×

පින්ලන්තය “විෂය බරෙන්” නිදහස් වේ!

වසර 2020 වන විට පින්ලන්තයේ සියලු පාසල් විෂය නිර්දේශවලින්, සියලු විෂයන් ඉවත්කිරීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.


ඒ අනුව ගණිතය, භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව වැනි තනි තනි විෂයන් ඉගැන්වීම නතර කෙරේ. මේ තීරණය ගෙන ඇත්තේ අධ්‍යාපනික විශේෂඥයන් විසින් දීර්ඝ කාලයක් මුලුල්ලේ සිදුකළ පර්යේෂණ ගණනාවකින් පසුව ය. යෝජිත වෙනස්කම් මුලින්ම වයස අවුරුදු 16ට වඩා වැඩි සිසුන් සඳහා හඳුන්වාදීමට නියමිත ය.

මේ අනුව පාසල් විෂය නිර්දේශයෙන් විෂයන් ඉවත් කරන්නේ නම් ඔවුන්ට විෂය දැනුම ලබාදෙන්නේ කෙසේද යන ප්‍රශ්නය මෙහිදී පැන නැගිය හැක. මෙහිදී සිදුකරනු ලබන්නේ තනි තනි විෂයන් වශයෙන් උගැන්වීම වෙනුවට ”සංසිද්ධි සහ අවස්ථා” (phenomenons & events) උගැන්වීමයි. ඒ අනුව යම් සංසිද්ධියක් හෝ අවස්ථාවක් තෝරාගන්නා දරුවාට, ඒ සමගම එයට අදාළ සියලු විෂය දැනුම ද ලබාදීම සිදුකරයි. වෙනත් වචනවලින් කියන්නේ නම්, ”අනේ මං මේ විෂය ඉගෙන ගන්නෙ මොන දේකටදැයි” ළතැවෙමින් අනවශ්‍ය විෂයයන් හෝ විෂය නිර්දේශවලට කොටු වීම මේ නිසා නතර වනු ඇත.

උදාහරණයක් වශයෙන් යම්කිසි දරුවෙක් සිය කැමැත්තෙන් දෙවන ලෝක යුද්ධය නමැති අවස්ථාව හෝ සංසිද්ධිය තෝරාගතහොත්, එයට අදාළ වන ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ගණිත සිද්ධාන්ත ඉගෙන ගැනීමට ඔවුන්ට හැකි වේ. මෙසේ ප්‍රායෝගික දේවල් තුළින් විෂයන් හැදෑරීම හේතුවෙන් එම විෂයන් සජීවී ලෙස ග්‍රහණය කර ගැනීමටත්, හොඳින් මතකයේ තබාගැනීමටත් සමාන අවස්ථා සඳහා අදාළ කර ගැනීමේ පුහුණුව ලබාගැනීමටත් හැකියාව ලැබේ. තමන් තෝරාගත යුතු විෂය සහ සංසිද්ධිය තීරණය කරන්නේ ශිෂ්‍යයා විසින්, තමන් අනාගතයේ යෙදෙන්නට නියමිත රැකියාව අනුව ය. ඒ අනුව අකමැති විෂයන් මගහැරීමේ අයිතිය ද මේ අධ්‍යාපන ක්‍රමය විසින් ශිෂ්‍යයාට ලබාදෙයි.

පින්ලන්තය මේ වන විටත් ලෝකයේ හොඳම අධ්‍යාපනික ක්‍රමයක් ඇති රටක් වශයෙන් හැමවිටම මුල් ස්ථාන 10 අතර පසුවෙයි.

දැන් වසර ගණනාවක පටන් පින්ලන්ත සිසුන්ට කිසිම ආකාරයකින් ගෙදර වැඩ පවරන්නේ නැත. ඔවුන්ගේ පාසල් කාලය ද සාමූහික වැඩ සහ විනෝදයෙන් හා සැහැල්ලුවෙන් කල් ගත කිරීම සඳහා වැඩි වශයෙන් යොමු කරයි.

පින්ලන්තයේ හෙල්සින්කි අගනුවරින් ආරම්භ කරන්නට නියමිත මේ නව අධ්‍යාපනික ක්‍රමය සඳහා දැන් පටන්ම එහි ගුරුවරු සුදානම් වෙති. මේ වෙනුවෙන් අමතරව වෙහෙස වන්නට සිදුවී ඇති නිසා ඔවුන්ට වේතන වැඩිවීමක් ද ලබාදී ඇත. පින්ලන්තයේ අධ්‍යාපන දෙපාතර්මේන්තුවේ ප්‍රධානී මජ්රෝ කිලොනෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්නේ මෙවැන්නකි.

”ඉස්සර කාලෙ ඉස්කෝලවල තමයි සම්ප්‍රදායික පන්ති කාමර තිබුණෙ.. දහනව වැනි සියවසේ මුල් කාලෙට නම් ඒ ක්‍රමය හොඳයි.. අපි දැන් 21 වන සියවසට ගැළපෙන යමක් කරන්න ඕනෙ..”පින්ලන්තය මේ අනුව, ”විෂය බරෙන්” නිදහස් වූ ලෝකයේ පළමුවැනි රට බවට පත්වීමට නියමිත ය.

අපේ රටේ ද අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය පිණිසයි!!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි