×

මහා ධනවතුන් සඳහා ගෝලීය බදු ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා

පසුගිය දශකය තුළ, බිලියනපතියන්ගේ ධනය සියයට 109කින් වර්ධනයව ඇත.


පසුගිය දා එළිදක්වන ලද 2022 ඔක්ස්ෆෑම් ලෝක අසමානතා වාර්තාවට අනුව, ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් ඉහළම සියයට 10ට ලෝක ධනයෙන් සියයට 76ක් හිමි වන බව වාර්තා වේ.

මෙවැනි දැඩි අසමානතා මට්ටම් අපගේ සෑම ගෝලීය පද්ධතියකම පාහේ ශක්තිය අඩාල කරන බැවින්, 300 කට අධික විචාරකයන්, විශ්ලේෂකයන් මෙන්ම ආර්ථික විද්වතුන් පිරිසක් ලිඛිතව මෙම මස ඉන්දියාවේ පැවැත්වීමට නියමිත G20 සමුළුවට සම්බන්ධවන ලෝක නායකයන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ, ලොව ධනවත්ම පුද්ගලයන් වෙනුවෙන් බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සමුළුවේදී එකඟ වන ලෙසයි.

ගෝලීය දරිද්‍රතාවය පිටුදැකීම වෙනුවෙන් හා අතලොස්සක් අතේ ධනය අතිශයින් සංකේන්ද්‍රණය වීම අනිවාර්යයෙන්ම ආර්ථික ආධිපත්‍යයට මග පාදන බැවින් මෙලෙස බදු පැනවීම කරන ලෙස විස්තර කර ඇත.

පසුගිය දශකය තුළ, බිලියනපතියන්ගේ ධනය සියයට 109කින් වර්ධනය වී ඇති අතර සමස්තයක් ලෙස ඩොලර් ට්‍රිලියන 5.6 සිට ඩොලර් ට්‍රිලියන 11.8 දක්වා එය වර්ධනයව තිබේ. එ අනුව වාර්තාව පවසන්නේ ඔවුන්ගේ ධනය දිනකට ඩොලර් බිලියන 2.7 කින් වර්ධනයව ඇති බවයි.

ඔක්ස්ෆෑම් වාර්තාවේ නිර්දේශයන්ට අනුව, සියයට 5කින් බදු පැනවීමෙන් වසරකට ඩොලර් ට්‍රිලියන 1.7ක් රැස් කළ හැකි අතර, එය බිලියන දෙකක ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ප්‍රමාණවත්ය. ඒ අනුව ඉන්දියාවේ ඩොලර් බිලියනපතියන් මත 4% බද්දක් පනවන්නේ නම් එමඟින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක ආදායමක් උපයනු ඇති අතර, එය මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු විසින් මහජන සෞඛ්‍ය වෙනුවෙන් කරන ලද වියදමට සමාන වේ.

කෙසේ නමුත් මෙහිදී විචාරකයන් සඳහන් කර ඇත්තේ, ලොව පුර රජයන් ධනවතුන්ට සහ මූල්‍ය අංශයට බෙහෙවින් ප්‍රතිලාභ ලබා දී ඇති අතර කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බවයි. මෙම දේශපාලන මැදිහත්වීම හේතුවෙන් ධනවතුන් වෙනුවෙන් ගෝලීය බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අතිශය දුෂ්කර බව සඳහන් කෙරේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි