×

පිරිමිත් නොවන ගැහැණුත් නොවන මොවුන් හඳුනාගන්න.

 ලිංගිකත්වය යනු පිරිමි හා ගැහැණු පමණක්ම නොවේ.


ස්ත්‍රී හෝ පුරුෂ යන ස්ථීර කාණ්ඩ දෙකට නිසැකයෙන්ම අයිති නොවන ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් අද ඊයේ කතාකරන්නට පටන්ගත් මාතෘකාවක් ලෙස හැඳින්වීමට බොහෝ අය උත්සාහ කළත්  විවිධ සංස්කෘතීන්, විවිධ ආගම් ඉතිහාසයේ සිට ප්‍රතීයමාන කරමින් සිටින්නේ වර්තමානය මෙන්ම අතීතයේද එවැනි අනන්‍යතාවන් සහිත මිනිසුන් සිටි බවයි.  ඔවුන් සම්මත යැයි පැවසෙන ස්ත්‍රී පුරුෂ නොවන භූමිකාවන් සැමරූ බව හා ඒ අනුව ජීවත් වූ බවයි. මැඩගස්කරයේ සිට ඩොමිනිකන් සමූහාණ්ඩුව දක්වා ලෝකය තුළ තුන්වන ලිංගිකත්වයක් පිළිබඳ මතවාද පළකෙරෙන අතර ස්ත්‍රී හෝ පුරුෂ නොවන තුන්වන පාර්ශ්වයක් පිළිබඳ  මෙන්ම සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව හෙවත් විවිධ ලිංගික අනන්‍යතා සහිත කණඩායම් ගැන  ක්‍රිස්තු පූර්ව 2000වැනි කාලසීමාවකටත් එහා ගිය ඊජිප්තු ඉතිහාසයේ ඔවුන්ගේ කලා නිර්මාණ තුළින් හමුවේ. එහෙත් ස්ත්‍රී හෝ පුරුෂ යනුවෙන් විශේෂයෙන් හඳුන්වා නොගත් කණ්ඩායම් සම්බන්ධ ඉතිහාසය වර්තමාන හා අතීත වශයෙන් සිදුවුණු හා සිදුවන සංස්කෘතික වාරණයන් මගින් යටපත් කර දමා තිබේ. එසේත් නැතහොත් ඊනියා සදාචාරය විසින් වසාදමා තිබේ.  මෙයට හේතුව සංස්කෘතික චින්තනයන් විසින්  විවිධ ලිංගික අනන්‍යතා හා විවිධ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා තේරුම්ගත් ආකාරය, ඒවාට අර්ථ නිරූපණ ඉදිරිපත් කළ ආකාරය නිවරැදිව වර්ගීකරණය  වර්ගීකරණය කිරීමට අසමත් වීමයි.

සමාජ හා සංස්කෘතික අගයයන්, වටිනාකම් සියල්ල රැඳී ඇත්තේ ස්ත්‍රී පුරුෂ  ලිංගික පැවැත්ම මත නිසා  ස්ත්‍රී හෝ පුරුෂ යන ලිංගිකත්වයන් එකක් පමණක් පිළිනොගන්නා හෝ එම ලිංගිකත්වයන් දෙකටම අන්ව පෙනී සිටින කණ්ඩායම් සැලකෙන්නේ සමාජ අපගාමීන් ලෙසය. සිංහල සමාජ ක්‍රමයට අනුව ඔවුන් සැලකෙන්නේ කාලකන්ණින්, පව්කාරයින්, සමාජ විරෝධී චර්යාවන්හි යෙදෙන්නන් ලෙසය. එහෙත් සොකරි , පහත රට නැටුම්, නොන්චි කෝලම, මිනර්වා නාට්‍ය කලාව,  අට සන්නියෙහි එන පත්තිනි නැටුම, සළුපාලිය හා  පුරාණ පත්තිනි දේවාල වල පත්තිනි දේවතාවිය ලෙස කපු මහත්වරුන් සැරසීම යනාදිය විරුද්ධ ලිංගික ඇඳුම්, පැළඳුම්, ආභරණ හා වත්සුණු තැවරීම් ලෙස පමණක් සැලකිය නොහැකිය. එය විරුද්ධ ලිංගික ඇඳුම් ඇඳීමක් ( Cross Dressing) හා කලාවේ නාමයෙන් විරුද්ධ ලිංගිකයෙකු ලෙස අනුකරණයෙන් හැසිරීමයි. කලාව ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයේදී ස්ත්‍රී හෝ පුරුෂ යන සම්මතයන් බිඳ දමමින් හරස් විලාසිතාවන් සිදුකළද සමාජ සම්මත රේඛාවෙන් පනිමින් කලාව අතික්‍රමණය කිරීමට මිනිසාට අවසර නැත. තවමත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගෝලීය අර්ථකථන මගින් ලිංගිකත්වය හා අනන්‍යතාවන් සම්බන්ධ තත්ත්වයන් වර්ගීකරණයට ලක්කරන්නේ කරුණු නිසි ආකාරයෙන් දැන හෝ පර්යේෂණය කිරීමෙන් නොවේ. විශේෂයෙන් ආගමික මතිමතාන්තර මගින් පුද්ගල අනන්‍යතා අර්ථකථනය කර ඇති ආකාරයත්, ඒ මත පිහිටා සමාජ අනන්‍යතාවන් නිර්මාණය වන ආකාරයත් සලකා බැලිය යුතුය. ක්‍රිස්තියානි ආගමට අනුව පුරුෂයා හා ස්ත්‍රිය සම්බන්ධව පවතින අනිවාර්ය සම්මතය වෙනස්කරමින් ඒ දෙක මැද පිහිටන හෝ ඒ දෙක අතික්‍රමණය කරන පුද්ගලයෝ පවට හා නිරයට මාර්ගය තනා ගනිති.  ඉස්ලාම් ආගමට අනුව ගල් වරුසාවකට අසුව මිය යාමට තරම් පාපයකි. වර්තමානයේදී එය ගල් ගසා මරාදැමීම යනුවෙන් අර්ථකථනය කරගෙන ඇත.  එහෙත් යුදෙව්, ෂින්ටෝ, කොන්ෆියුසියස් හා හින්දු වැනි ආගම් හා දර්ශනයන් විසින් ස්ත්‍රී හෝ පුරුෂ ලෙස හඳුනා නොගන්නා තුන්වන ලිංගිකයින් වෙනස් බලයක් නැතහොත්, ආධ්‍යාත්මික බලයක් ඇති අය ලෙස විශ්වාස කරයි.  හින්දු දර්ශනයෙහි ශිව හා පාර්වතී යන දෙදෙනාම නිරූපණය කෙරෙතියි සැලකෙන අර්ධ නාරී දේව සංකල්පයත් ජපානයේ ෂින්ටෝ ආගම මගින් ගැහැණු සංක්‍රාන්ති ලිංගිකයින් මිනිස් අර්ධයක් හා නාග අර්ධයක් සහිත  සම්භවයක් පිළිබඳ අදහසත් මගින් යම් ආකාරයක ආගමික හා සංස්කෘතික වටිනාකමක් ඇති කිරීමට උත්සාහ දරා ඇත. නූතන සමාජය විසින් අශිෂ්ටත්වය යැයි පිළිගන්නා බොහෝ දේ ඉතිහාසය තුළ  පැවත ඇතැයි සාක්ෂි සපයන්නේ එමගින් ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා සම්බන්ධව ප්‍රති අර්ථකථනවල අවශ්‍යතාවය පෙන්වා දෙමිනි.

වකාෂු – ජපානය

ජපන් සංස්කෘතියේ “වකාෂු” හෙවත් “ ලස්සන තාරුණ්‍යය”  යන්න  පුළුල් ලෙස අනුමත කරන ලද තුන්වන ලිංගිකත්වයක් පිළිබඳඅදහසක් කියාපායි. ක්‍රි.ව 1603 ත් 1868 ත් අතර පැවති එඩෝ හෙවත් ටොකුගවා යුගයේදී වකාෂු ලිංගිකයින් පිළිගැනීමට ලක්ව තිබේ. වකාෂු යනු බාහිර පෙනුමෙන් හා හැසිරීමෙන් පිරිමින්  හෝ ගැහැණු යයි වෙනස්කොට හඳුනාගත නොහැකි නාඹර තරුණයින්  වන අතර උකියෝ පින්තාරු කලාව තුළ ඔවුන් විනෝදකාමී, රාගික හා නාරි ලාලිත්‍යමය ආකාරයෙන් පින්තාරු කර තිබේ. ජපන් සංස්කෘතිය ඔවුන් ගැහැණු හා පිරිමින්ගේ ආශාවන් සම්බන්ධ වස්තුවක් ලෙස ආලේඛ්‍ය කර තිබෙන අතර බටහිර සංස්කෘතිය හා නූතනත්වය පැමිණීමත් සමග එම සම්ප්‍රදායයන් වියැකී ගොස් ඇත.

මහූ – හවායි

.

ස්වදේශීය හවායි සංස්කෘතියට අනුව “මහූ” යනු පිරිමි හා ගැහැණු යන දෙදෙනාගේම ආධ්‍යාත්මයන් මූර්තිමත් කෙරෙන මිනිසුන් වේ. පුරුෂ වශයෙන් හෝ ස්ත්‍රී වශයෙන් වෙන වෙනම හඳුනාගන්නවාට වඩා ඔවුන් මහූ යන පුද්ගලයින් ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ශ්වයම සම සමව නියෝජනය කරන අලංකාරත්වයේ හා මටසිළුටුකමේ සංකේතයක් ලෙස හඳුනාගනිති. ඔවුන් සමාජයේ කොටසක් ලෙස පිළිගන්නවා පමණක් නොව ස්වදේශික හවායි වැසියන් විසින් මහූවරුන් යනු සඵලතාවයේ හා නම්‍යශීලීත්වයේ සංකේතයක් ලෙස තේරුම්ගැනීමට උත්සාහ කර තිබේ.  මහූවරුන්ගේ වෙනස්භාවය ප්‍රශ්නයක් ලෙස බැලීමට වඩා  ඔවුන් සතු ද්විත්ව ආධ්‍යාත්මය මගින් එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳාගැනීමට උදව් ලබාගත හැකි  ආකාරයත්, ඔවුන් සතු ශෝභනත්වය මගින් සමෘද්ධිය ළඟාකරගත හැකි ආකාරයත්  කෙරෙහි අවධානය යොමුකර තිබේ.

මුක්ෂස් – මෙක්සිකෝ

 

මුක්ෂස්වරුන් යනු මෙක්සිකෝහි තුන්වන ලිංගිකත්වයක් හෙවත් පිරිමි හා ගැහැණු යන සම්මත ස්ත්‍රී පුරුෂ සමාජභාවයට වඩා වෙනස් කණ්ඩායමක් හැඳින්වීමට යොදාගන්නා පදයකි. මුක්ෂස් යන්නද සාම්ප්‍රදායිකව පුරුෂ හෝ ස්ත්‍රී යන දෙක හෝ සමරිසි- විෂමරිසි යන කාණ්ඩ දෙක හෝ පැහැදිලි කරන පදයක් හෝ අර්ථයක් නොවන අතර ඊට වඩා වෙනස් අර්ථයක් සහිත භාවිතා වූවකි. විශේෂයෙන් ලිංගික අර්ථයට වඩා සමාජයට ඔවුන් විසින් දැක්වූ දායකත්වය වඩාත් අවධාරණය කෙරෙන මෙම කොට්ඨාශය  කලාකාමී හැකියාවන්වලින් යුක්ත අය යැයි පැවසේ.  ස්වදේශීක ජනතාව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් විශ්වාස නොකළ අතර රෙදි විවීමට විවිධ මෝස්තර නිර්මාණයට හැකියාවෙන් යුක්ත හා විශේෂයෙන් වයස 70 ක් පමණ වැන වියපත් වැඩිහිටියන් බලාගැනීම වෙනුවෙන් කැපවෙන මෙම ජන කොට්ඨාශයට විශේෂ පිළිගැනීමක් සහිතව ජීවත්වීමට අවස්ථාව සලසා දුන් බව පෙනේ.

භිස්සූ – ඉන්දුනීසියාව

 

බාහිරින් පිරිමි හා ආධ්‍යාත්මයෙන් ගැහැණු නැතහොත් ශක්තිය හා ලාලිත්‍යය එසේත් නැතහොත් දරදඞුභාවය හා කරුණාව මූර්තිමත් කරන “භිස්සූ” යනු ඉන්දුනීසියාවේ වෙසෙන විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව අතර විශේෂ තැනක් ගන්නා  ප්‍රජාවක් වේ. ඔවුන් තමන්ට විරුද්ධ ලිංගිකයින් හෙවත් ස්ත්‍රීන් මෙන් ඇඳුම් අඳින අතර ඇත්ත එය හරස් විලාසිතාවක් කිරීමම නොව ඔවුන්ටම ආවේණික ඇඳුමකින් සැරසීමකි. එය පුරුෂ හා කාන්තා යන දෙපැත්තම විටින් විට මාරුවන භූමිකාවක් වන අතර ඉන්දුනීසියාවේ විවිධ අත්සව හා විශේෂයෙන් සුබ පැතීම්, ආශිර්වාද කිරීම් යනාදියේදී පෙරමුණ ගන්නා ප්‍රජාවක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව ගත්කල තුන්වන ලිංගිකත්වයක් ලෙසද සැලකිය හැකි මෙම ප්‍රජාව ඉන්දුනීසියාවේදී අර්ථකථනය වන්නේ සංස්කෘතික අර්ථකථනයෙනි.

කවාජා සිරා – පාකිස්ථානය

පාකිස්ථානයේ තනි තනි පුද්ගලයින් ලෙස හඳුනාගැනෙන “කවාජා සිරා” නම් පුද්ගලයින් සමාජය තුළ බොහෝ හිරිහැරයට ලක්වෙන පිරිසක් ලෙස හඳුන්වාදීම වැරදි නැත. “ දෙවියන්ගේ ලද ත්‍යාගයක්” ලෙස විටෙක අර්ථකථනයට හා පැසසුමට ලක්වෙන ඔවුන්වම විටෙක දරුණු ආකාරයෙන් හිංසනයට හා වෙනස්කොට භාජනය කිරීමට ලක්වේ.

කවාජා සිරා පුද්ගලයින් පාකිස්ථානයේදී ඔවුන්ගේ පවුල්වලින් නෙරපා හැරෙන අතර පවුල් වලින් පමණක් නොව සම්පුර්ණ පරම්පරාවෙන්ම, සමූල ඥාතී සමූහයාගෙන්ම පළවා හැරේ.  ඔවුන්ගේ  ගුරු හා  ගෝල සම්බන්ධතාවලින් පවා එළවා දැමෙන මෙම ප්‍රජාව පාකිස්ථාන සමාජය තුළ බොහෝ හිරිහැර වලට ලක්වන පිරිසක් වේ. පාකිස්ථානය තුළ සංක්‍රාන්ති ලිංගික හා සංක්‍රාන්ති සමාජභාවීය මානව හිමිකම් ව්‍යාපාරය ගොඩනැගෙන්නේ ඉතා මන්දගාමීව නිසා කවාජා සිරාවරුන් පැරණි චාරිත්‍රයක් ලෙස වෙන්කර හඳුනාගැනේ. ඔවුන් මුස්ලිම්වරුන් නොවන අතර රාම දෙවියන් අදහන පැරණි හින්දු ආගමට ගරුකරන හා අදහන පිරිසක් ලෙස ප්‍රචලිතව ඇත.

ෂනිත්වරුන් -ඕමානය

ඕමානය ලිංගිකත්වය සම්බන්ධ සිදුකරන අර්ථකථන ඔවුන්ගේ අසල්වැසි මුස්ලිම් රටවල් හා සසඳනවිට තරමක් වෙනස් වේ.  ඔවුන් “ෂනිත්” වරුන් තුන්වන ලිංගිකත්වයක් නැතහොත් තුන්වන ස්ත්‍රී පුරුෂ සමාජභාවයක් ලෙස හඳුනාගන්නා අතර එය ලිංගික දිශානතිය හා ලිංගිකව හැසිරීමේදී පුද්ගලයාගේ භූමිකාව හා සම්බන්ධ වන තත්ත්වයකි. සමලිංගික සම්බන්ධතාවලදී නතුවන පුද්ගලයා (Passive Role) යන අර්ථයද, කාන්තාවක් ලෙස හැසිරීමට කැමති පුරුෂයා යන අර්ථයෙන්ද ඔවුන්ව අර්ථකථනය කරයි.  ෂනිත්වරුන්ට ඕමානය තුළ කාන්තාවන්ට අදාළව බලපවත්වන නීතියම ක්‍රියාත්මක වන නිසා ඔවුන් තුන්වන ලිංගිකයෙකු ලෙස හැඳින්වීම වරදක් නැත.  ඔවුන් හරහ් විලාසිතා නොහොත් කාන්තාවන් මෙන් ඇඳුම් අඳින අය නොවේ. එසේ කිරීමට නීතියෙන් අවසරයක්ද නැත. එහෙත් ඔවුන් කාන්තාවන්ගේ ඇඳුම් හා සමාන විලාසිතාවන්ගෙන් යුක්ත ඇඳුම් අඳින අතර සමාජයේදී වෙනම හඳුනාගත හැකිය.

සෙක්හෙට් – ඊජිප්තුව

ක්‍රිස්තු පූර්ව 2000ත් 1800 ත් අතර කාලය තරම් පැරණි ඉතිහාසයක් තුළ ලෝකයේ තුන්වන ලිංගිකත්වයක් හෙවත් පුරුෂ හෝ ස්ත්‍රී ලෙස නියතයක් වශයෙන් බාර නොගන්නා පැරණිතම සාධක හමුවන්නේ ඊජිප්තුවෙනි. ඒ “සෙක්හෙට්” වරුන්ගෙනි. මැටිවලින් සාදන ලද විවිධ භාජනවල කැටයම් හා සිත්තම් කර ඇති නිර්මාණවල පුරුෂ, ස්ත්‍රී හා ඒ දෙකම නොවන කෙනෙකු නිර්මාණය කිරීම එක්තරා ආකාරයකින් විශිෂ්ට කලා කෘතියකට මඟපාදන අතරම අනෙක් පසින් ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ පුරුෂ හෝ ගැහැණු හැරෙන්නට තුන්වැන්නෙකුට පැවති නිදහස් අවකාශය කියාපායි.

බොහෝ නිර්මාණවල නිවරැදි ආකාරයට ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රියන් හෝ එහි පිහිටීමේ හැඞය සංකේතවත් කළද සෙක්හෙට් නිරූපණය වන්නේ ලිංගික ප්‍රදේශය පැතලි නොහොත් ලිංගික අවයව නොමැති ආකාරයටය. ශීෂ්ණයක් නොමැති එහෙත් පුරුෂයෙක් නිරූපණය ආකාරයට ඇඳි සිතුවම් ද හමුවී ඇත.

හිජ්රා – ඉන්දියාව ඇතුළු ගිණිකොන දිග ආසියාව

 

ඉන්දියාව පුරා පැතිරුණු ගැඹුරු සංස්කෘතික  බැඳීමක් සහිත ජන ප්‍රජාවක් ලෙස “හිජ්රාවරුන්” හැඳින්විය හැකිය. ඉන්දීය සංස්කෘතිය, සමාජය, ආගම,කලාව, මාධ්‍යය, දේශපාලනය යනාදී  සෑම ඉසව්වකම තම නියෝජනය හා බලය පතුරුවාගෙන සිටින හිජ්රාවරුන් තමන් සතු ධනය, අභිමානය හා බලය අතින් විවිධාකාරයේ අත්දැකීම් ලබයි. සමාජයේ පවතින පන්ති බේදය මෙන් හිජ්රාවරුන් අතරද ධනවත් හා නිර්ධන යනුවෙන් කොටස් දෙකක් සිටින අතර වරප්‍රසාද ලත් හා නොලත් යනුවෙන්ද එම කොටස් දෙක හැඳින්විය හැකිය. හිජ්රාවරුන් පවසන ආකාරයට හා විශ්වාස කරන ආකාරයට ශිව දෙවියන්ගේ හා ඔහුගේ භාර්යාව පාර්වතී යන  දෙදෙනාගේ ස්වයං මූර්තිය හෙවත් ආත්මීය වශයෙන් එකට සම්බන්ධවන අවස්ථාව අර්ධ නාරීශ්වර නම් වන අතර හිජ්රාවරුන් පැවත එන්නේ  සංස්කෘතිමය හා ආගමික වශයෙන් එම අර්ධ නාරීශ්වර සංකල්පය මතිනි. බ්‍රිතාන්‍යයින් විසින් ඉන්දියාව යටත් විජිතයක් බවට පත්කිරීමට පෙර හිජ්රාවරුන්ට සමාජය තුළ විශාල පිළිගැනීමක් හා ගෞරවයක් පැවති අතර බ්‍රිතාන්‍යයින් විසින් විවිධ නීතිරීති හා දඞුවම් නියම කිරීම මගින් ඔවුන්ට තිබුණ තත්ත්වය පහළට ඇද දමන ලදී. එහෙත් වර්තමානයේදී හිජ්රාවරුන්ට සමාජය තුළ විශාල පිළිගැනීමක් පවතී.     

ඔබට ආශිර්වාදය අවශ්‍ය නම් හිජ්රාවරුන්ගෙන් ආශිර්වාදය ගන්න. ඔවුන් ඔබේ දරුවාට රුව, ගුණ, වරුණ වෙනුවෙන් ආශිර්වාද කරනු ඇත. ඔබ ඔවුන්ට නොසලකා සිටින්න. ඔවුන් අමනාප කරගන්න. සාප කිරීම් හා බැණ වැඳීම් රාශියක් සමග සමහරවිට කෙළ පාරක් කෑමට පවා ඔබට සිදුවිය හැකිය.

කතෝයි – තායිලන්තය

        

තායිලන්තය විවිධ ලිංගික අනන්‍යතා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවන් අනුමත කරන හා පිළිගන්නා ආකාරයේ රටක් ලෙස ලෝකය පුරා ප්‍රසිද්ධියක් ලබාතිබේ. එහි සමරිසි හැසිරීම්, සංක්‍රාන්ති ලිංගිකයින්ට නිදහස් වාතාවරණයක් පවතින අතර විශේෂයෙන් ලෝකය පුරා නිදහස් ලිංගික හැසිරීම් සඳහා ප්‍රසිද්ධම හා වඩාත් වාණිජ්‍යමය රට ලෙස අවිවාදයෙන් හැඳින්වේ. එහෙත් තායිලන්තය තුළ “කතෝයි” හෙවත් “ලේඩි බෝයි” යනු තායිලන්ත ඉතිහාසය, සංස්කෘතිය හා ආගම මගින් අනුමත කෙරෙන ආකාරයේ හැසිරීමකි.  තායිලන්තය මහායාන බුද්ධාගම අදහන මිනිසුන් වැඩි ප්‍රතිශතයක් සිටින රට වන අතර මහායාන බුද්ධාගමට අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා හතරක් ඇති අතර ඉන් එකක් වන්නේ කතෝයි යන ලිංගිකත්වයයි. එය සංක්‍රාන්ති ලිංගිකත්වයේ කොටසක් වුවද සියලුම සංක්‍රාන්ති ලිංගික හා සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන් තමන් කතෝයි කෙනෙකු ලෙස හඳුනාගන්නේ නැත. එයට හේතුව කතෝයි යන්නෙහි යම් ආධ්‍යාත්මක හා ආගමික පසුබිමක්ද පවතින බැවිණි. කෙසේ නමුත් ලිංගික කර්මාන්තය හා වාණිජ්‍යමය ලිංගික ව්‍යාපාරය විසින් වර්තමානය වන විට එම ආධ්‍යාත්මික වටිනාකම විනාශකරමින් සිටින අතර කතෝයිවරුන් යනු ලේඩි බෝයිස්ලා ලෙස හඳුනාගැනීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනේ.

 මීට අමතරව සයිබීරියාවේ “එර්ගි”, සැමෝවා සමාජයේ එන “ෆාෆාෆයින්”, මැඩගස්කර්හි “සෙක්රාටා” වැනි තෙවන ලිංගික අනන්‍යතා ලෙස සැලකිය හැකි ආකාරයේ වෙනස් අනන්‍යතාවන් හා හැසිරීම් සහිත මිනිසුන් සිටී. වඩාත් වැදගත්වන්නේ ඔවුන් පුරුෂයින් නොවේ, ගැහැණුන් නොවේ යනුවෙන් පවසමින් අපහාස කිරීම හෝ, වෙනස්කොට සැලකීම හෝ නොව මිනිසුන් ලෙසින් සලකමින් ඔවුන්ටද ගරුකිරීමයි. ඔවුන්ගේ අනන්‍යතාවය පිළිගැනීමට ඔබට නොහැකි විය හැකිය. එහෙත් ඔවුන්ගේ අනන්‍යතාවන්ට ගරුකිරීමට ඔබට හැකිවිය යුතුය. මන්ද ඔවුන් අද ඊයේ නොව අපි හා සමානවම පැරණි ඉතිහාසයක් සහිතව සමහරවිට ඉතිහාසයේදී ගරු බුහුමන් ලැබූ පිරිසක් ලෙසද පෙනීසිට ඇති නිසාවෙනි.

-තුෂාර මනෝජ්-

මෙහි එන ඡායාරූප අන්තර්ජාලයෙන් හා සැබැි ලිපිවලින් උපුටාගත් ඒවා වන අතර ඒවා යොදාගෙන ඇත්තේ පාඨකයාගේ අවබෝධය තීව්‍ර කිරීම සහා මිස කිසිදු ආකාරයකින් අවභාවිත කිරීමට නොවන බව කරුණාවෙන් සලකන්න.

 

සැබැි   –              https://www.ranker.com/list/third-genders-around-the-world/rachel-souerbry?utm_source=facebook&utm_medium=historypost&pgid=642850749204637&utm_campaign=third-genders-around-the-world

.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි