×

ජර්මානු පූජකයෝ කැකුළු තළති

කතෝලික පල්ලියේම විමර්ශන වාර්තාවකින් හෙළි වෙයි. සැප්තැම්බර් 25 වැනිදා මෙම වාර්තාව එළි දැක්වීමට නියමිත ය.


ජර්මානු රෝමානු කතෝලික පූජකවරුන් එරට ළමුන් 3600කට අධික සංඛ්‍යාවක් අපයෝජනය කර ඇති බව අනාවරණය වේ. අපයෝජන සිදුකර කිරීමට පූජකවරුන් 1670කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ බව පැවසේ. පූජකවරුන් පිරිස මේ අපරාධකාරී ක්‍රියාවන් සිදුකර තිබෙන්නේ 1946 වසරේ සිට 2014 දක්වා වූ කාලය පරාසය තුළයි.

රෝමානු කතෝලික පූජකවරුන් අතින් මෙලෙස හිංසනයට ලක් වී ඇති දරුවන්ගෙන් බහුතරය පිරිමි ළමුන්ය. හිංසනයන්ට ලක් වූ දරුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 13 හෝ එයට වඩා අඩු වයස් සීමාවෙහි හෝ පසු වූ දරුවන් වීම තවත් විශේෂත්වයකි. එම සෑම අපයෝජන හයකින් එකක් ම ලිංගික හිංසනයක් (දූෂණ) බැව් වාර්තාවේ සඳහන් වේ.

මේ තොරතුරු අනාවරණය කළේ ජර්මනියේ පළවන “ස්පීගල්” (Spiegel) නමැති සඟරාවකි. ගීසෙන් (University of Giessen), හේඩෙල්බර්ග් (University of Heidelberg) සහ මෑන්හේම් (University of and Mannheim). යන ප්‍රධාන පෙළේ ජර්මානු විශ්වවිද්‍යාල තුනෙහි විද්වතුන් අදාල පර්යේෂණය සිදුකර ඇත. අපයෝජන සම්බන්ධයෙන් පර්යේෂකයන් උක්ත තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ ජර්මානු දියෝකීස 27කට අදාල ලේඛන 38,000ක් අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

පර්යේෂකයන් පවසන්නේ මෙයට වඩා බෙහෙවින් ඉහළ අපයෝජන ප්‍රමාණයක් පල්ලිය තුළ සිදුව ඇති බවකි. එසේ වුවත් ඒවා විභාග කිරීමට අවශ්‍ය ලිපිගොනු ආදි සාක්ෂි නොමැති බව ඔවුහු සිය වාර්තාවෙන් පෙන්වා දෙති. සාක්ෂි වශයෙන් ඇති ලේඛන විශාල ප්‍රමාණයක් විනාශ කර ඇති බවත් දැනට පවත්නා ලේඛනවලින් සමහර ඒවා ව්‍යාජ ලේඛන බවත් පර්යේෂකයන්ට එත්තු ගැන්වී තිබේ.

“… මේ සම්බන්ධයෙන් අප මහත් ත්‍රාසයටත්, ලජ්ජාවටත් පත් වෙනවා. … මෙතුළින් අපි අපේ වැරදි දකිනවා. නැවත මෙවැනි දේ සිදු නොවෙන්න වග බලාගන්නවා. …” යැයි කියා ජර්මානු රදගුරු ගරු ස්ටීවන් අකෙර්මාන් ප්‍රසාදීන් වහන්සේ පවසති.

මේ මස 25වැනිදා පැවැත්වීමට නියමිත ජර්මානු රදගුරු සමුළුවට එම පර්යේෂණ වාර්තාව අතිශය රහසිගත අන්දමින් ඉදිරිපත් කරන්නට විධි විධාන යොදා තිබිණ. එයට පළමුව වාර්තාවේ ඇති තොරතුරු “ස්පීගල්” සඟරාව ප්‍රකාශයට පත් කිරීම එරට ආගමික නායකයන්ට දැන් බරපතල ගැටලුවක්වී ඇත.

ස්පීගල් සඟරාව හෙළි කළ කාරණා පිළිබඳව වතිකානය මේ වනතුරුත් ප්‍රකාශයක් නිකුත් කර නැත. පූජකවරුන් අතින් සිදුවන ලිංගික හිංසනයන් සහ දරුවන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන පෙබරවාරියේදී පැවැත්වීමට ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සූදානමින් සිටිති. මේ සාකච්ඡාව සඳහා සහභාගී වන්නැයි කියා උන් වහන්සේ රදගුරු ප්‍රසාදීන් වහන්සේ වෙත පසුගිය දා නිවේදනයක් ද නිකුත් කළහ.

කතෝලික පූජකවරුන්වරුන් අතින් දරුවන් හිංසනයට ලක්වීම ලොව බොහෝ රටවල දැකිය හැකි ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය සේවා පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි