×

මෙල්බර්න්, ආසියාවේ “මෙගා සිටි” වීමේ ලකුණු

“ග්‍රීන් ස්පයින්” ව්‍යාපෘතිය සඳහා ගෘහ නිර්මාණ සැලසුම් තෝරා ගත්තේ ඒ වෙනුවෙන්ම සංවිධානය කළ තරගයකිනි.


අහස සූරන ගොඩනැඟිලි දෙකක් තනන්නට ඔස්ට්‍රේලියාව මුල පුරයි. මෙල්බර්න් නගරයේ දකුණුදිග ඉවුරේ මේ ගොඩනැඟිලි දෙක ඉදි කරන්නට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ “ග්‍රීන් ස්පයින්” යනුවෙනි. ගොඩනැඟිලි දෙකෙන් එකක් මීටර 356ක් උසැති බව සඳහන් වේ. ඉදි කිරීම් කටයුතු නිම වූ පසු එම ගොඩනැඟිල්ල, ඕස්ට්‍රේලියාවේ උසම ගොඩනැඟිල්ල වනු ඇති බවත් පැවසේ. එහි උස දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙතෙක් පැවැති උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන “ගෝල්ඩ් කෝස්ට්” ගොඩනැඟිල්ලටයි. “ගෝල්ඩ් කෝස්ට්හි” උස මීටර 322ක් පමණ වේ. “ග්‍රීන් ස්පයින්” ව්‍යාපෘතිය යටතේ මෙල්බර්න් දකුණු ඉවුරේ ඉදි කිරීමට යෝජිත අනෙක් ගොඩනැඟිල්ල මීටර 252ක් උසැති ය. ගොඩනැඟිලි දෙකෙහි ඉදි කිරීම් නිම කෙරුණු පසු මෙල්බර්න් නගරය, ආසියාවේ මෙගා නගරය බවට පත්වනු ඇතැයි කියාත් අනාවැකි පළ වේ.

ඇඹරී ගිය ස්වභාවයක් සහිතව ඉදි කෙරෙන නව ගොඩනැඟිලි ද්වය ශාක වැස්මකින් ද ආවරණය කෙරේ. මේ නිසා එම  ගොඩනැඟිලි දෙක පරිසර හිතකාමී අන්දමට ඉදි කෙරෙනු ඇත. මීටර 356ක් උසැති ගොඩනැඟිල්ල තනා නිම කිරීම සඳහා ඔස්ට්‍රේලියා ඩොලර් බිලියන 2කට ආසන්න මුදලක් වැයවනු ඇතැයි කියා ගණන් බලා තිබේ. එම පිරිවැය සමාන වන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 1.4කට ආසන්න මුදලකට ය. ගොඩනැඟිල්ලෙහි අවකාශය මූලික වශයෙන් නිවාසවලටත් වාණිජ අවශ්‍යතා සඳහාත් වෙන් කෙරේ. ඒ හැරුණු විට ගෘහස්ත සහ බාහිර පහසුකම් රාශියක් මහජනයා වෙත ඉන් ලබා දීමට නියමිත ය. ඒ අතර විනෝදාස්වාද පහසුකම්වලට හිමි වන්නේ සුවිශේෂ තැනෙකි. ගොඩනැඟිල්ලෙහි ඉහළම මහලේ තනන්නට නියමිත උද්‍යානය හෙවත් “රූෆ් ගාර්ඩ්න්” බොහෝදෙනෙකුට මනබඳින ස්ථානය වනු ඇතැයි කියා ගෘහ නිර්මාණ ආයතන බලධාරීහු පවසති.

ගොඩනැඟිලි ද්වයෙහි ගෘහ නිර්මාණ කටයුතු සම්පූර්ණ කර තිබෙන්නේ “අන්ස්ටුඩියෝ ඇන්ඩ් ඔස්ට්‍රේලියාස් කොක්ස් ආර්කිටෙක්චර්” (UNStudio and Australia’s Cox Architecture) නමැති නෙදර්ලන්ත ගෘහ නිර්මාණ සමාගමකි.  සමාගම් බලධාරීන් පවසන අන්දමට ගොඩනැඟිල්ලේ ඉදිරිපස කොටස, වීදුරුවලින් සමන්විත ය. සඳලුතල සහිත නාරටියක්, තැනින් තැන ඉදි කෙරුණු ටෙරස සහ ගස්වැල්වලින් පිරුණු කුඩා උද්‍යාන ගොඩනැඟිල්ලට මනරම් පෙනුමක් එකතු කරනු ඇත.

“… ඉතාමත් අලංකෘත උද්‍යාන මෙල්බර්න්වල තියෙනවා. තුරුවලින් හෙවන වුණු එහි මාර්ග නෙත්කළුයි. ඒ මූලික භූ දර්ශනයට, අපි එකතු කරන්නේ ගහ කොළවලින් සැදුම් ලත් සිරස් නිර්මාණයක්. විවෘත ස්ථාන, යාබද කළාප, කුඩා කුඩා උයන් සහ මහජන ක්‍රියාකාරකම් වෙනුවෙන් වෙන් කෙරුණු තැන් ආදියත් එහි නිර්මාණය කෙරෙනවා. විසිවන සියවසේ අග භාගයේදී සිට අපි පරිසරය ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න පුරුදු වෙලා ඉන්නේ. භූ දර්ශනය සහ කොළ පැහැ ගහ කොළ අද වනවිට මූලික මනුෂ්‍ය වුවමණාවක් බවට පත්වෙලා තිබෙන්නේ කියලා මම හිතනවා. …” කියා ගෘහ නිර්මාණ සමාගමේ ප්‍රධාන අධ්‍යක්ෂ පිලිප් රෝවේ පවසයි.

“ග්‍රීන් ස්පයින්” ව්‍යාපෘතිය එකී පිළිවෙලට තනා නිම කළහොත් තුරුලිය වවා අලංකාර කෙරුණු ලොව ප්‍රකට ගෘහ නිර්මාණ අතරට එයත් එක්වනු නිසැකය. වනයක සිරිය සහිතව මෑත භාගයේදී නිම කෙරුණු අලංකාරම අහස සූරන ගොඩනැඟිල්ල ලෙස සැලකෙන්නේ ඉතාලියේ මිලාන්හි “වර්ටිකල් ෆොරස්ට්” නමැති ගොඩනැඟිල්ලයි. “ස්කයි ෆොරස්ට්” නමින් හැඳින්වෙන එවැනි තවත් අහස සූරන ගොඩනැඟිල්ලක් වියට්නාමයේ හෝ චි මින්හ් නගරයේ තනා නිම කිරීමට නියමිතය. “ග්‍රීන් ස්පයින්”ද ඒ අතරට එක්වන තවත් සුවිශේෂ ගෘහ නිර්මාණයක් වනු ඇත.

“ග්‍රීන් ස්පයින්” ව්‍යාපෘතිය සඳහා ගෘහ නිර්මාණ සැලසුම් තෝරා ගත්තේ ඒ වෙනුවෙන්ම සංවිධානය කළ තරගයකිනි. මේ තරගයට ලෝක ප්‍රකට ගෘහ නිර්මාණ ආයතනවලින් තවත් ගෘහ නිර්මාණ පහක සැලසුම් ඉදිරිපත් කර තිබුණු බව සඳහන් වේ. “අන්ස්ටුඩියෝ ඇන්ඩ් ඔස්ට්‍රේලියාස් කොක්ස් ආර්කිටෙක්චර්” ගෘහ නිර්මාණ සමාගම ඉදිරිපත් කළ සැලසුම් දෙක එම තරගයේදී තෝරා ගැනුනේ හත් දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය සභාවක් මඟිනි.

ඡායාරූපැ සබැඳුම

https://edition.cnn.com/style/article/australia-tallest-building-intl/index.html



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි