×

ස්ත්‍රී පුරුෂභාවය සඳහන් නොවන ජෙන්ඩර් – නියුට්‍රල් පාස්පෝට්

පාස්පෝට් එකට එහෙමත් නැතිනම් විදේශ ගමන් බලපත්‍රයට ගැහැණු පිරිමි බව සඳහන් කිරීම අවශ්‍යද?


මෙය දියුණු ලෝකයේ රටවල කතාබහට ලක්වන මාතෘකාවක්. විශේෂයෙන්ම ගැහැණු හෝ පිරිමි නොවන තුන්වන ලිංගිකභාවයක් පිළිබඳ දියුණු සාකච්ඡාවක් පවතින රටවල් මේ ගැන දරණ අදහස වන්නේ, මෙසේ කිරීම නිසා, එවැනි පුද්ගලයන් අපහසුතාවට පත්වන බවයි.

ජෙන්ඩර් – නියුට්‍රල් පාස්පෝට් මේ වන විට ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි දියුණු ලිබරල් රටවල භාවිතයට ගනු ලබයි.

මේ වන විට එංගලන්තයේ මහාධිකරණක් විසින්ද, විදේශ ගමන් බලපත්‍රයක ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කිරීමේ අවශ්‍යතාවය අභියෝගයට ලක් කිරීමට නියමිතය.

(EPA)

(EPA)

මේ පිළිබඳ මත දක්වන ඉංග්‍රීසි ජාතික විශේෂඥයන් පෙන්වා දෙන්නේ එංගලන්ත විදේශ ගමන් බලපත්‍රය, එසේත් නැතිනම් යූ කේ පාස්පෝට් එක ලබාගැනීමේදී එය අයදුම්කරන පටිපාටිය අතිශයින්ම වෙනස්කොට සැලකීම් සහිත බවයි. කෙසේ නමුත් මේ පිළිබඳ පසුගිය ජූනි මාසයේදී ඉල්ලා සිටි අධිකරණමය සමාලෝචනයක් ප්‍රතික්ෂේප වීම නිසා, මේ සංවාදය තවත් උණුසුම් වීම සිදුවිය. ඒ අනුව ‘x’ හෙවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය (ජෙන්ඩර්) නොදක්වන පාස්පෝට් නීතියෙන් වලංගු නොවන බව සඳහන් වුණේ නැත. එනම්, ඒවාට නිසි පිලිගැනීම සහ ආරක්ෂාව ලැබිය යුතු බව සඳහන් විය. නමුත් එවැනි පාස්පෝට් නිකුත් කළ යුතු බව එම උසාවිය කියා සිටියේ නැත.

මේ නවතම තත්වය යටතේ එංගලන්ත අභියාචනාධිකරණය විසින් විමසා බැලීමට නියමිතව තිබෙන්නේ මහාධිකරණයේ මෙම ස්ථාවරයේ නීත්‍යානුකූලභාවයයි.

ඒ අනුව X-passports නිකුත් කළ යුතු බවට අධිකරණමය මතයක් ලබාගැනීමට නවතම තත්වයෙන් අදහස් කරයි.

‘ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය කෙනෙකුගේ පුද්ගලිකදෙයක්. මේ නිසා X-passports පුද්ගල නිදහස සුරැකීමේ අත්‍යාවශ්‍ය අංගයක්‘‘ යැයි මේ වෙනුවෙන් පෙනී සිටින අය පවසති.

X පුද්ගලයන් යනු කවුද?

ස්ත්‍රීන්ට තමන් ස්ත්‍රියක් බව ද, පුරුෂයන්ට තමන් පුරුෂයෙක් බව ද සඳහන් කිරීමට අයිතියක් ඇත්තා සේම එම සමාජභාවයන් දෙකටම අයත් නොවන අයට ද සිය පුද්ගලිකත්වය ප්‍රකාශ කරවා ගැනීමට හැකියාව තිබිය යුතුයි.

එහෙම නම්, කවුද මේ X පුද්ගලයන්?

අන්තර්ලිංගිකයන් (ඉන්ටසෙක්ස්-intersex) එහෙමත් නැතිනම් උපතේදී ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම ලිංගික අවයව පිහිටා ඇති අය සහ සංක්‍රාන්ති ලිංගිකයන් අයත් වන්නේ X කාණ්ඩයටයි. මේ යටතේ තවත් සමාජභාවී පුද්ගලයන් ද සිටිය හැකිය. එසේම එය ඔවුන්ගේ පුද්ගලික තෝරාගැනීමක් වීමට හෝ නොවීමට පුළුවන. නමුත් ඔවුන්ට ද එක්ස් පාස්පෝට් ලබාගැනීමට අයිතියක් තිබිය යුතුය.

එයට උදාහරණ ද දැක්වේ. එනම්, අන්තර්ලිංගික පුද්ගලයෙකුට තමන්ගේ ලිංගිකත්වය අනුව තමන් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ලෙස පෙනී සිටීමට බල කිරීම අයිතිවාසිකම් කඩ කිරීමකි. එනිසා ඔවුන්ට තමන් ප්‍රකාශ කර ගැනීමට කැමති ලිංගිකත්වයකට අදාළ ගමන් බලපත්‍රයක් සඳහා හිමිකම තිබිය යුතුයි.

2018 ඔක්තෝබර් මාසයේදී අන්තර්ලිංගික ඕලන්ද ජාතිකයෙක් වෙනුවෙන් නෙදර්ලන්තය විසින් පළමු X පාස්පෝට් එක නිකුත් කළේය. ඒ, Leonne Zeegers නම් වූ 57 හැවිරිදි පුද්ගලයෙකු හටයි.

නෙදර්ලන්තයේ ස්ත්‍රියක නම් V ද පුරුෂයෙකු නම් M ද අදාළ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේදී අයදුම්පත්වල පිරවිය යුතුය.

මෙය කෙනෙකුගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීත්වය හෝ ඒ පුද්ගලයාගේ ලිංගිකත්වය මත අව සැලකීම්වලට ලක් නොකරන බව ශක්තිමත් ලෙස පෙන්වා දීමක් වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි