×

නිකටේ නිල් පච්චයක් සහිත අබිරහස් කත

කිසිදා අමතක නොවන මතකයක් නිකටේ පච්චා කෙටූ කාන්තාව ඇයයි.


මේ ඉන්නේ, ඔලීව් ඔට්මාන්. (Olive Oatman) නිකටේ නිල් පච්චයක් සහිත කත ලෙසින් ඉතිහාසයේ නොමැකෙන නමක් තැබූ කාන්තාව. (Woman with the Blue Tattoo). නිකටේ නිල් පච්චයක් සහිත අබිරහස් කාන්තාව ලෙසත් ඇතැමුන් ඇයව හඳුන්වා දෙනවා.

නමුත් මේ පච්චය, එහෙමත් නැතිනම් ටැටූ එක ඇයට ලැබුණු අන්දම ගැන තිබෙන්නේ දුක්බර සහ රසබර කතා පුවතක්.

ඔලීව් ඔට්මාන් එක්දහස් අටසිය ගණන්වල මුල භාගයේ කුඩා දැරියක්ව සිටියදී ඇගේ දෙමාපියන් උතුරු ඇමරිකානු ගෝත්‍රිකයන් පිරිසක් වන යුවපායි ඉන්දියානුවන් (Yavapai Indians) විසින් පැහැරගනු ලබනවා. ඒ 1850 වසරේ ඇගේ දෙමාපියන් පැමිණෙන්නේ නව ලෝකය සොයාගෙන. ඔවුන් මොර්මොන්වරුන් ද සමග ස්වදේශිකයන්ට අයත් බිම්කඩවල් අයත් කරගන්නට සැරසෙන විට යුවපායි ඉන්දියානුවන් අතින් ඇගේ දෙමාපියන් මරා දැමෙනවා. පසුව ඇයව තවත් උතුරු ඉන්දියානු ස්වදේශික ගෝත්‍රයක් වන මොහාව් ඉන්දියානුවන් (Mohave Indians) විසින් ඇයව සහ ඇගේ සහෝදරිය රැගෙන යනවා. පසුකලෙක ඇගේ සහෝදරයා එම ගෝත්‍රිකයන්ගෙන් ඔලීව් ව මුදවාගෙන නැවත සුදු සමාජය වෙත ගෙන එනවා.

Olive Oatman living with the Indians
ඔලිව් ඕට්මාන් ඉන්දියානු ගෝත්‍රිකයන් සමග ජීවත් වූ ආකාරය

ඇගේ නිකටේ කෙටුණු පච්චයේ තේරුම කුමක්ද? මෙය බොහෝ දෙනෙකුගේ සිතට නැගෙන ප්‍රශ්නයක්. මොහාව් ගෝත්‍රිකයන් ඇතැම් විටෙක ‘මොජාවේ ගෝත්‍රිකයන්‘ යනුවෙන් ද හැඳින්වෙනවා. මොජාවේ ගෝත්‍රිකයන් ඔලිව් ඔට්මාන්ව ලබාගත්තේ හුවමාරු භාණ්ඩයක් විදිහට. එය ඔවුන්ගේ ගෝත්‍රෙය් භාණ්ඩ සඳහා වහලියන් හුවමාරු කර ගැනීමේ සංස්කෘතියේ ලක්ෂණයක් වුණා. නමුත් එසේ ඔලීවියාව ලබාගැනීමෙන් පසු ඔවුන් ඇයට ඉතාම ආදරය වුණා. ඔවුන්ගේ ම ප්‍රජාවේ සාමාජිකාවක් ලෙස ඇය ව ඇතිදැඩි කරන්නට ඔවුන් සිතුවා. ඇගේ නිකටේ කෙටුණු පච්චය ගෝත්‍රෙය් සාමාජිකයන් එකිනෙකා අතර සමගිය, මරණින් මතුත් එලෙසටම සුරැකෙන බව සංකේතවත් වෙනවා. එය මොජාවේ ගෝත්‍රිකයන්ගේ ආගමික ඇදහිලිවල එන සංකේතයක්.

වසර කිහිපයක් ගත වන විට ඔලීව් සිය දෙමාපියන් වෙනුවෙන් කණගාටුවීම මදෙකින් අඩු කර ගෝත්‍රික ජීවිතය සමග බද්ධ වන්නට උත්සාහ කළා. එය තමයි, ඇගේ අලුත් පවුල බවට පත් වුණේ. නමුත් අසීරු කාලයන් උදා වුණා. ඉඩෝරය නිසා ගෝත්‍රිකයන්ට කුසගින්නේ සිටින්නට සිදුවුණා. ගෝත්‍රික දරුවන් අකාලයේ මිය යන්නට පටන් ගත්තා. ඔලීවියා සමගම ගෝත්‍රිකයන් විසින් මිලදී ගෙන තිබූ, එහෙමත් නැතිනම් හුවමාරු කරගෙන තිබූ ඔලීවියාගේ සහෝදරියත් මේ ඉඩෝර සමයේදී මිය ගියා. ඇගේ නම මාරි ඈන්. මොහාව් ගෝත්‍රිකයන් ඇයට සිය සහෝදරියව තමන් කැමති ආකාරයට මිහිදන් කිරීමේ නිදහස ලබාදුන්නා. ගෝත්‍රිකයන් ඇයට කැලෑ මල් වැවීම සඳහා වෙනම බිම් කඩක් පවා ලබා දුන්නා. ඇගේ නිකටේ පමණක් නොව අත් පා වලත් කැපී පෙනෙන ගෝත්‍රික පච්චා කොටා තිබුණත්, නව ලෝකයේ සිට තමන්ගේ ලෝකය වෙත නැවත ගිය ඇය, බොහෝ විට සියොළඟ ආවරණය කරගෙන සිටි නිසා බොහෝ අයගේ කතාබහට ලක් වුණේ ඇගේ නිකටේ කොටා තිබූ පච්චය පමණයි.

Olivia Otman

ශිෂ්ට සම්පන්න ලෝකය වෙත පැමිණි ඇය, තමන් ව මහත් ආදරයෙන් රැක බලාගත් මොහාව් ගෝත්‍රිකයන් නැති කාංසාවෙන් පෙළුණා. 1865 වසරේදී ඇය ධනවත් ගොවිපොළ හිමියෙක් එනම් රාංචිකරුවෙක් සමග විවාහ වුණා. ඔහු ඇගෙන් ඉල්ලා සිටියේ එකම එක දෙයයි. ඒ, අතීතය අමතක කරන ලෙසයි. නමුත් ඇයට කළ නොහැකි දෙයත් එයම වුණා.

ඇය සිය ජීවිත කාලය පුරාම දැඩි හිසරදයකින් පෙළුණා. කැනේඩියානු සායනයෙන් පවා ඇය මානසික අවපීඩනය සඳහා ප්‍රතිකාර ලබාගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. අවසානයේ ඇය, වයස අවුරුදු 65 දී මරණයට පත් වුණා.

ඇගේ නිකටේ සදා නොමැකෙන පච්චයක් කෙටුවේ මොහාව් ඉන්දියානුවන් කුඩා දැරියක් ව සිටි ඇය ඔවුන් විසින් ඉතාම ආදරයෙන් රැක බලාගෙන හදාවඩා ගත් බව ඇය පසුව කියා සිටියා. ඒ වගේම තමන්ගේ ජීවිතයේ ඛේදවාචක දෙකකට මුහුණ දුන් බවත් ඇය පසුව කිව්වා. එකක් තමයි, යුවාපායි ගෝත්‍රිකයන් විසින් ඇගේ දෙමාපියන් මරා දැමීම. දෙවැන්න තමයි, ඇගේ පවුල වන මොහාව් ගෝත්‍රිකයන්ගෙන් ඇයව වෙන් කිරීම!

මොහාව් ගෝත්‍රිකයන් දමා ඒම ගැන ඇය තමන්ගේ ඉතිරි මුළු ජීවිත කාලයටම දුක් වුණා. කොතරම් වික්ටෝරියානු ඇඳුමින් සැරසුණත් එම ගෝත්‍රිකයන්ගේ උරුමයක් ලෙසින් ඇයට ලැබී තිබූ නිකට පහළට දිවෙන තද ඉරිවලින් යුත් පච්චය මකා දමන්නට හෝ, අඩුම වශයෙන් එම මැකී යන පරිදි මුහුණේ වත්සුණු තවරන්නට හෝ ඇයට කිසිදා උවමනා වුණේ නැහැ. Captivity of the Oatman Girls (1856) සහ මාග්‍රට් මිෆින් විසින් රචනා කරන ලද The Blue Tattoo: The Life of Olive Oatman, වැනි කෘතිවලින් මේ බව කදිමට සනාථ වෙනවා.

මොහාව් ගෝත්‍රිකයන්ගේ මතකයෙන් මිදෙන්නට ඇයට ඉතිරි ජීවිත කාලයටම උවමනා වුණේ නැහැ. අවසානයේ, ඇයව පැහැරගෙන ගොස් වසර 100කට ආසන්න කාලයකට පසුව මොහාව්වරුන්ගේ නිජ බිම වූ, කාන්තාරබද ඇරිසෝනා ජනපදයේ කුඩා නගරයක් ඇය නමින් නම් කෙරුණා.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි