×

තමන්ගේම දරුවන් මරා දැමූ ගොබෙල්ස් ගැන පුද්ගලික ලේකම්වරිය කතා කරයි.

ගොබෙල්ස්ගේ කල්ක්‍රියා ගැන පුද්ගලික ලේකම්වරිය හෙළිකරන රහස්


යුදෙව්වන්ට වෛර කිරීමට ජර්මානුවන් පෙළඹවූ ගොබෙල්ස්, හිට්ලර්ගේ සමීපතමයෙකි. ගොබෙල්ස්ගේ පුද්ගලික ලේකම්වරිය පසුගියදා මේ සාහසික ක්‍රියාව පිළිබඳ හෙළිකර තිබිණි.

හිට්ලර්ගේ ප්‍රචාරණ අමාත්‍යවරයා (ප්‍රොපගැන්ඩා මිනිස්ටර්) වූ ජෝසප් ගොබෙල්ස් යුද්ධය අවසානයේ දී සිය බිරිය මැග්ඩා සමඟ එක්ව දරුවන් මරා දැමූහ. ඉන්පසු ඔවුහු ද දිවි තොරකර ගත්හ. ඇතුළු කවයේ සාමාජිකයන් සියල්ලන්ගේ ම ඉරණම එය වූ නමුත් ගොබෙල්ස් ගේ පුද්ගලික ලේකම්වරිය අනූනවයෙන් සිය දිවි බේරාගත්තාය. වසර 66 ක නිහැඬියාවකින් පසු ඇයගෙන් පළමු සම්මුඛ සාකච්ඡාව ලබාගැනීම ට ජර්මනියේ විශාලතම පුවත්පත වන ‘බයිල්ඩ්’ සමත් විය.

Joseph Goebbels | Wikipedia

Joseph Goebbels | Wikipedia

ජර්මානුවන් යුදෙව්වන් ට වෛර කිරීමට පෙලඹවූ මිනිසා ගොබෙල්ස් ය. ඇය ගොබෙල්ස්ගේ පුද්ගලික ලේකම්වරියයි. ඇගේ නම බර්න්හිල්ඩ් පොම්සෙල් ය. 1942 වසරේ සිට නාසි ඉරණම විසඳෙන තෙක් ම ඇය ඔහු ළඟ සිටියා ය. ගොබෙල්ස් හිට්ලර් ගේ අවසන් මොහොත වන තෙක්ම නාසි බංකරයේ සිටියේ කෙසේ ද ඒ ආකාරයට ම ඇය ද ගොබෙල්ස් ගේ ඉරණම විසඳෙන තෙක් ඔහු අසල ම සිටියා ය.

එම අප්‍රේල් මාසයේදී ගොබෙල්ස් සහ ඔහුගේ බිරිය මැග්ඩා සයනයිඩ් කරල් මගින් දරුවන්ගේ සහ තමාගේ ඉරණම විසඳූ ආකාරය ඇය විස්තර කළාය. එහෙත් බර්න්හිල්ඩ් වැඩි වශයෙන් ම සිටියේ බර්ලිනයෙන් පිටත පිහිටා තිබූ ගොබෙල්ස් ට අයත් දූපත් නිවසේ ය. ගොබෙල්ස් පාත්ත මස් කෑමට ආශා කළ හෙයින් විටෙක ඇයද ඔහු සමඟ එක් වූවාය. මේ අතර මැග්ඩා ඇය වෙත නොකඩවා ඇඳුම් පැලඳුම් එව්වා ය. මිත්‍ර හමුදා ප්‍රහාරවලින් ඇගේ නිවෙස සහ එහි වූ සියලු දෑ විනාශ වී ගොස් තිබිණි.

ගොබෙල්ස් ගේ පුද්ගලික මෙන් ම රාජකාරිමය නියෝගයන් සියල්ල ඉටුවේදැයි නිරීක්ෂණය කිරීම ඇයට පැවරී තිබිණි. විටෙක එයට නිවසේ පුද්ගලික වැඩ මෙන් ම නායකයා සතුටු කිරීම සඳහා බර්ලින් අගනුවර යුදෙව්වන්ගෙන් තොර තැනක් බවට පත්කිරීම ද අයත් විය.

Frau Magda Goebbels

Frau Magda Goebbels

ගොබෙල්ස් උණුසුම් බවකින් තොර දුරස් පුද්ගලයෙකු වී යැයි ඇය ආවර්ජනය කරයි.

“ඔබට කිසිම විදියකින් ඔහු ට ළං වෙන්න බැහැ… කිසිම දිනයක ඔහු මගෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අසා නැහැ. යුද්ධය අවසන් වන තෙක් ම ඔහු අඩුම ගානෙ මගෙ නමවත් දැනගෙන සිටියයි කියල මම විශ්වාස කරන්නෙ නෑ” යැයි ඇය කියන්නීය.

අතීතයේ ඇය නාසි ප්‍රචාරණ අමාත්‍යාංශයේ ද ගුවන් විදුලි ආයතනයේ ද යතුරු ලියන්නියක ලෙස කටයුතු කළාය. එහි සිටි වඩාත් වේගයෙන් සහ නිවැරැදිව යතුරුලියන ශිල්පයේ සමත්කම් දැක්වූ තැනැත්තිය වූයේ ඇයයි. ගොබෙල්ස් ගේ පුද්ගලික ලේකම් ලෙස ඇයව පත්කිරීම අමාත්‍යාංශ තීරණයක් විය.

“යුදෙව් සංහාරයක් ගැන මාව බඳවාගන්නකොට මම දැනගෙන හිටියෙ නැහැ. ගොබෙල්ස් මට කිසිම අවස්ථාවක ඒ ගැන සඳහන් කළෙත් නැහැ..” යැයි ඇය කියන්නීය. ඉතා ඉක්මනින් ඇය ගොබෙල්ස් ගේ ප්‍රධාන යතුරු ලියන්නිය බවට පත්වූවාය. සියල්ල වාර්තාකර තැබීම භාර වූයේ ඇයට ය. රැකියාවේ රාජකාරි ඇය අකුරට ම ඉටු කළේ ස්වාමියා හට පක්ෂපාතී වෙමිනි. “ස්වාමියා ඔබව විශ්වාස කරනවා නම් ඔබ ස්වාමියා ගේ බලාපොරොත්තු කඩ නොකළ යුතුයි” ඇය ජීවත් වූයේ එම පරමාදර්ශයේ ය.

1943 පෙබරවාරි 18 වැනිදා බර්න්හිල්ඩ් ට සහ ඇගේ කණිෂ්ඨ ලේකම්වරියන් තිදෙනා ට ගොබෙල්ස්ගෙන් හදිසි කැඳවීමක් ලැබිණි. ඒ බර්ලිනයේ ස්පෝට්ස් ප්ලාස්ට් ක්‍රිඩාංගණය ට පැමිණෙන ලෙසය. දෙවැනි ලෝක යුද්ධයෙන් හිට්ලර් පරාජය ලද යුද්ධයේ හැරුම් ලක්ෂ්‍යය සනිටුහන් ව තිබිණි. ස්ටර්ලින් ග්‍රාමයේ දී ජර්මනියේ සයවැනි හමුදා බලකාය ඓතිහාසික පරාජයක් ලබා සිටියහ. ගොබෙල්ස් ‘පූර්ණ යුද්ධයක්’ පිළිබඳ සිය කුප්‍රකට කතාව ජර්මානු මහජනතාව අමතා පැවැත්වූයේ එදා ය. ම්ලේච්ඡ රුසියානුවන් සිය මව්බිම අල්ලාගැනීමට ඉඩ ඇතැයි අනතුරු ඇඟවීම් සමඟ ජර්මානුවන් දිවි හිමියෙන් කැපවීම් කළ යුතු ගොබෙල්ස් වියරුවෙන් මෙන් පැවසීය. යුද්ධයේ ඡායාරූප කිහිපයක් ජනතාව වෙත ගොබෙල්ස් දැක්වූ අතර ඒවායින් ඔවුන් උමතු වූවා සේ පෙනිණි. යුද වැදී මළපුඩුව ට ගියද එය හිට්ලර් ට කරන සමාචාරයකි. කෙසේ නමුත් මේ කතාවේ දී තමා ට දේශාභිමානයක් හෝ ජයග්‍රාහී බවක් නොදැනුණේ යැයි පොම්සෙල් පවසන්නීය. ඒ වෙනුවට ඇයට දැනුණේ අත ළඟ එන අනතුරකි. අනතුරුව එළැඹුණු කාලයේදී ගොබෙල්ස් ගේ ප්‍රධාන පුද්ගලික ලේකම්වරිය ලෙස යුද්ධය ජර්මනිය ට අවාසි සහගත වී ඇති ආකාරය ඉහළ පෙළේ රහස් ලියවිලි රාශියක් ඇය හැබැහින් දුටුවාය.

තුන්වැනි ජර්මානු අධිරාජ්‍යයේ අවසන් දින දහයේ ඇය සිටියේ අමාත්‍යාංශයේ ය. රුසියානු කාල තුවක්කු හමුදාවෝ ද අමෙරිකානු බෝම්බකරුවෝ ද නොනවත්වා නගරය සුණු විසුණු කරමින් සිටියෝ ය. දිවා රෑ ප්‍රහාර එල්ල විය.

“හිට්ලර් නායකතුමා කලින් දවසේ සියදිවි නසා ගත් බවට මැයි පළමු වැනිදා ප්‍රවෘත්තිය ලැබුණා. එයින් සුලු මොහොතක ට පස්සෙ රුසියානුවෝ අමාත්‍යාංශය ට කඩා වැදුණා. උන් මාව ඇදගෙන ගියා.”

ඊළඟ වසර පහ ම ඇය ගත කළේ සෝවියට් බන්ධනාගාර වලය.

ගොබෙල්ස් සහ මැග්ඩා සිය කුඩා දරුවන් සය දෙනාට සයනයිඩ් කවා මරා දැමූ බව යුද්ධය නිමා වූ පසුව සැළ විය. ගොබෙල්ස් දිවි තොර කරගත්තේ උණ්ඩයෙනි. එයට පෙර ඔහු මැග්ඩා ට වෙඩි තැබීය. ඔවුන්ගේ ආධාරකරුවන් මළ සිරුරුවලට පෙට්‍රල් දමා ඒවා පුලුස්සා දැමූ නමුත් රතු හමුදාව අතට ශේෂයන් හසු විණි.

“මේ ලෝකෙට දුන් දේ ගැන ගොබෙල්ස් ට මම කවදාවත් සමාවක් දෙන්නෙ නෑ” පොම්සෙයි කියයි,” විශේෂයෙන් ම ඔහු තමන්ගෙ දරුවන් මරාදැමූ විදිහ ගැන… එය හරිම ම්ලේච්ඡයි…”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි