි. අකමැත්තෙන් නමුත් වෙනත් තීරණයක් නොමැති නිසා මම තාත්තා පැවසූ දෙයට එකඟ වීමි. ඔහු පැවසූ දෙය මා නොකළානම් මට කවදාවත් මගේ පවුලේ අය නැවත දැකීමට නොහැකි වනු ඇත. අවසන් නිවේදනය මට ඔහුගෙන් ලැබුණි. ඒ මා සුවකිරීමේ චිකිත්සාවට (Conversion Therapy) ලක්වීම සඳහා Love in Action නම් වූ කඳවුරට පිටත්විය යුතු බවයි.

මෙම සංවේදී කතාව අප හා බෙදාගන්නේ “තරුණ පිරිමියෙකු විසින් මකාදමනු ලැබූ මතක සටහන්” යන කෘතිය ලියමින් හා 2018 වර්ෂය අවසානයේදී තිරගතවීමට නියමිත තම කෘතිය ආශ්‍රය කරගත් චිත්‍රපටය වෙනුවෙන් යුහුසුළු වන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ගැරල්ඩ් කොන්ලේ විසිනි. ඔහු ලොව පුරා විසිරී සිටින සමරිසි ප්‍රජාව වෙනුවෙන් මෙන්ම ලොව පුරා විසිරී සිටින සමරිසි දරුවන්ගේ දෙමව්පියන් ආමන්ත්‍රණය කරමින් තම කතාව ඉදිරිපත් කරන්නේ මොළය සේදීම හෙවත් බ්‍රේන් වොෂ් ක්‍රියාවලිය මගින් පුද්ගලයෙකුට ඇතිකළ හැකි බරපතල අනතුරුද සිහිපත් කරවමිනි.

“ඔබ ඉතා ගැඹුරු ලෙස මානසික ශෝධනයකට ලක්වන විට අඩුම තරමේ සිදුවන්නේ කුමක්ද කියලාවත් ඔබ දන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැහැ ඔබ අකමැති, ඔබට නොහැගෙන, ඔබට නොදැනෙන මායාකාරී ලෝකයකට ඔබව බලහත්කාරයෙන් තල්ලු කරගෙන යන්න ඔවුන් උත්සාහ කරන බව. සුව කිරීමේ මෙහෙයක් යැයි පවසමින් ඔබට බලහත්කාරයෙන් කරන දේ තුළින් ඔබේ ආත්මයම විනාශ කර දමන බව” යනුවෙන් පවසමින් ඔහු තම අත්දැකීම් ප්‍රකාශනය ආරම්භ කරයි.

“සුවකිරීමේ චිකිත්සා වලදී මට ඇතිවුණ අපහසුතාවය, වසර ගණනක් පුරා මගේ ජීවිතයට ඔවුන් කළ හානිය මතක් වෙත්දී මට තවමත් මම ගැන ඇතිවන්නේ දැඩි ලැජ්ජාවක්. මා විසින් අමතක කිරීමට උත්සාහ කළත්, අමතක කිරීමට නොහැකි, මගේ ජීවිතයෙන් උදුරාගත් ඒ අවාසනාවන්ත වසර කිහිපය මම කොහාමද ආයෙත් ගන්නේ” යනුවෙන් ඔහු පවසයි. දැඩි ආගමික භක්තිකයෙකු වූ හා දේශකවරයෙකු වු ඔහුගේ පියාට අනුව කොන්ලේ ව සුවකළ යුතු වන්නේ ඔහු දිනෙක ළමා අපචාරිකයෙකු වීම හා දෙවියන්ගේ සාපයට ලක්වීම වැළැක්වීම සඳහාය.

“ මට මේවායින් පැනලා යන්න පුළුවන් වුණේ නැහැ. මට විතරක් නෙවෙයි මම වගේ බොහෝ සමරිසි, සංක්‍රාන්ති සමාජභාවීය අයට එහෙම පැනලා යන්න බැහැ. ජීවත් වෙන්න මුදල් අවශ්‍යයි. දෙමව්පියන්ගෙන් යැපෙන දරුවන්ට තනි තීරණයක් ගන්න බැහැ. සමහර ළමයි මේ සිදුවීම් දරාගන්න බැරුව තමන්ගේ ජීවිතය නැතිකර ගන්නවා. ”

මෙලෙස පවසන කොන්ලේ සුවකිරීමේ චිකිත්සා මධ්‍යස්ථානය තුළදී සිදුවූ දේවල් ආවර්ජනය කරයි. “වෙනත් විකල්පයක් නැති මම සුවකිරීමේ මධ්‍යස්ථානයට ඇතුළත් වුණා. වසර පහක් පුරා මම එහි ජීවත් වුණා. සෑම දිනකම දණහිස් දෙක මැද ඔළුව ගසාගෙන දෙවියන්ට යාඥා කරමින් මම ජීවත් වුණා. ඔවුන් මාව ලැජ්ජා නැති මිනිසෙකු ලෙස හංවඩු ගසා තිබුණා. ඔවුන් පැවසූයේ දෙවියන්ගේ සාපයට, දේව උදහසට ලක්වූ මා එයින් මිදිය යුත්තේ විෂම ලිංගිකයෙකු වී කාන්තාවන්ට ආකර්ශනය වීමෙන් බවයි. මා වැනිම තවත් සමරිසි තරුණයින් විශාල ප්‍රමාණයක් මධ්‍යස්ථානවල සිටියා. ඔබට දැනෙනවද එක හා සමාන අදහස් තිබෙන, එක හා සමාන කැමැත්තවල් තියෙන, එක හා සමාජ ආශාවන් හා ආකර්ශනයන් තියෙන තරුණයින් කිහිප දෙනෙක් එකිනෙකා සමග සම්බන්ධ වුනාම කොතරම් විනෝද විය හැකිද කියලා. අපිට මධ්‍යස්ථානය ඇතුළෙ ලිංගික ක්‍රියාවන් කරන්නවත් ආදරය කරන්නවත් අවශ්‍ය වුණේ නැහැ. අඩුම තරමේ එක හා සමාන වයසේ පසුවෙන සමීප කුළුපඟ මිතුරන් ලෙස ආශ්‍රය කිරීම පවා ඔවුන් අපට තහනම් කරලා තිබුණා. සෑම ඉරියව්වක්ම, සෑම සංඥාවක්ම නිරීක්ෂණය කරමින් උකුසු ඇස් ඇති නිලධාරීන් විසින් අපව නිරීක්ෂණය කරනු ලැබුවා. අපි නොදැනුවත්ව අපේ ශරීරය විසින් සිදුකරන ඕනෑම ඉරියවුවක් පවා සමරිසි ඉරියවුවක් ලෙස ලේබල් කරමින් එලෙස කළ තැනැත්තාට දඞුවම් ලබාදීමට ඔවුන් පෙළඹුනා. ඉතා තදබල ලෙස මනස වෙනස් කිරීමට ලක් කර සිටි සමහර සමරිසි අය විසින් අපව අපහාසයට ලක් කළා. අපගේ හැසිරීම් ගැන ඔවුන් පැමිණිලි කළා. අපගේ අත් පා චලනයන් පවා ඔවුන් විසින් විෂම ලිංගිකයෙක් වීමට දරන උත්සාහයට බාධාවක් බව පවසමින් ඔවුන් අප සම්බන්ධව පැමිණිලි කළා. අලුතෙන් පැමිණි අය සම්බන්ධව ඔවුන් තුළ පැවතුණේ තදබල වෛරයක්. ඔවුන් එසේ වූයේ ඇයිදැයි යන්න මට දැන් තේරෙනවා. ඔවුන් හිතනවා අඩුම තරමේ මෙතැනට එන්නට පෙර දිනයේදී හෝ අපි පිරිමියෙක් එක්ක නිදාගෙන එන්න ඇති කියලා. ඔවුන් ඒ ගැන ඊර්ෂ්‍යා කරනවා. එහෙම හිතෙන එක සාමාන්‍යයි. දිනපතාම විවිධාකාරයේ චිකිත්සාවන්ට මුහුණ දීමට අපට සිදුවුණා. ඒක ඉතාම භයානක වගේම ජුගුප්සාජනක දෙයක්. අප විසින් පසුගිය ජීවිත කාලයේදී සිදුකළ සියලුම ලිංගික ක්‍රියාවන්, සියලුම ලිංගික අත්දැකීම්, අප හා සම්බන්ධ වුණු සියලුම ආදරණීයයන් මතක් කරමින්, ඒවා පාපොච්චාරණය කරන්නට අපට සිදුවුණා. උපදේශකවරුන් විසින් ඒ සියල්ල “පවු” ගොඩට දමනු ලැබුවා. සියලුම දේවල් යනුවෙන් අප විසින් සිදුකළ ලිංගික ක්‍රියාවන් පමණක් නොවෙයි, වෙනත් අය සම්බන්ධයෙන් අප තුළ පැවති ආශාවන්, හදවතේ පැවති ආදරණීය හැඟීම් පවා පාපොච්චාරණය කිරීමට හා ඒවා පවු ගොඩට දමා සමාව භජනය කිරීමට අපට සිදුවුණා. වාසනාවකට මට බොහෝ අත්දැකීම් හෝ ෆැන්ටසි තිබුණේ නැහැ. අපට විවිධාකාරයේ ක්‍රියාකාරකම් සිදුකිරීමට නියමිතව තිබුණා. ක්‍රීඩා ඒ අතරින් විශේෂ වුණා. පිරිමියෙකු වීමට, බාහුබලයෙන් හා ශක්තියෙන් යුත් පිරිමියෙකු වීමට අපට බලකරනු ලැබුවා. ඔවුන් විශ්වාස කළා ශාරීරික ව්‍යායාම කිරීම, බර එසවීම යනාදිය සිදුකිරීමෙන් පසුව අපට කාන්තාවන් සම්බන්ධ ආකර්ශනය ඇතිවේවි යැයි කියලා. විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම්වලදී විවිධ චරිත අනුකරණය කිරීමට හා අනුකරණ ඇසුරෙන් ඉගෙනගැනීමට අපට සිදුවුණා. ඔවුන් පැවසූ ආකාරයට අපි පුරුෂයින් සමග ලිංගික ක්‍රියාවන් කිරීමට ඇබ්බැහි වූ පිරිසක්. විවිධ භූමිකා අනුකරණයේදී අපට ලැබුනේ සමරිසි වීම නිසා විනාශවී ගිය ජීවිත අනුකරණය කරමින් ඉගෙන ගන්න. ඔබ ළමා අපචාරිකයෙකු විය හැකිය, විවාහය කඩාකප්පල් කරගත් කෙනෙකු විය හැකිය, සිරගතවීමට ලක්වූවෙකු විය හැකිය, සමරිසි භිතිකාවෙන් පෙළෙන කණ්ඩායමකගේ පහර කෑමට ලක්වූවෙකු විය හැකිය යනාදී වශයෙන් විවිධ චරිත අනුකරණය කිරීමෙන් ඉගෙනගැනීමට අපව පොළඹවනු ලැබුවා. ඔවුන් මනෝ විද්‍යාවේ එන ප්‍රජානන ඉගෙනුම් න්‍යාය බරපතල ලෙස පාවිච්චි කළේ අපට අප සම්බන්ධව ලැජ්ජාවක් ඇති කරවන්නයි”.

මෙම කිසිදු ක්‍රියාකාරකමකින් ඔහු තුළ පැවති සමරිසි හැඟීම් වෙනස්කිරීමට නොහැකි වූ බව කොන්ලේ පවසන අතර ඔහුගේ ජීවිතයේ අතිශය සුන්දර වසර පහක් පමණ අවාසනාව, බලාපොරොත්තු රහිත බව, කාංසාව හා තමන් පිළිබඳව හා සමාජය පිළිබඳව වෛරයෙන් ජීවත්වීම යනාදියෙන් පෙළනු ලැබූ බව පවසයි.

“තමන්ට තමාව අහිමි වීම. තමා සම්බන්ධ වෛරයක් හා පිළිකුළක් තමා තුළම ඇතිවීම තරම් දරුණු දෙයක් ලෝකයේ තවත් නැහැ. ලෝකයේ ඉන්න කිසිම කෙනෙක්ට එවැනි ඉරණමකට මුහුණ දෙන්න වෙන්න එපා කියන එකයි මම පතන්නෙ. ඒ තරමටම මේ සුවකිරීමේ මෙහෙයන්, සුවකිරීමේ චිකිත්සා ජුගුප්සාජනකයි. ”

වසර පහකට පසුව ඔහුගේ මව ඔහු බැලීමට පැමිණෙන අතර ඉතා බරපතල දෙයක් සිදුවන බව ඇය තේරුම්ගැනීමට පටන්ගත්තාය. ඒ වන විටත් සුවකිරීමේ චිකිත්සාවන් වලට ලක්වීම නිසා සියදිවි නසාගත් තරුණ ජීවිත ගණනාවකගේ ඛේදවාචක ඇය අසා තිබුණාය. පියාට එරෙහිවීමට තරම් නිර්භීත කමක් එදා නොතිබුණද වසර පහක ඇවෑමෙන් ඇය තනි තීරණයක් ගැනීමට තරම් නිර්භීත වී සිටියාය. ඔහු නැවත නිවසට කැඳවාගෙන පැමිණි ඇය ඔහුගේ ජීවිතය අලුතින් ආරම්භ කළ යුතු බව පැවසුවාය. ඔහුගේ පියා ඔහු දුටු විගස ඇසුවේ ඔහු පැමිණියේ සුව වීමෙන් පසුවද බවයි. ඔහු නැත යනුවෙන් පැවසීය. එතැන් පටන් වසර ගණනාවක් ගතවන තුරු පියා හා පුතා අතර සංවාදයක් සිදුවූයේ නැත. කාලය වේගයෙන් ඉගිල ගොස් ඇතත් තවමත් කොන්ලේ ඔහුගේ ජීවිතයේ සිදුවූ අමිහිරි අත්දැකීම්වලින් පීඩා විඳියි. ඔහුගේ මනසට, ඔහුගේ ජීවිතයට ඇතිකළ දරුණු ගණයේ පීඩා නිසා ඇතිවූ පශ්චාත් කම්පන තත්ත්ව වලින් තවමත් ඔහු පීඩා විඳියි. විශේෂයෙන් කම්පන ප්‍රතිකාර (Shock Therapy) මගින් ඔහුගේ මනසට ඇති කර තිබූ හානිය ඉතා බරපතල වූ අතර ඔහු තමා විසින් ලද අත්දැකීම් ආශ්‍රය කරගෙන කෘතියක් රචනා කළේ එක් පසෙකින් සමාජයට පණිවිඩයක් ලබාදීම හා අනෙක් පසින් තමන් තුළ පවතින මානසික හිරිහැර බන්ධනයෙන් නිදහස් වීම අරමුණු කරගෙනය. එතැනින් නතර නොවූ ඔහු තම කෘතිය ආශ්‍රය කරගෙන 2018 වර්ෂයේ අවසානයේ තිරගතවීමට නියමිත චිත්‍රපටය වෙනුවෙන් යුහුසුළු වෙමින් සිටියි. සුප්‍රසිද්ධ නිලි නිකොලේ කිඩ්මෑන් සහ සුප්‍රසිද්ධ නළු රසල් ක්‍රෝවු රංගනයෙන් දායකවන එම චිත්‍රපටය ලොව පුරා විසිරී සිටින සමරිසි ප්‍රජාවට වාසනාවන්ත අනාගතයක් වෙනුවෙන් මඟපෙන්වනු ඇති බව ඔහු විශ්වාස කරයි. එමෙන්ම වර්තමානයේදී ඔහු සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව සුවකිරීම මැයෙන් සිදුකරන සියලුම චිකිත්සාවන් නීතියෙන් තහනම් කිරීම වෙනුවෙන් වැඩකරමින් සිටියි.

අවසානයේ ඔහු මෙලෙස පවසයි. “මගේ හදවත කවදාවත් තාත්තාට සමාව දෙන එකක් නැහැ. ඒත් මම ඔහුට වෛර කරන්නේ නැහැ.!”

පසු සටහන

ශ්‍රී ලංකාවේද මෙවැනි ආකාරයේ සුවකිරීමේ මෙහෙයන් හා සුවකිරීමේ චිකිත්සා මධ්‍යස්ථාන පහක් පමණ පවතින අතර ඔවුන් විසින්ද සිදුකරන්නේ සමරිසි දරුවන්ගේ දෙමව්පියන් රවටමින් හා සමරිසියන් රවටමින් ඔවුන්ගෙන් වංචනික ලෙස මුදල් උපයාගැනීමයි. එහෙත් මෙම සංවිධාන මගින් පුද්ගල මනසට ඇතිකරවන බරපතල හානිය පිළිබඳ වග නොකියන අතර ඔවුන් මේ සම්බන්ධ තෙරපි කිරීමට ලියාපදිංචි වූ ආයතන නොවේ. පසුගිය කාලයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව සමග එක්ව අප විසින් මෙවැනි වංචනික චිකිත්සා කඩ සම්බන්ධයෙන් පැමිණිලි කළ අතර ඔවුන් සම්බන්ධ පරීක්ෂණ මේ දිනවල සිදුකරමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි