ඇමරිකානු පොලිස් මර්දනය හමුවේ මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් නිළධාරීන්ගේ අදාල චෝදනා සංශෝධනය කිරීමට ඇමරිකානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මියගිය කලු ජාතිකයාගේ පවුලේ ඥාතීන් සහ මෙම ඝාතනය හෙළා දකිමින් විරෝධතා පවත්වන්නන්ගේ බලපෑම් හමුවේ චෝදනා සංශෝධනය කිරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංශෝධිත චෝදනාවලට අනුව චෝදනා දැඩි කර ඇති තිබේ. මීට පෙර මෙම ඝාතනයේ ප්‍රධාන චූදිතයාට තුන්වන මට්ටමේ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබිණි. ඇමරිකානු නීතියට අනුව තුන්වන මට්ටමේ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකෙන්නේ හදිසි තත්වයක් යටතේ සාධාරණීකරණය කළහැකි හේතුවක් නිසා හෝ ඝාතනයක් සිදු කිරීමේ චේතනාවක් නොමැතිව නොසැකිල්ල හෝ අතපහසුවීමක් හේතුවෙන් සිදුවන මනුෂ්‍ය ඝාතනයකි.
පළමු චූදිතයාගේ චෝදනා සංශෝධනය කිරීමත් සමග ඔහුට දෙවැනි මට්ටමේ මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල වී තිබේ. දෙවැනි මට්ටමේ ඝාතන චෝදනාවක් යනු ද්වේශ සහගත චේතනාවකින්, එහෙත් කලින් සැළසුම් නොකර සිදු කරන මනුෂ්‍ය ඝාතනයකි.
කෙසේ වෙතත් මියගිය ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් පවසන්නේ පළමු චූදිතයාට පළමු මට්ටමේ මනුෂ්‍ය ඝාතන චෝදනා එල්ල කළයුතු බවයි. පළමු මට්ටමේ චෝදනාවක් ලෙස සැලකෙන්නේ ද්වේශ සහගත චේතනාවක් මත හිතාමතා කලින් සැළසුම් කරන ලද මනුෂ්‍ය ඝාතනයකි.
සෙසු සැකකාර පොලිස් නිළධාරීන් තිදෙනාට මීට පෙර කිසිදු චෝදනාවක් එල්ල කර නොතිබූ නමුත් මේ වනවිට ඔවුන් තිදෙනාට, දෙවැනි මට්ටමේ මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර හා අනුබල ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම කලු ජාතිකයාගේ ඝාතනය හේතුවෙන් ඇමරිකාවේ නගර රැසක ඇති වූ උද්ඝෝෂණ තවමත් වර්ධනය වෙමින් තිබේ. මුලින් සාමකාමී ලෙස ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩ තතත්වයට පත්ව තිබේ. මෙම උද්ඝෝෂණ සෘජුවම ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ බවටද පත්ව ඇති අතර ඇතැම් පුද්ගලයන් මෙම උද්ඝෝෂණ භාවිතා කරමින් වෙළඳ සැල්, ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑමට පටන් ගෙන ඇති ආකාරයද ජාත්‍යන්තර මාධ්‍ය හරහා ප්‍රචාරය වේ.