×

සමලිංගික සම්බන්ධතා නීත්‍යනුකූල කිරීම වෙනුවෙන් ඉන්දියාවේ අලුත්ම පිම්ම.

ලෝකයේ සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර ඇති හා අපරාධයක් ලෙස සලකන රටවල් 72 ක් අතුරින් ඉන්දියාව විශාලතම රට වන අතර වැඩිම සමලිංගික ජනගහණයක් ජීවත්වන රට යැයි විශ්වාස කෙරේ.


ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ නීති පොතේ ඇති බරපතලම අපරාධය නැවත විචාරීමට සූදානම් වෙයි. ඉන්දියාවේ අපරාධ වර්ගීකරණය අතර වඩාත්ම සමාජ කතිකාවට බඳුන් විය හැකි මාතෘකාව සමලිංගිකත්වයයි. එය ආණ්ඩු පෙරලීමට තරම් ප්‍රබල, සමාජය තුළ විශාල කැලඹීමක් හා කම්පනයක් ඇතිකරවීමට තරම් රළු සමාජ මාතෘකාවක් වී තිබේ. සමලිංගිකයින් හෙවත් සමරිසියන් ලක්ෂ ගණනින් සිටින බව දැන සිටියත්, ඔවුන් ජීවිතයේ විවිධ අවස්ථාවලදී විවිධාකාරයේ හිංසනයන්ට, නොපනත්කම්වලට භාජනය වන බව දැන සිටියත්, සමාජ හා සංස්කෘතික කාරණා මත පදනම්ව සමලිංගිකත්වය සම්බන්ධයෙන් බහුතරයකගේ අදහස ඒ තරම් සුබවාදී නැත. ලෝකයේ සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර ඇති හා අපරාධයක් ලෙස සලකන රටවල් 72 ක් අතුරින් ඉන්දියාව විශාලතම රට වන අතර වැඩිම සමලිංගික ජනගහණයක් ජීවත්වන රට යැයි විශ්වාස කෙරේ.

එහෙත් ඉන්දියානු අපරාධ නීතිය තුළ සමලිංගිකත්වය දඞුවම් ලැබිය හැකි අපරාධයකි. සරලව පැවසුවහොත් උපත ලද ආකාරය කුමක් වුවත්, ජානමය තත්ත්වය කුමක් වුවත්, මානසික ක්‍රියාවලිය කුමක් වුවත්, ඔබ ආදරය කරන්නේ හෝ ලිංගිකව ආකර්ශනය වන්නේ සමාන ලිංගිකයෙකුට නම් ඉන්දියානු නීතියට අනුව ඔබ කරන්නේ වරදකි. ස්වභාව ධර්මයට පටහැණි වීමකි. පුරාතන ඉන්දියාව තුළ ලිංගිකත්වය දේවත්වයෙන් ඇදහූ සාක්ෂී හමු වී තිබියදීත්, වාත්ස්‍යායන කාම සූත්‍රය මගින් කාම සම්බෝගය පිළිබඳ ලෝකයේ විශාලතම කෘතිය ලියුවත්, කජරාවෝ දේවාලය තුළ සමලිංගිකත්වයද ඇතුළත්ව නිදහස් ලිංගික හැසිරීම් නිරූපණය කරන ලෝකයේ එතෙක් මෙතෙක් හමුවූ අලංකාරවත්ම කැටයම් හා නිර්මාණ හමුවී තිබියදීත්, ඉන්දියාව තුළ සමරිසි හැසිරීම් අපරාධයකි.

ඉන්දියාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කොළණි රටක් බවට පත්වූ පසුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් සිවිල් හා අපරාධමය වැරදිවලට දඞුවම් ලබාදීමට අවශ්‍ය අධිකරණ ක්‍රමයක් හා නීති ක්‍රමයක් හඳුන්වා දෙන අතර එම නීති ක්‍රමය මගින් සමාන ලිංගිකහැසිරීම් සහිත වූවන් අපරාධකරුවන් බවට පත්කර තිබේ. 1861 දී සංග්‍රහ කරන ලද ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමලිංගිකත්වය අපරාධයක් ලෙස සැලකෙන අතර එය ස්වභාව ධර්මයට පටහැනි තදබල අශිෂ්ට ක්‍රියාවක් වශයෙන් සැලකේ. මේ හා සමානවම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව හෙවත් සිලෝන් නම් රටේද සමලිංගිකත්වය අපරාධයක් බවට පත්කරන ලද්දේ මැකොලේ නම් සාමිවරයා විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් 1883 සංග්‍රහ කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 365 හා 365 අ යන වගන්ති මගිනි. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ සමලිංගිකත්වය අපරාධයක් කොට සලකන වගන්ති දෙකම එක හා සමාන වන අතර වෙනස් වන්නේ වගන්ති අංකයන් පමණි. ලෝකයේ සමලිංගිකත්වය සම්බන්ධව කතිකාවන් සියවස් ගණනාවක් පුරා තවමත් පැවතෙමින් එන අතර වර්තමානය වන විට සමරිසිභාවය යනු මානසික ලෙඩක් හෝ අසාමාන්‍ය චර්යාවක් නොව මිනිස් හැසිරීම්වල එක් පැතිකඩක් පමණක්ය යන අදහස විද්‍යාත්මකව තහවුරු කර ඇත. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය හා අන්තර් ජාතික මනෝ විද්‍යා සංගමය ඔවුන්ගේ මානසික රෝග වර්ගීකරණ ලැයිස්තුවෙන් සමරිසිභාවය මානසික රෝගයක්ය යන්න ඉවත් කළ අතර, එය සාමාන්‍ය මිනිස් චර්යාවක්ය යන්න ප්‍රකාශ කරන ලදී. මේ සමගම සමරිසිභාවය සම්බන්ධව හා සමරිසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධව ගොඩනැගී තිබුණු මානව හිමිකම් දිනාගැනීමේ අරගලය වඩාත් ප්‍රබල ලෙස හා තීව්‍ර ලෙස සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ රටවල් කිහිපයක්ම තම රට තුළ සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියාකරන ලදී. ඔවුන් විසින් තම රටවල්වල සමරිසිභාවය නීතිමය වශයෙන් අපරාධයක් නොවන බව තහවුරු කළා පමණක් නොව සමරිසි පුද්ගලයින්ට විවාහවීමට හා දරුවන් ඇතුළත් පවුලක් ගොඩනගා ගැනීමටද අවසර ලබාදුන්හ. වඩාත්ම විශේෂ දෙය නම් ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දෙමින් නිදහස් මානව චර්යාවන් අපරාධයක් බවට හංවඩු ගසමින් සමරිසිභාවය අපරාධමය වරදක් බවට පත්කළ බ්‍රිතාන්‍යය පවා ඔවුන්ගේ රට තුළ සමරිසිභාවය නිර්අපරාධීකරණය කළ අතර එංගන්තය හා සම්බන්ධ රටවල්ව පැවති වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය වැනි රටවල්වලටත් එසේ කිරීමට අනුබල ලබාදුන්නේය. එපමණක් නොව වර්තමානය වන විට එංගලන්තය හා අනෙකුත් රටවල්වල සමරිසි විවාහ පවා සිදුකිරීමට හැකි අතර දරුවන්ව පවුලට සම්බන්ධ කරගැනීමේ හැකියාවද පවතී. බ්‍රිතාන්‍යයින් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි සංවිධානවල නිර්දේශ පිළිගනිමින් එසේ කර තිබියදීත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල් සමලිංගිකත්වය නිර්අපරාධීකරණය කරනු තබා සමරිසි පුද්ගලයින්ට එරෙහිව සිදුවන විවිධාකාරයේ පුද්ගලික හා සංවිධානාත්මක හිංසන වැළැක්වීමටවත් පියවර ගෙන නොමැත.

මෙම තත්ත්වය වෙනස්කිරීමට ලෝක ප්‍රජාව ගන්නා විවිධ පියවරවල දිගුවක් ලෙස ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගහරුවාදා දිනයේදී (10) ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය නැවත සලකා බැලීමට පියවර ගැනීම අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය ඉන්දියාව ඇතුළු ලෝකයේ ජීවත්වන සමරිසි ප්‍රජාවට ආදරණීය බලාපොරොත්තුවක් එකතුකරන පියවරක් වන අතරම, යුක්තිය, සාධාරණත්වය, මානව හිමිකම් හා එකිනෙකාට ආදරය කරන අහිංසක මිනිසුන්ගේ හෘදයාංගම බැඳීම්වලට වටිනාකමක් තවමත් ලෝකයේ ඉතිරිව ඇත යන පණිඩිවයද ලබාදෙන ආකාරයේ පියවරක් ලෙස සැලකිය හැකිය. මීට පෙර 2009 වර්ෂයේදීද දිල්ලියෙහි මහාධිකරණය විසින් සමරිසිභාවය නිර් අපරාධීකරණය කළ යුතුය යනුවෙන් නියෝගයක් ලබාදුන්නේ නෑෂ් පදනම නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් පුද්ගලයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන්නේය යනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය. එහෙත් 2013 වර්ෂයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නඩු තීන්දුව නිෂ්ප්‍රභා කළේ එය මහාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකු පමණක් ලබාදුන් තීන්දුවක් පමණක් බව පැවසීමෙනි.

රටක දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්ති වෙනස්කිරීම හෝ එම වගන්ති මගින් ජනතාවට ඇතිකරවන පීඩනය පිළිබඳ මහාධිකරණයට ඇති බලය සීමා සහිත බව පෙන්වා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූයේ සමරිසිභාවය නිර්අපරාධීකරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි. 2013 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් එම තීන්දුව පිටුපස බොහෝ ආගමික සංවිධාන හා අන්තවාදී සංවිධාන සිටි අතර ඔවුන් විසින් සංවිධානාත්මකව පෙන්වා දුන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමරිසි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානියක් නොකරන බවයි. එය සමරිසි ලිංගික ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වන බවයි. 2013 වර්ෂයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කරන ලද මහාධිකරණ තීන්දුව නැවත සලකා බලන ලෙස විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා සමරිසි අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් විසින් කරන ලද ඉල්ලීම හා බලකිරීමට කන්දුන් ශ්‍රේෂ්ඨාධීකරණය 2016 වර්ෂයේදී නැවත වතාවක් මේ සම්බන්ධව සලකා බලන ලදී. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයෙකුගේ ලිංගික අයිතිය යනු ඔහු හෝ ඇයගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය බවයි. ලිංගික දිශානතිය නැතහොත් තමන් ලිංගිකව ආකර්ශනය වන්නේ කා හටද යන කාරණය පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය හා සම්බන්ධ වේ. ඉන්දියානු ව්‍යවස්ථාව විසින් පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය තහවුරු කර ඇති නිසා සමරිසිභාවය ඇතුළත් ලිංගික දිශානතියද ව්‍යවස්ථාව යටතේ ආරක්ෂා විය යුතු බව තහවුරු කරන ලදී. මේ පසුබිම නැවත වතාවක් 2009 වර්ෂයේදී දිල්ලි මහාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධ මතකය අලුත් කළ අතර 2013 වර්ෂයේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අභියෝග කරමින් පෙත්සම් 6 ක් ඉදිරිපත් විය. මෙම පෙත්සම් හය ඉදිරිපත් කිරීමේ කතාව පිටුපස ඉන්දියාවේ සිටින විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවන් වෙනුවෙන් වැඩ කරන මානව හිමිකම් සංවිධාන, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව, නීතිඥ සංගම්, වෙනත් වෘත්තිකයින්ගේ දායකත්වය තිබුණි. ඔවුන් එකා සේ මහන්සි වූයේ ඉන්දීය ව්‍යවස්ථාව මගින් පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය ආරක්ෂා කළද දණ්ඩ නීති සංග්‍රහය මගින් එම අයිතිය උල්ලංඝණය වන බව සහේතුකව පෙන්වා දීමටය. ඒ සඳහා ඔවුන් භාවිතා කළේ ජාතික තොරතුරු ඒකකය මගින් ඉදිරිපත් කළ වාර්තාවන්ය. එම වාර්තාවලට අනුව 2016 වර්ෂයේදී පමණක් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්ති ප්‍රකාරව පුද්ගලයින් 2100 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇත. එලෙස අත් අඩංගුවට ගනු ලැබූ බොහෝ පිරිසක් පොලීසිය මගින් සිදුකළ විවිධ අමානුෂික හිරිහැරවලට භාජනය වී තිබුණි.

එමෙන්ම ඔවුන් සම්බන්ධව ඉදිරිපත් වූ මාධ්‍ය වාර්තා හා ඔවුන්ට එරෙහිව සිදුකළ රාජකාරී අසල්වැසියන් හා සාමාන්‍ය සමාජය දැනගැනීම නිසා ඔවුන්ට ඇතිකරන ලද හානිය සුළුපටු නොවේ. මේ නිසා පැහැදිලිවම ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය පොලීසිය විසින් බලාත්මක කරන අතර එම නීතිය යොදාගනිමින් සමරිසි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම හා විවිධ අඩත්තේටට්ම් සිදුකිරීම සිදුවේ. 2013 වර්ෂයේදී ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරන පෙත්සම් හයෙන් පෙත්සම් දෙකක්ම 377 වගන්ති ප්‍රකාරව පොලිස් අත් අඩංගුවට පත් වූ හා ඒ නිසා තම කීර්ති නාමයට හා ආත්ම ගරුත්වයට හානි වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කිරීම විශේෂයෙන් සැලකිය යුතුය. වසර 157 ක් පැරණි නීතියක් තබාගෙන එමගින් රටේ පුරවැසියන් පීඩනයට පත්කරන්නේ නම් එම පීඩනයට එරෙහිව නැගී සිටිය යුත්තේද නීතියේ පිළිසරණ පතමින්ය යන්න විශ්වාස කරන පෙත්සම් කරුවන් හය දෙනා තමන්ගේ පෞද්ගලිකත්වයට හා පොදුවේ සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට රටේ නීතිය මගින් සිදුකරන බලපෑමට අභියෝග කරමින් සිටී. පසුගිය අගහරුවාදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කළේ පෙත්සම් හය සම්බන්ධව විද්වත් විනිශ්චයකරුවන්ගේ මණ්ඩලයක් විසින් නැවත සලකා බලන බවයි. එය නීතිමය ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඉන්දීය ඉතිහාසය අලුත් කරන තීන්දුවක් වනු පමණක් නොව, ඉන්දියාව පුරා විසිරී සිටින සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ට සුබ බලාපොරොත්තුවක් ගෙන එන තීන්දුවක් වේ යැයි ඔවුහු අපේක්ෂා සහගත දෑස්වලින් බලා සිටිති. ලෝකයේ වැඩිම භාෂාවන් ප්‍රමාණයක් කතා කරන මිනිසුන් සිටින රට, ලෝකයේ වැඩිම සංස්කෘතික හා ආගමික විවිධත්වයක් පවතින රට, ලෝකයේ වැඩිම සමරිසි භීතිකාවෙන් පෙළෙන මිනිසුන් සිටින රට තම රටේ ජනතාවට බලපාන හා ඔවුන්ගේ ආත්ම ගරුත්වයට, ස්වාධිනත්වයට හා සතුටින් ජීවත්වීමේ අයිතියට බලපෑම් කරන නීතියක් ප්‍රතිසංස්කරණය කිරීමේ අබියස සිටින අවස්ථාවක සමරිසියන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන අටවාගෙන ඔවුන්ගේ කඳුළු මතින් ඩොලර් සූරාකන සමාජ ක්‍රියාකාරීන් සිටින ශ්‍රී ලාංකික සමරිසි ප්‍රජාවට අබ සරණයි නොකියා වෙන කුමක් නම් කියන්නද?

තුෂාර මනෝජ්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි