×

ලොව කැලඹූ ගුවන් අනතුරු – බර්මියුඩාවේ සැඟවුණු තාරුකා ව්‍යාඝ්‍රයා

බර්මියුඩාවේ කින්ඩ්ලි ෆීල්ඩ් වෙත එළඹ තිබුණේ දිගු-මන්දගාමී අඳුරු රැයකි. ගුවන්තොටුපොළ කුලුනේ කම්මැලි සහගත සුපුරුදු වැඩමුරය ඇරඹී තිබුණේය.


ඒ 1948 ජනවාරි 30 වැනිදා මහේශාක්‍ය ටියුඩර් වංශිකයා, ස්ටාර් ටයිගර් යානය බර්මියුඩා ත්‍රිකෝණයට ඉහළ අහසේදී සදහටම සැඟවී ගියේය. එහි ගමන්ගත්තවුන්ගේ මළසිරුරක් තබා යානයේ සුන්බුන් කැබැල්ලක්වත් එදාමෙදාතුර හමුවූයේ නැත. යානය පිළිබඳ අවසන් නිල නිගමනය මෙසේ විය.

“ස්ටාර් ටයිගර් යානයේ ඉරණම නොවිසඳුණු අබිරහසකි.”

ඇසෝර්ස් හි සැන්ටා මරියා සිට එය යා යුතු වූයේ ජැමෙයිකාවේ කිංග්ස්ටන් බලා ය. ඒ සඳහා කැරිබියන් මුහුද වෙත එය ළඟා විය යුතුව තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණය හරහා ය. අමෙරිකාවේ ෆ්ලොරිඩා හි මියාමි, පෝටෝ රිකෝ හි සැන් ජුවාන් සහ බර්මියුඩාව යා කරන යක්ෂයාගේ ත්‍රිකෝණය බර්මියුඩා ත්‍රිකෝණය යි. මෙහි තිබෙන්නේ අද්භූත ගුරුත්ව බලයක් ද නැතිනම් හඳුනා නොගත් පිටසක්වළ ක්‍රියාකාරිත්වයක් දැයි කිසිවෙක් නොදනිති.

Burmuda Traingle

බර්මියුඩා ත්‍රිකෝණයේ පිහිටීම

 

බ්‍රිතාන්‍ය දකුණු අමෙරිකා ගුවන් සමාගමට අයත් ස්ටාර් ටයිගර් යානය ට සහෝදරයෝ දෙදෙනෙක් වූහ. ඒ ස්ටාර් පැන්තර් සහ ස්ටාර් ලයන් ය. මේ සහෝදරයන් දෙදෙනාටම වඩා ස්ටාර් ටයිගර් යානය සිවිල් ගුවන් සේවය සම්බන්ධයෙන් ළාබාල ය. අද්භූත ලෙස එය අතුරුදන් වන විට පියඹා තිබුණේ ගුවන් පැය 500 ක් පමණි.

බර්මියුඩාවේ කින්ඩ්ලි ෆීල්ඩ් වෙත එළඹ තිබුණේ දිගු-මන්දගාමී අඳුරු රැයකි. ගුවන්තොටුපොළ කුලුනේ කම්මැලි සහගත සුපුරුදු වැඩමුරය ඇරඹී තිබුණේය. අලුයම 3.15 ට ඇම්ප්ලිෆයරය ඔස්සේ නැගී ආ හඬ ස්ටාර් ටයිගර් යානයේ නියමු ය. ඔහු බර්මියුඩා ගුවන්තොටුපොළෙන් රේඩියෝ සංඛ්‍යාත ඉල්ලා සිටියේය.

ඉහළ ගුවන් පළපුරුද්දක් තිබූ නියමු කපිතාන් බී.ඩබ්ලිව්. මැක්මිලන්ගේ සහායට යානය තුළ සහාය නියමු සී. එලිසන් සූදානම් ශරීරයෙන් පසු වූ අතර, හදිසි අවස්ථාවක් උද්ගතවුවහොත් කපිතාන් ඩේවිඩ් කොල්බි නමැති අත්දැකීම් බහුල තෙවැනි නියමුවෙක් ද යානය තුළ විය.

ස්ටාර් ටයිගර් පසුකරමින් සිටියේ අත්ලාන්තික් සයුර නමැති කළුවර පදාසයයි. ස්ටාර් කෙල්ලන් දෙදෙනා වන නිකොල්ස් සහ ක්ලැයිටන් පැන්ටි‍්‍රයේ සිය සුපුරුදු රාජකාරිවල කාර්යබහුල ව සිටියහ. යානයේ මගීහු 25 දෙනෙක් වූහ.

ඒ අතර සිටි අති විශේෂ පුද්ගලයා වූයේ දෙවැනි ලෝක යුද්ධයේ රණ විරුවකු වූ එයාර් මාර්ෂල් ශී‍්‍රමත් ආතර් කොනිංහැම් ය. මද වශයෙන් නිදිබර ව සිටි ඔහු කිංග්ස්ටන් බලා යමින් සිටි සෙසු මගීන් සමඟ කතාබස් කරමින් පසුවිය.

මේ අතර බර්මියුඩා ගුවන් පාලක මධ්‍යස්ථානයේ සිටි රේඩියෝ තරංග ක්‍රියාකරු රොබට් ‘ටකී’ ටක් ගුවන්යානයේ ස්ථානගත වීම පහසුවීම සඳහා නිරතුරුව සංඥා යතුර ඔබමින් පසුවිය. අලුයම 5 ට ඔහුට යානයෙන් අවසන් සංඥාව ලැබුණේය. එයට අනුව තව පැය දෙකකින් ස්ටාර් ටයිගර් බර්මියුඩාව බලා ආ යුතු ය. එහෙත් අලුයම 5 උදාවිය. ඉක්බිති පසුවිය. ඒ පැය දෙක අතර යම්කිසි අවස්ථාවක යානය සිය සැතපුම් 2067 ක වෙහෙසකර ගමන අනපේක්ෂිත ලෙස අවසන් කර තිබුණේය.

අතුරුදන් වීම ගැන සොයන්නට මැක්මිලන් සාමිවරයා සහ ඔහුගේ මැක්මිලන් කොමිසම, සිවිල් ගුවන් අමාත්‍යාංශය සමඟ එක්ව විශාල වෙහෙසක් ගත්තේය.

“කාලගුණය පැහැදිලි ව තිබිණි. යානයට බලපෑමක් කළහැකි ආකාරයේ අහිතකර තත්ත්වයක් කාලගුණයේ නොවීය. සිදුවූයේ කුමක් වුවත් එය ඉතා ඉක්මනින් සිදුව තිබේ” යැයි එම කමිටු වාර්තාව සිය නිගමනයේ දැක්වීය.

මේ අතර 2009 වසරේදී බීබීසී වාර්තාවක් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි අනුමාන කළ හැකි හේතු කිහිපයක් සම්පිණ්ඩනය කළේය. එයට අනුව ස්ටාර් ටයිගර්, ඇසෝරස්වලින් ගමන් අරඹන්නට පෙර යාන්ති‍්‍රක දෝෂ කිහිපයකට ලක්ව සිටියේය.

යානයේ හීටරය පැවතියේ විශ්වාස කළ නොහැකි තත්ත්වයක ය. මේ නිසා ගුවන්යානය තුළ ශීතල පාලනය කිරීම පිණිස නියමුවා අත්ලාන්තික් සයුර හරහා පියාසර කරන්නට ඇත්තේ ඉන්ධන උපරිම වේගයෙන් දහනය කරමින් අඩි දෙදහසක් තරම් අවම උසකින් වන්නට ඇත.

“මේ උස සීමාවේදී යම්කිසි හදිසි තත්ත්වයක් මතුවුවහොත් යානය ඉතා පහසුවෙන් මුහුදට කඩා වැටෙන්නට පුළුවන්” යැයි සිවිල් ගුවන්සේවා විශේෂඥයෙක් පැවසීය. මේ අනුව බර්මියුඩාව වෙත පිවිසෙන විට යානයේ පථය මද වශයෙන් වෙනස් ව තිබෙන්නට ඇති අතර ඒ වන විටත් ගමනේ පැයක ප්‍රමාදයක් සිදුව තිබිණි.

එයට අමතරව ගුවන්යානයේ ගමන් දිශාවට එරෙහිව හමාගිය සුළඟ නිසා ද අමතර ඉන්ධන දහනයක් සිදුව තිබෙන්නට ඇත. තවද අතරමගදී හෙළිවූ පරිදි එක් මාලිමාවක් ද පැවතියේ දෝෂ සහගත තත්ත්වයක ය. ඇව්රෝ ටියුඩර් ෆෝ, සිවිල් ගුවන් ගමන් සඳහා විකරණය කළ යුද ගුවන් යානාවක් බව ද එය යුද බිමෙන් ඉවත් කළේ එහි ආරක්ෂාව පිළිබඳ වාර්තාව සතුටුදායක මට්ටමක නොවූ හෙයින් යැයි ද මේ අතර බීබීසී ය තවදුරටත් සඳහන් කරයි.

අදටත් හමුනොවූ ස්ටාර් ටයිගර් යානය පිළිබඳ එළඹිය හැකි එක් කල්පිතයක් ද මේ සියල්ල මධ්‍යයේ වෙයි. එනම්, යානය තවමත් බර්මියුඩා ත්‍රිකෝණයේ තිබෙනා බව ය. අසාමාන්‍ය ගුරුත්ව හැසිරීම්, පෙරයීම් කළ නොහැකි උස් තරංග හා රළු මුහුද හේතුවෙන් ඒ අතිමහා ජලස්කන්ධය සැකයේ බිජුවට සමඟ අදත් ගුවන් යානා වෙතට ඔරවාගෙන සිටියි.

මේ අතර ස්ටාර් ටයිගර් යානය අතුරුදන් වී හරියටම අවුරුද්දකට පසු තවත් ඒ වර්ගයේම ගුවන් යානයක් බර්මියුඩාවට ඉහළ අහසේදී අතුරුදන් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි