×

 ‘පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය‘ විශ්වාසනීය සහ ආරක්ෂිත ලිංගික සත්වයෙකු බිහි කරයි.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය (comprehensive sex education) යනු සැබවින්ම කුමක්දැයි වටහා ගැනීම රටක් වශයෙන් අතිශය වැදගත් කාරණයකි.


මොකක්ද ඇත්තටම මේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය (comprehensive sex education) කියන්නේ…?

ස්ත්‍රී දූෂණයක් , කාන්තාවකට එරෙහිව සිදුවන  කිසියම් ආකාරයේ හිංසනයක්, ලිංගික වශයෙන් සිදුවන ඕනෑම ආකාරයේ සූරාකෑමක්, අපහාස කිරීමක්, වෙනස්කොට සැලකීමක් සම්බන්ධ සිදුවීමක් මාධ්‍ය මගින් හෝ වෙනත් ආකාරයකින් දැනගත් වහාම බොහෝ දෙනා පැවසීමට පුරුදු වී සිටින්නේ නිසි ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ නම් මිනිසුන් මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකම් සිදුකිරීමට නොපෙළෙඹෙනු ඇති බවයි. එමෙන්ම දිනෙන් දින වර්ධනවය වීමේ ප්‍රවනතාවක් පෙන්නුම් කරන ස්ත්‍රීයට එරෙහි ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී දූෂණ, ගබ්සා කිරීම්, අඩු වයස් විවාහ, ළමා මව්වරුන්, එච්. අයි.වී ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට පුද්ගලයින් අවදානම්කාරී වීමේ ප්‍රවනතාව වැඩිවීම යනාදී සියල්ල ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනයේ දුර්වලතා නිසා සිදුවන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යනාදී රජයේ ආයතන මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර හා දේශීය රාජ්‍ය නොවන සංවිධානද මෙම ගැටළුව විසඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු පසුගිය දශක තුනක පමණ කාලයක සිට දැකගත හැකිවිය. ප්‍රජාචාරය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, විද්‍යාව යනාදී විවිධ විෂයයන් හරහා පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය ඉගැන්වීමට විවිධ උත්සාහයන් ගැනුණි. එහෙත් ලිංගිකත්වය හා සම්බන්ධ අධ්‍යාපනය ලබාදීම තනිකරම සෞඛ්‍යකරණය වීම හා ලිංගික පද්ධති, ද්විතීයික ලිංගික ලක්ෂණ, ප්‍රජනනය යනාදී කරුණු ගැන උගන්වනවා විනා ප්‍රජනන හා ලිංගික සෞඛ්‍යය මගින් ආවරණය විය යුතු එකිනෙකාට ගරුකිරීම යනාදිය ඉගැන්වූයේ නැත.

එමෙන්ම ‘ලිංගිකත්වය මත පදනම්ව ඇතිවන සමාජ ප්‍රශ්නවලට හේතුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් ඇතිවන පරස්පරතාය’ යන්න තේරුම් නොගෙන එය ලිංගික අධ්‍යාපනයේ දුර්වලතාවක් ලෙස දැකීම මෙම ගැටළු උත්සන්න කිරීමට හේතුවිය. ඉහතින් සඳහන් කළ විවිධ ලිංගික හා සමාජ ප්‍රශ්න ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ ගැටළු පමණක්ම නොවේ. ඒවා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ ගැටළු ප්‍රතීයමාන කරන උදාහරණ පමණකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් ඇතිවන වෙනස්කම්, නිවැරදි ආකාරයෙන් වින්දනය ලබාගැනීමේ නොදැනුවත්කම, එකිනෙකා කෙරෙහි ඇතිකරගත යුතු ගෞරවය හා විශ්වාසය යනාදිය සම්බන්ධ සංවේදීභාවය මිනිසුන් තුළ ඇති නොකිරීම හා ඇති නොවීම සැබෑ ගැටළුව ලෙස හඳුනාගත යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රජනන හා ලිංගික අධ්‍යාපනය විද්‍යාත්මක කරුණු මත පමණක් සම්බන්ධ වීම හා පාසල් විෂය මාලාව සකස් කිරීම සෞඛ්‍ය ක්ෂේත්‍රය මගින් පමණක් සිදුවීම නිසා මෙම ප්‍රශ්න උද්ගත වී තිබේ. පාසල් සිසුන්ට හෝ තරුණ ප්‍රජාවට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දැනුම ලබාදිය යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ගරුත්වය සම්බන්ධ තත්ත්වයන් සමග සම්බන්ධ කරමින් බව දැන් පිළිගැනෙමින් පවතී. ඒ සඳහා සමාජ විද්‍යාඥයින්ගේ හා  සමාජ වෘත්තිවේදීන්ගේ දැනුම අත්‍යවශ්‍ය බවද දැන් දැන් පිළිගැනෙමින් පවතී. මේ නිසා තවදුරටත් ලිංගික හා ප්‍රජනන අධ්‍යාපනය පමණක් ලබාදීම වලංගු නොවන අතර පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යනුවෙන් නව මානයකින් යුතුව දරුවන්ට හා තරුණ ප්‍රජාවට අවශ්‍ය සංවේදීකරණය ලබාදීම ආරම්භ කරමින් පවතී.

comprehensive sex education

යුනෙස්කෝ සංවිධානය විසින් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව ජාත්‍යන්තර තාක්ෂණික මාර්ගෝපදේශනයක් නිකුත් කර ඇති අතර එමගින් පාසල් දරුවන්ට හා තරුණ ප්‍රජාවට පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම හා එම දැනුම ලබාදිය යුතු ආකාරය පිළිබඳ මඟ පෙන්වීමක් සිදු කර තිබේ. එමගින් ලිංගිකත්වය සම්බන්ධව විද්‍යාත්මක දැනුම පමණක් නොව එය ප්‍රජානනමය වශයෙන්, භාවමය වශයෙන්, භෞතික හා සමාජ සංස්කෘතික වශයෙන් තේරුම්ගන්නා ආකාරය දරුවන්ට උගන්වයි. මෙය ඉගැන්වීමේ ක්‍රියාවලියක් පමණක් නොව ඉගෙනගැනීමේ ක්‍රියාවලියක්ද වන අතර එමගින් දරුවන් හා තරුණයින් තුළ වගකීමෙන් යුතුව ලිංගික හා සමාජමය සම්බන්ධතා පවත්වා ගැනීම, ඔවුන් විසින් ගන්නා තීරණ ඔවුන්ට මෙන්ම සමාජයටද හානියක් සිදුනොවන ආකාරයට සිදුකිරීම මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් අවබෝධ කරගැනීම මගින් තරුණ ප්‍රජාවට දැනුම කුසලතා හා ආකල්ප දියුණු කරගැනීමට අවස්ථාව ලබාදීම සමග සම්බන්ධ වේ. මෙම දැනුම එක් ආකාරයකින් ඔවුන් පුද්ගලික හා සමාජමය වශයෙන් ආරක්ෂා කරන අතර අනෙක් අතට ඔවුන්ව නිසි අවබෝධයකින් සන්නද්ධ කිරීමක්ද වනු ඇත.  බොහෝ තරුණ තරුණියන් ළමා අවධියේ සිට ගැටවර අවධිය නැතහොත් නව යොවුන් වියට එලඹීමත් සමග තම ශරීරය සම්බන්ධව හා ලිංගිකත්වය සම්බන්ධ කුතුහලයකින් පෙළේ.

ශ්‍රී ලංකාවේ පාසල් තුළ  පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ වැඩසටහන් සිදුකිරීමෙන් අප ලැබූ අත්දැකීම් වන්නේ  නව යොවුන් වියේ සිටින දරුවන් තමන්ගේ ශරීරය හා ලිංගිකත්වය සම්බන්ධ බොහෝ කුතුහලයකින් හා දැනුම අඩු කමකින් පෙළෙන බවයි. වැඩසටහන අවසානයේදී ඔවුන් අප වෙත යොමු කරන ප්‍රශ්න විමසීමේදී පෙනී යන්නේ ඔවුන් තුළ දේවල් දැනගැනීමට හා දේවල් පිළිබඳ තේරුම් ගැනීමට කුතුහලයක් පවතින බවයි.  නව යොවුන් තරුණියන් විසින් තමන්ගේ ශාරීරික වෙනස්කම් සම්බන්ධව, මාසික ඔසප් චක්‍රය සම්බන්ධව, කිලි හා ආර්තව දුෂ්කරතා සම්බන්ධව බොහෝ ගැටළු ගණනාවකින් පෙළේ. නව යොවුන් වියේ සිටින පිරිමි දරුවන් ද තමන්ගේ ශාරීරික වෙනස්කම් පිළිබඳව, ස්වයං වින්දනයේ යෙදීමේ හොඳ නරක හා ආදීනව  පිළිබඳව  විවිධ ප්‍රශ්න අප වෙත යොමුකරන්නේ නිවරැදි දැනුම ලබාගැනීමට ඔවුන් තුළ පවතින කුතුහලය හා නිවැරදි දැනුම පාසල තුළින් සම්ප්‍රේෂණය නොවන නිසාය.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීම දුෂ්කර වෑයමක් වන්නේ පවත්නා සමාජ සංස්කෘතික වටපිටාව තුළ දේවල් කියාදීමේදී ගුරුවරුන් විසින් තමන්ටම සංස්කෘතික වාරණයක් පවත්වා ගැනීමයි. සමහර අවස්ථාවලදී දෙමව්පියන් පවා තමන්ගේ දරුවන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් අකමැත්ත පළ කරන අතර ඔවුන් විශ්වාස කරන්නේ ලිංගික අධ්‍යාපනය ලබාදීම යනු දරුවන් ලිංගික ක්‍රියාකාරකම්වලට පෙළඹීමට උත්තේජනයක් වන බවයි. එහෙත් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීම විශ්වීය අව්‍යශතාවක් බව දෙමව්පියන් සිහිතබා ගත යුතුය. එය විශ්වීය අවශ්‍යතාවක් වන්නේ පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය ලබාදීම මගින් යෞවනයින්ට ඔවුන්ගේ සමාජ සම්බන්ධතා හා ලිංගිකත්වය පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට අවස්ථාව උදාවීම නිසාය. ඔවුන්ගේ සෞඛ්‍යයට හා යහපැවැත්මට අවදානම්කාරී වූ දේවල් වලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙන නිසාය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමානත්වය, අඩු වයස් හා අනවශ්‍ය ගැබ් ගැනීම්, එච්.අයි.වී ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වැනි දේවල් පවතින ලෝකයක් තුළ ආරක්ෂිතව හා අභිමානයෙන් යුතුව ජීවත්වීමට අවස්ථාව ලැබෙන නිසාය.

ලිංගිකත්වය යනු ලිංගික අවයව හා ප්‍රජනන පද්ධතිය පිළිබඳව හඳුන්වා දිම පමණක්ම නොවේ. එය ලිංගික චර්යාවන් සම්බන්ධයෙන්ද අදාළ වන්නකි. පාසල් සිසුන් හා තරුණ තරුණියන් ඉලක්ක කරගෙන සිදුවන විවිධ කල්ලි වලින් හා ප්‍රචාරණයන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නිවැරදි දැනුම සමාජගත වුවහොත් පමණි. එමෙන්ම ළමයින්ට සිදුවන විවිධ අපචාරවලින් මිදීමට ඔවුන්ට අවශ්‍ය දැනුම හා සංවේදීභාවය මෙම දැනුම හා සම්බන්ධ වේ. නිවරැදි ස්පර්ශය යනු කුමක්ද? වැරදි ස්පර්ශය යනු කුමක්ද? වැරදි ස්පර්ශ අවස්ථාවකදී සිදුකළ යුත්තේ මොනවාද යන්න පිළිබඳව දරුවන් තුළ අනිවාර්ය අවබෝධයක් පැවතිය යුතුවේ.  එමෙන්ම පිරිමි ළමයා හා ගැහැණු ළමයා අතර තම තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධව පැහැදිලි අවබෝධයක් මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසයක්ද පැවතිය යුතුවේ. මෙම අන්‍යෝන්‍ය විශ්වාසය එකිනෙකාට ගරුකිරීම හා සම්බන්ධ වන අතර ලිංගිකත්වය හා ලිංගික තෘප්තිය යනු දෙදෙනෙකු විසින් නිසි වයසේදි කළමනාකරණයෙන් යුතුව සිදුකළ දෙයක් මිස බලහත්කාරයෙන් ලබාගත යුතු දෙයක් නොවන බව දරුවන්ට ඉගැන්වී අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවේ මඩකලපුව, පොළොන්නරුව, නුවරඑළිය, අම්පාර, වැනි දිස්ත්‍රීක්ක තුළ ළමා මව්වරුන්ගේ ප්‍රතිශතය වැඩි අගයක් ගනී. අඩු වයස් ගැබ්ගැනීම් මගින් මවට මෙන්ම දරුවාටද සිදුවිය හැකි ශාරීරික හා මානසික හානි විශාල අගයක් ගනී. බොහෝ විට නොදැනුවත් කම නිසා සිදුවන ලිංගික සම්බන්ධතා හරහා අඩු වයසේදී ගැබ්ගැනීම් සිදුවන අතර නීත්‍යනුකූල නොවන ලෙස ගබ්සා කිරීමට උත්සාහ කිරීම මගින් ජීවිත හානි වීමට ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම සෞඛ්‍යමය වශයෙන් සිදුවන හානිය මෙන්ම  සමාජමය වශයෙන් අපහාසයට ලක්වීම,කොන්වීම යනාදිය මගින් ඇතිවන හානියද වැඩිය.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයේ ඇති අනෙක් වැදගත්කම වන්නේ එය ලිංගික අධ්‍යාපනය සම්බන්ධව පමණක් නොව මිත්‍රත්වය, ආදරය, ප්‍රේම සම්බන්ධතා යනාදිය පිළිබඳවද අවධානය යොමුකරන බැවිනි. එහිදී සම්බන්ධතාවලදී ඉවසීමේ, අන්තර්කරණයේ හා එකිනෙකාට ගරු බුහුමන් දැක්වීමේ අවශ්‍යතාවය දරුවන්ට කියා දෙනු ඇත.  විශේෂයෙන් තරුණ ජීවිත කෙරෙහි වර්තමානයේදී ඉතා තදින් බලපාන තොරතුරු තාක්ෂණය හා සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් නිවැරදි දැනුම ලබාදීම වැදගත් වනු ඇත. අන්තර්ජාලය නිවැරදිව භාවිතා කිරීම, තමන්ගේ ලිංගිකත්වයට හා ලිංගික ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දේවල් අන්තර්ජාලය හා සම්බන්ධ කර නොගැනීම යනාදිය මගින් දරුවන් අන්තර්ජාලය හරහා සිදුවන විවිධ අපරාධ, තර්ජනය කිරීම්, බිය වැද්දීම්, කප්පම් හා අල්ලස් ගැනීම් යනාදියෙන් ආරක්ෂා කරනු ඇත. වඩාත් වැදගත් වන්නේ ලිංගිකත්වය සම්බන්ධව දැනුම ලබාදීම පමණක් නොවේ. විශ්වාසනීය හා ආරක්ෂිත ලිංගික සත්ත්වයෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය දැනුමෙන් හා ආකල්ප වලින් තරුණ ප්‍රජාව හා දරුවන් පෝෂණය කිරීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි