×

කහ බැනියම්කරුවෝ අයිෆල් කුලුන වසා දමති

අයිෆල් කුලුන ඇතුළු සංචාරක නිකේතන රැසක් උද්ඝෝෂණ හේතුවෙන් හෙට දින වසා දැමේ. 


ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන, ඔපෙරා හවුස්, චෑම්ප් එලිසීස්, කෞතුකාගාර ඇතුළු සංචාරක නිකේතන රැසක්, උද්ඝෝෂණ බිය හේතුවෙන් හෙට (සෙනසුරාදා) දිනයේ වසා දමන බව නිවේදනය කර ඇත.

ප්‍රංශය පුරා පොලිස් නිලධාරීන් 89,000 ක් සූදානම් ශරීරයෙන් තබා ඇති අතර, අගමැති එඩියුරාඩ් ෆිලපේ පවසන්නේ ආරක්ෂක රථ ද සේවයේ යොදවා ඇති බවයි.

පසුගිය සෙනසුරාදා සිට ප්‍රංශයේ, දශකයකින් ඇති වූ බරපතළම මහජන උද්ඝෝෂණ රැල්ල පැන නැගී ඇත. හෙට දිනයේ ප්‍රචණ්ඩක්‍රියා රැසක් හටගනු ඇතැයි බිය ද පළ වී තිබේ.

නවතම තත්වය අනුව බටහිර ප්‍රංශයේ පාසලක් අසල ඇති වූ උද්ඝෝෂණවලදී පුද්ගලයන් 140 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබිණි. ඒ අතර පාසල් ශිෂ්‍යයෝ ද වෙති. මීට පෙර ඩීසල් සඳහා බදු සහන ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ මේ වන විට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් යෝජනා කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දක්වා වෙනස් වී තිබේ. baccalaureate යනුවෙන් හඳුන්වන විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ සිදුකිරීමට යෝජිත නව වෙනස්කම් මෙම සිසුන්ගේ අප්‍රසාදයට හේතු වී ඇත.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් | AFP

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් | AFP

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහි විරෝධතාකරුවන් හඳුන්වන්නේ “gilets jaunes” උද්ඝෝෂකයන් යනුවෙනි. ඔවුන් කැපී පෙනෙන කහ පැහැති ඇඳුමින් සැරසී සිටීම මෙයට හේතුව වී තිබේ. ‘කහ බැනියම්කරුවන්‘ යනුවෙන් ද ඔවුන් හැඳින්වේ.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් ඩීසල් මිල ඉහළ දැමීමේ ක්‍රියාමාර්ගය හඳුන්වා දුන්නේ පරිසරහිතකාමී පියවරක් ලෙස ය. නමුත් මේ ගැටළුව, ප්‍රංශයේ වාමාංශික පක්ෂ විසින් මැක්‍රොන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතුදැයි සාකච්ඡා කරන තරමට දුර දිග ගියේය. අවසානයේ ප්‍රංශ රජය එම සැලසුම හකුළා ගත් නමුත් කහබැනියම්කරුවන්ගේ විරෝධතාවය මේ වන විට රාජ්‍ය විරෝධී සිවිල් ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණ තිබේ. පසුගිය සතිය තුළ මෙම උද්ඝෝෂකයන් විසින් ඉල්ලීම් 40කට වඩා රජයට ඉදිරිපත් කර ඇත. අවම විශ්‍රාම වැටුප, බදු ක්‍රමයේ විශාල වෙනස්කම් සිදුකිරීම සහ විශ්‍රාම වයස අඩුකිරීම එම ඉල්ලීම් අතර වේ.

උද්ඝෝෂකයන් විශාල වශයෙන් සමාජ ජාල හරහා සංවිධානය වන බව ද දැකගත හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි