×

සමලිංගිකත්වය සුවකිරීමට තැත්කරන්නන්ට දැඩි දඞුවම් – අලුත් නීතියක් සම්පාදනය කිරීමට සියලු පියවර

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමරිසිභාවය නීතියෙන් තහනම් නැති සමරිසි විවාහ නීතියෙන් අනුමත කර ඇති රටවල පවා සමරිසිභාවය සුවකිරීමේ විවිධ වැඩසටහන් පැවතුණි.


ඔබ දන්නා කිසියම් පුද්ගලයෙක් සමරිසි කාන්තාවක් හෝ පුරුෂයෙකු යැයි දැනගත් විට ඔබ සාමාන්‍ය යෙන් කරන්නේ කුමක්ද? ඔබ එක්කෝ ඔවුන් පිළිගන්නවා ඇත. එසේත් නැතහොත් ප්‍රතික්ෂේප කරනවා ඇත. කිසියම් කෙනෙකුගේ ලිංගික දිශානතිය යනු ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කැමැත්ත වන නිසා එය ඔවුන්ගේ දෙයක් වන නිසා ඔබ ඔවුන් සමග පවත්වාගෙන යන මිතුරු හෝ නෑදෑ හෝ සම්බන්ධතාවය එලෙසම පත්වාගෙන යනු ඇත. සමහර අය පුද්ගලයෙකු සමරිසිවීම දිරවාගත නොහැකි වීම නිසා තවදුරටත් එම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වීම නතර කරනු ඇත. ලෝකයේ බොහෝ රටවල්වල සිදුවන ආකාරයට ඔබද ඔබ දන්නා ඔබේ මිත්‍රයා හෝ නෑදෑයා විෂම ලිංගික පුද්ගලයෙක් බවට පත් කිරීමට උත්සාහ දරනු ඇත. සැබවින්ම කිසියම් පුද්ගලයෙකු තුළ සමරිසි චර්යා පවතින්නේ නම්, ඔහු හෝ ඇය කායිකව හා මානසිකව තමන් හා සමාන ලිංගිකයෙකුට ආකර්ශනය වීම වැළැක්විය හැකිද? එය රෝගයක්ද, රෝගයක් නම් එය සුවකළ හැකිද? මෙම ප්‍රශ්න පිළිබඳව පසුගිය දශක කිහිපය පුරාම ලෝකයේ කායික හා මනෝ විද්‍යාඥයින් විසින් පිළිතුරු සෙවීමට උත්සාහ කරන ලදී. බොහෝ පර්යේෂණ සිදුකිරීමෙන් අනතුරුව මනෝ විද්‍යාඥයින් විසින් පැමිණි නිගමනය වූයේ කිසියම් පුද්ගලයෙකු සමරිසි වීම යනු රෝගයක් හෝ ඇබ්බැහි වීමක් නොව එය එම පුද්ගලයිගේ මානසික ක්‍රියාවලිය හා සම්බන්ධ එක් තත්ත්වයක් බවයි. කිසියම් පුද්ගලයෙකු සමරිසි වීමට අදාළව හෝමෝන හා ජානමය බලපෑමක් පවතින බව විශ්වාස කරන මනෝ විද්‍යාඥයින් අවසානයේදී තම මානසික රෝග වර්ගීකරණයන්ගෙන් පවා සමරිසිභාවය ඉවත් කොට එයද විෂම ලිංගික භාවය මෙන් සාමාන්‍ය තත්ත්වයක් බව ප්‍රකාශ කරන ලදී. විශේෂයෙන් සිග්මන් ප්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණවාදී ක්‍රමය අනුගමනය කළ ඔහුගේ පසුකාලීන මනෝ විද්‍යාඥයින් ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයෙකු සමරිසිභාවයේ සිට විෂම ලිංගික භාවයට පරිවර්තනය කළ හැකිනම් විෂම ලිංගිකයෙකුද සමලිංගිකයෙකු කිරීමේ හැකියාවක් පැවතිය යුතු බවයි. එහෙත් කිසිම හෝ ආකාරයකින් විරුද්ධ ලිංගිකයෙකුට පමණක් ලිංගිකව ආකර්ශනය වන පුද්ගලයෙකු සමාන ලිංගිකයෙකුට ආකර්ශනය වන්නේ නැත. එය හුදෙක් හැඟීම් සම්බන්ධ කරුණකට වඩා වෙනස් දෙයක් වන බැවිණි. එහෙත් මනෝ විද්‍යාව විසින් මේ තරම් පර්යේෂණ තොරතුරු දක්වා තිබියදීත් සමහර වෛද්‍ය වෘත්තිකයින් හා ජාවාරම්කරුවන් විසින් සමරිසිභාවය සුව කළ හැකිය යන්නෙන් පවසා, සමරිසි පුද්ගලයින්ගේ දෙමව්පියන් රවටාගෙන විවිධ තෙරපි හා ප්‍රතිකාර සිදුකරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ පවා විවිධ වෛද්‍ය වෘත්තිකයින් හා මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන යැයි කියාගන්නා ජාවාරම් කඩ විසින් සමරිසිභාවය සුව කළ හැකි යැයි පවසා දෙමව්පියන් රවටා මුදල් ගරා ගන්නා තත්ත්ව පවතී.

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමරිසිභාවය නීතියෙන් තහනම් නැති හා සමරිසි විවාහ පවා නීතියෙන් අනුමත කර ඇති බ්‍රිතාන්‍යය වැනි රටවල පවා සමරිසිභාවය සුවකිරීමේ විවිධ වැඩසටහන් පැවතුණි. එක්සත් රාජධානියේ පැවති මෙම සායනික ක්‍රම තහනම් කරන ලෙස විවිධ දේශපාලනඥයින්, මානව හිමිකම් ක්‍රියාධරයින් හා මාධ්‍යවේදීන් විසින් වසර ගණනාවක් පුරා සිදුකළ අරගලවලින් පසුව පසුගිය දා එක්සත් රජධානි රජය විසින් සමරිසිභාවය සුවකරනවා යැයි පවසන විවිධ සායන හා සායනික ක්‍රම තහනම් කිරීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන ලදී. ඒ අනුව එංගලන්තය තුළ සමරිසි පුද්ගලයින් විෂම ලිංගිකයින් බවට පත්කිරීමට සිදුකරන ඕනෑම ක්‍රියාවක් ඉදිරියේදී තහනම් වන අතර දඞුවම් ලබාදිය හැකි වරදක් බවට පත්වේ. එංගලන්ත රජය විසින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූයේ විවිධ පාර්ශ්ව වල මැදිහත්වීම නිසාම පමණක් නොවේ. රජය විසින් අනුග්‍රහය දක්වමින් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල මත පිහිටාය. එංගලන්තය පුරා විසිරී ඇති සමරිසි ස්ත්‍රීන්, සමරිසි පුරුෂයින්, ද්විරිසි ස්ත්‍රීන් හා පුරුෂයින් හා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් ලක්ෂයක් දෙනෙක්ගේ අදහස් මෙම සමීක්ෂණයට පාදක කරගෙන තිබුණි. මෙය එංගලන්තය තුළ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව සම්බන්ධයෙන් වූ විශාලතම පර්යේෂණය වන අතර එමගින් ඔවුන් පෙන්නුම් කර සිටියේ සෑම ප්‍රශ්නයක්ම තමන්ගේ ප්‍රශ්නයක් වනතාක් පුද්ගලයා විඳවන බව හා පුද්ගල විඳවීම් විශාල ප්‍රමාණයක් දිනෙක සමාජ විඳවීමක් දක්වා පරිවර්තනය වන බවත්ය.

කට තිබෙන්නන් වාලේ කියවීමට හා විවේචනය කිරීමට නොව පර්යේෂණ හා සමීක්ෂණ මගින් නිවැරදි තොරතුරු සොයාගෙන ඒ මත පිහිටා යම් රාජ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද මෙමගින් ඔවුහු පෙන්වා දුන්හ. එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සමාජ වෘත්තිවේදීන්ගේ සංගමය හා මනෝ වෛද්‍ය විද්‍යාලය එක්ව සිදුකළ මෙම අධ්‍යයන මගින් ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ සායනික හා ආගමික ක්‍රම මගින් සමරිසියන් විෂම ලිංගිකයින් කිරීමට යාම මගින් එම පුද්ගලයින් සදාකාලිකව මානසිකෙ රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි. කිසියම් පුද්ගලයෙකුගේ ජාන හා හෝමෝන මගින් ඇතිකරවන පෙළඹවීම මත ඔහුගේ හෝ ඇයගේ හැසිරීම තීරණය වන බවත් එය බලහත්කාර තෙරපි ක්‍රම මගින් හෝ යාඥා ක්‍රම හෝ වෙනත් ආගමික යාතුකර්ම මගින් බලහත්කාරයෙන් වෙනස් කිරීමට යාම මගින් එම පුද්ගලයාගේ ජීවිතය පවා අහිමිවිය හැකි බවත් මෙම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත.

විශේෂයෙන් මෙවැනි වැරදි සායනික ක්‍රම මගින් පුද්ගලයාට ඇතිකරවන පෙළඹීම මගින් සිදුවිය හැකි භයානක ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලයාගේ පෞරුෂය සංවර්ධනය වීමේ ක්‍රියාවලිය නතරවී එම පුද්ගලයා අපේක්ෂා භංගත්වයට, ආත්ම විනාශයට පත්විය හැකි බවයි. එමෙන්ම සමහරවිට මෙම සායනික හා යාතුකර්ම නිසා සදාකාලිකව ලිංගික බෙලහීනයෙක් බවට එම පුද්ගලයා පත්විය හැකි බවයි. මේ සම්බන්ධව අදහස් දක්වන මනෝ වෘත්තිකයින් පවසා සිටින්නේ කිසියම් පුද්ගලයෙකුගේ හැඟීම් බලහත්කාරයෙන් වෙනස්කර එම පුද්ගලයා සදාකාලික ආබාධිතයෙකු බවට පත්කරවන ක්‍රියාවලිය වහාම නවතා දැමිය යුතු බවයි. 2002 වර්ෂයේදී එක්සත් රාජධානියේ සිදුකළ පර්යේෂණයක් ඇසුරින් තොරතුරු ඉදිරිපත් කරන ඒරියල් ශිඩ්ලෝ හා මයිකල් ස්ක්‍රොඩර් යන මනෝ විද්‍යාඥයින් දෙදෙනා පවසන්නේ ලිංගික දිශානතිය වෙනත් ආකාරයකට පරිවර්තනය කිරීමේ නැතහොත් “සමලිංගිකයින් සුව කිරීමේ ” විවිධ සායනික, තෙරපි හා ආගමික යාතුකර්ම වල අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රතිකර්මවලට භාජනය වන පුද්ගලයින් මානසික ආතතිය, විෂාදය, ජීවිත කාලයක් පුරා පවතින අධික හිසරදය, ආත්ම විනාශය හා සියදිවි නසාගන්නා මට්ටම දක්වා පර්වර්තනය විය හැකි බවයි. එහෙත් මේවන තෙක් එක්සත් රාජධානිය පුරා විවිධ ස්ථානවල විධිමත් හා අනියම් ආකාරයෙන් සිදුකරන මෙම සුව කිරීමේ මෙහෙයන් හා විවිධ සායන තහනම් කළ හැකි ආකාරයේ හෝ අවලංගු කළ හැකි ආකාරයේ හෝ නීති පැවතුනේ නැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් විවිධ ලිංගික අනන්‍යතා සහිත කණ්ඩායමට අයත්වීම ලෙඩක්ය, රෝගයක්ය යනුවෙන් විවිධ ආගමික කණ්ඩායම් හා මූලධර්මවාදී කණ්ඩායම් විසින් නගන තර්කය ප්‍රතික්ෂේප කළ හැකි ආකාරයේ තත්ත්වයක් තිබුනේ නැත. මේ නිසා එක්සත් රාජධානි රජය විසින් මෙම නීතිය හඳුන්වා දීම මගින් ඇති කළ සමාජමය වෙනස සමලිංගිකයින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට අදාළව විශාල ඉදිරි පිම්මක් වේ.

එක්සත් රාජධානි රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සාරා චැම්පියන් පවසන ආකාරයට සුවකිරීමේ මෙහෙයවල් හා සායනික ක්‍රම මගින් බලාපොරොත්තු වන්නේ සමරිසි පුද්ගලයින් විෂම ලිංගිකයින් බවට පත්කිරීමට යැයි පවසමින් විවිධ අයුතු ක්‍රියාමාර්ග සිදුකිරීම පමණක් නොවේ. සමරිසියන් යනු රෝගීන්ය යන අදහසද සමාජය තුළ ප්‍රචලිත කිරීමකි.

එම නිසා එක්සත් රාජධානි රජය විසින් සිදුකළ මෙම නෛතික හඳුන්වා දීම සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමක් පමණක් නොව මිත්‍යාව හා වංචාව පරදවා සත්‍යය හා විද්‍යාව ජයගැනීමක් ලෙසද සැලකිය යුතුය. මෙවැනි සුවකිරීමේ යාතුකර්ම හා සායනික ක්‍රම ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල වයස අවුරුදු 18 ට අඩු දරුවන් සම්බන්ධයෙන් සිදුකිරීම නීතියෙන් තහනම් වන අතර මෝල්ටාව, ඉක්වදෝරය හා ස්විස්ටර්ලන්තය රටවල සියලුම ආකාරයෙන් තහනම් කර ඇත. 2016 වර්ෂයේදී එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රී මයික් ෆ්‍රීයර් විසින් විසින් මෙම නීතිමය ක්‍රියාමාර්ගය සිදුකිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එහෙත් ඔහු විසින් සිදුකළ උත්සාහය නිසා එක්සත් රාජධානි රජය විසින් ඉහත කී ආකාරයේ පර්යේෂණය සිදුකිරීමට පෙළඹුනි.

මෙම නීතිමය හඳුන්වාදීම ශ්‍රී ලංකා වාසී අපට කියාදෙන පාඩම් ප්‍රමාණය එකක් දෙකක් නොවේ. අප තවමත් සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට අගෞරව කරන, අපහාස කරන, කොන් කරන හා හැකි සෑම අවස්ථාවකදීම නොසලකා හරින ජාතියකි. අප රටේ කිසියම් දේශපාලනඥයෙකු විසින් සුළුතර ලිංගිකයන් තබා වෙනත් ආකාරයේ ඕනෑම සමාජ ප්‍රශ්නයකට මැදිහත් වන්නේ නම් සාමාන්‍ය යෙන් සිදුවන්නේ එම දේශපාලනඥයාව හංවඩු ගසා, ලේබල් ගසා පළවා හැරීමට උත්සාහ කිරීමකි. අනෙක් කරුණ වන්නේ ගිරා පෝතකයින් මෙන් එකෙක් කියන දේ, එකෙක් විශ්වාස කරන දේ අපද විශ්වාස කරනවා විනා හා තොල් මතුරනවා විනා එය පර්යේෂණයකට හෝ සමීක්ෂණයකට පලක් කර නිවැරදි තොරතුරු සොයාගැනීමට හා සත්‍යය ගවේෂණය කිරීමට අප උත්සාහ දරන්නේ නැත. එංගලන්තය වැනි රටවල් පුරවැසියාගේ මානව හිමිකම් හා පුද්ගලිකභාවයට ගරුකිරීම හා සුරක්ෂණය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට හා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට සැදී පැහැදී සිටින නමුත් අප දේශපාලනඥයින් පෝෂණය කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටින්නෙමු. අවසානයේ කිව හැක්කේ එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ යන්නයි.

තුෂාර මනෝජ්

.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි