×

අප නිදාගත්තද මොළය නිදි නැත – මිනිස් මොළය ආදරණීය බකමූණෙකි!

නින්දේදී මිනිස් මොළයට සිදුවන්නේ කුමක්ද? ඇත්තටම අප සමග අපේ මොළයත් නිදි සුව ලබනවාද...? කොහෙත්ම නැත. අප නිදි වුවද මොළය අවදියෙනි.


සුව නින්ද (good sleep)ක සැබෑ රහස කුමක්ද?

නින්දේදී දකින සිහින හරිහැටිම විස්තර කිරීමට සමතෙක් මෙලොව නැත. නමුත් අපට සිහින දැකීම නතර කළ නොහැකිය. එසේම අප සිහින දකින්නේ මන්දැයි පැහැදිලි කර දීමට ද නොහැකිය. මෙය, අප නිදි වුවද අපේ මොළය අවදියෙන් සිටින බවට එක් උදාරහණයක් පමණි.

මනුෂ්‍යයෙක් සිය ජීවිත කාලයෙන් 1/3 ක් වැය කරන්නේ නින්ද සඳහා ය.

නින්ද නැති වීම, කෑම නැති වීමටත් වඩා නරක බව ජෛව විද්‍යාඥයෝ කියති. එනම්, ඔබට කුසගින්නේ ජීවත් විය හැකි උපරිම දින ගණනට වඩා, නින්ද නැතිව ජීවත් විය හැකි උපරිම දින ගණන අඩු ය.

අන්ධකාරයේදී මොළයට සිදුවන්නේ කුමක්ද? උදාහරණයක් වශයෙන්, නිදන කාමරයේ විදුලි පහන් නිවා දැමූ පසු සිදුවන්නේ කුමක්ද?

ඔබ නිදාගත් ගමන් ඔබේ මොළය වෙනස්ම ක්‍රමයකට වැඩ පටන් ගනියි.

ඉතාම සරල භාෂාවෙන් කියනවා නම් මොළය මතකයට අදාළ විවිධ සංඥා අතර සම්බන්ධතා ඇති කරන්නට පටන් ගනියි. මෙහිදී මොළයේ සැබෑ අරමුණ හරිම පවිත්‍ර එකකි. එනම්, පසුදා උදෑසන පිබිදුණු විට වඩාත් ඵලදායී පුද්ගලයෙක් බිහිකිරීමට මොළය මෙමගින් අපේක්ෂා කරයි.

Photo: Medium

සැබවින්ම එහි අදහස කුමක්ද?

මුදල් යහමින් ඉපැයිය හැකි අයට, සුව නින්දක් ලැබුණහොත් තවත් ධනවත් විය හැකි බවද?

එසේත් නැතිනම් ඔවුන් යහමින් නිදාගන්නා නිසා ඔවුන්ට යහමින් මුදල් උපයා ගත හැකි වී තිබෙන බවද??

මෙය අප වටහාගත යුතුය. ජෛව විද්‍යාත්මකව ඔබ නිදාගන්නවා යනු, මොළය මෙසේ කියන්නට පටන් ගැනීමයි. ‘‘දැන් පැත්තකට වෙන්න. මෙතැන ඉඳන් මම බලාගන්නම්!“

මොළයේ හයිපොතැලමස සහ බ්‍රේන් ස්ටෙම් (මොළ කඳ යනුවෙන් ද මෙය ප්‍රාථමික ජීව විද්‍යාවේදී හැඳින්වේ) යන මොළයේ ඉතාම වැදගත් කොටස් දෙකේ ඇති සෛල කණ්ඩායම් slow – wave sleep යනුවෙන් හැඳින්වෙන මේ තත්වය තුළ ඉතා හොඳින් සක්‍රිය වන්නට පටන් ගනියි. මෙය සිදුවන්නේ හරියටම කොතැනක හෝ සුව පහසු ලෙස වැතිරී විනාඩි 45 ක් පමණ ගිය තැන ය. මේ වන විට ඔබේ මාංශපේශීන් ඉහිල් වී (රිලැක්ස් වී) ඇති අතර, හුස්ම ගන්නා වේගය ද සාමාන්‍යයෙන් පහළ බැස තිබේ. මෙම රසායනික පරිසරය තුළ මෙමගින් මන්දගාමී මස්තිෂ්ක තරංග (slow-brain waves) ඇතිවීම උත්තේජනය කරවයි. මෙම තරංගවල තරංග ආයාමය විශාල ය. ඔබේ දිනපතා ක්‍රියාකාරකම්වලින් මහන්සි වී සිටින මොළය සුවපත් වීම ආරම්භ කරන්නේ මේ අවධියේ ය. නව මතකයන් නිර්මාණය කිරීමට සහ ඒවා ගබඩා කර ගැනීමට මොළය වැඩ පටන් ගන්නේ ද මේ අවධියේ ය. තොරතුරු අතනෑර තබාගැනීම සඳහා මොළය වැඩ කරන්නට පටන් ගන්නේ ද මේ අවධියේදී ය. මතකය සුරක්ෂිත කිරීම හෙවත් ඔබ අලුතෙන් උගත් දෑ සහ ඔබට ධාරණය කරගැනීමට අවශ්‍ය යැයි දවල් දවසේදී ඔබ කල්පනා කළ දේවල් මතකයන් වශයෙන් මොළය විසින් තැන්පත්කර ගන්නට පටන් ගන්නේ මේ අවධියේදී ය.

වෙනත් වචනවලින් කියනවා නම්, සුව නින්ද මගින් ඔබේ මතක තබාගැනීමේ හැකියාව හෙවත් ‘ධාරණ හැකියාව‘ 40% කින් පමණ ඉහළ යන බව සොයාගෙන තිබේ.

එනිසා, මුළු රැයම නිදා නොගෙන අවදියෙන් සිට පාඩම් කිරීමට ඔබ ගෙන ඇති තීරණයකට වඩා පැය කිහිපයක සුව නින්දකින් පසුව නැවත අවදි වී පාඩම් කිරීමට ඔබ ගන්නා තීරණයක් වඩා ප්‍රතිඵලදායක වනු ඇත්තේ මේ නිසා ය.

සාමාන්‍යයෙන් මිනිසෙක් විනාඩි 70 ක් පමණ නින්දත් නොනින්දත් අතර සිට, ඉන්පසු Rapid Eye Movement Sleep (REM) නමැති අවධිය කරා පිවිසෙයි. Paradoxical Sleep හෙවත් ‘විරුද්ධාභාසයෙන් යුත් නින්ද‘ නමැති තේරුම් ගැනීමට අසීරු නිදි අවධියට මොළය මෙවිට පිවිසෙයි. මෙම අවධියේදී මොළය අතිශයින්ම ක්‍රියාකාරී ය. ඔබේ හුස්ම ගැනීම වේගවත් වෙයි. හද ගැස්ම ඉහළ යයි. ශරීරයේ ඉතිරිය අඩපණ වූවාක් මෙන් ඔහේ වැතිර සිටියදී ඇසිපිය පමණක් සෙළවෙන්නට පටන් ගනියි. මේ ඔබ සිහින දකින අවධියයි. එහිදී භෞතික ශරීරය පමණක් අඩපණ තත්වයෙන් පවතියි. අප අවදි වී විනාඩි 10 ක් ඇතුළත නින්දේදී අප දුටු සිහිනවලින් 90%ක් ම අපට අමතක වී යයි. එනිසා මොළයේ මේ සංචාරය ගැන ඔබට අදහසක් නැත.

Photo: Bell Time Magazine

නිදාගෙන අවදි වීමෙන් අනතුරුව ශරීරය ඊයේ දිනයට වඩා ප්‍රබෝධමත් වී ඇති බවද, අද දිනයේ කුදු මහත් කටයුතු සඳහා ඔබ සූදානම් බව ද, ඕනෑම අභියෝගයක් ජය ගැනීමට තරම් ඔබේ මානසික මට්ටම යහපත් බව හැඟෙනවාද? එහි සරල අර්ථය වන්නේ ඔබ සැබවින්ම ‘සුව නින්දක්‘ ලබා ඇති බවයි. ඇත්තෙන්ම මොළය පෙරදා රාත්‍රියේ නිදි වරාගෙන ‘රාත්‍රී සේවා මුරයක්‘ කළේ ඔබට මේ සුවය ලබාදීම සඳහා ය!

මොළය මගින් මතකයන් නිර්මාණය කරන හැටි සහ ඒවා එන්කෝඩ් කරන ආකාරය පිළිබඳ පර්යේෂණවලින් කරුණු රාශියක් හෙළිදරව් වී ඇත. මේ කාරණයේදී ඔබට නොපෙනෙන විශාල වැඩ කොටසක් මොළය මගින් සිදු කරයි. එහි අරමුණ එළඹෙන දිනයේදී ඔබ සක්‍රිය කිරීම සහ ඔබට තීරණ ගැනීමට පහසු කිරීමයි.

එනම් පෙර කී REM අවධියේදී සිදුවන්නේ මොළයේ චාලක බාහිකයේ ගබඩා වී ඇති මතකයන් ශංඛක බාහිකයට මාරු කිරීමයි. මෙය දත්ත ට්‍රාන්ස්ෆර් කිරීමක් වැනි ය. අලුත් නවාතැනේදී ඒවා දීර්ඝ කාලීන මතකයන් බවට පත් වනු ඇත. අප වරක් ඉගෙන ගත්, නමුත් අපට කිසිදා අමතක නොවන දේවල් ගබඩා වී තිබෙන්නේ එහි ය.

ලෝකයේ ප්‍රධාන පෙළේ වයලින් වාදකයන් සියලු දෙනාම පාහේ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා දවසකට පැය 2 ක් පමණ වැඩි පුර නිදාගනිති. නමුත් ඔබ කිසිදා සැබෑ ජීවිතයේදී කර නැති දෙවල් සම්බන්ධයෙන් පවා අන්තර් සබඳතා නිර්මාණය කරන්නට මොළයට හැකි ය. කැලිෆෝනියාවේ බර්කෙලි සරසවියේ පර්යේෂණයකින් පසුගියදා හෙළි වූ පරිදි, එම සිසුන්ගෙන් 33%කට, ජීවිතයේ කිසිදා කර නැති හෝ බොහෝ දුරස්ථ දේවල් සම්බන්ධයෙන් පවා පහසුවෙන් අන්තර් සම්බන්ධතා ගොඩ නගා ගැනීමට පුළුවන. මෙය, ගැටළු විසඳා ගැනීම සහ ඒවාට මාර්ග සොයාගැනීම සඳහා අපේ මොළය අපට උගන්වන දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයයි.

මේ නිසා සුව නින්දකින් පසු ඔබට දැනෙන මනසේ පැහැදිලිකම, හුදෙක් අදහසක් නොවේ. එය සත්‍ය කාරණයකි. එහි තේරුම ඔබේ නින්ද විසින් පෙරදා රාත්‍රියේ ඔබේ මොළයේ තිබූ කුණු කන්දල්වලින් වැඩි කොටස ඉවත් කරන්නට කටයුතු යොදා ඇති බවයි. ජීව විද්‍යාත්මකව මෙය සිදුකරන්නේ සෛලවලට හානි කරන ප්‍රෝටීන සහ නියුරොටොක්සින් හෙවත් ස්නායු විෂ, මස්තිෂ්ක සුෂුම්නා තරලය හරහා සෝදා ඉවත් කිරීම මගිනි. ඇල්සයිමර් රෝගය, හන්ටින්ටන් රෝගය හෝ ඇල්ෂයිමර් රෝගය ඈතින් තබාගැනීමට මේ තත්වය ඉතාම වැදගත් ය. මේ සුද්ද පවිත්‍ර කිරීමෙන් පසුව මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් 40% ක් පමණ නැවත මොළය හෙවත් මස්තිෂ්කය විසින්ම අවශෝෂණය කර ගනියි. එය සම කළ හැක්කේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ය.

ඉතින් මේ කතාවේ නිගමනය කුමක්ද? සුව නින්ද මගින් ඔබේ බුද්ධි මට්ටම වැඩි නොවනවා වන්නට පුළුවන. නමුත් සුව නින්ද ඔබේ මනස පැහැදිලි කරයි. වඩාත් කාර්යක්ෂම මිනිසෙකු බිහි කරයි.

ඒ වෙනුවෙන් අප ස්තූති කළ යුත්තේ රෑ බකමූණෙකු ලෙසින් අප වෙනුවෙන් අවදියෙන් සිටිනා මොළයට ය.

එනිසා ඔබ සතුටෙන් සිටින්නට සිහින දකිනවාද? එසේනම් වහාම සුව නින්දක් ලබන්න!

වැඩිදුර කියවීම්:

The secret of a good night’s sleep has finally been found by scientists…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි