×

ඉම්රාන් ඛාන්ගේ දියණිය පෙරට

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට දියණියක සිටින බව තහවුරු වී ඇත. නමුත් මේ කතාව, ඔහුගේ පෙර බිරිඳ වූ ජෙමීමා ඛාන් ඇයට දෙවැනි මවක් වූ දයාබරත්වයේ කතාව ද වේ.


පාකිස්තාන අග්‍රාමාත්‍යය ඉම්රාන් ඛාන්ගේ දියණියක යැයි කියැවෙන විසි හය හැවිරිදි තරුණියක පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන් මඟින් පසුගිය දා ප්‍රචාරය කෙරිණ. තරුණිය පිළිබඳ කතාව ප්‍රකට වුණේ ඉම්රාන් ඛාන්ගේ දික්කසාද පළමු බිරිය – ජෙමීමා ස්මිත් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණු ඡායාරූපයක් නිසයි. ඡායාරූපයේ පෙනී සිටියේ ඉම්රාන් – ජෙමීමා විවාහයේ පුතුන් දෙදෙනාත් ජෙමීමිමාත් හැරුණුවිට තවත් තරුණියෙකි. මේ තරුණිය කවුදැයි කියන කාරණය බොහෝදෙනෙක් විමසන්නට පටන් ගත්හ. එසේ විමසූ බොහෝදෙනෙකුට ඇය කවරකුදැයි කියා නිශ්චිතවම දැනගන්නට ඒ හැටි කාලයක් ගතවුණේ නැත.

ජෙමීමා ඛාන් සහ ඉම්රාන්ගේ දියණිය

ජෙමීමා ඛාන් සහ ඉම්රාන්ගේ දියණිය

සීටා වයිට් සම්බන්ධය

ජෙමීමා ස්මිත් සමඟ විවාහ වන්නට පළමුව ඉම්රාන් ඛාන්, සීටා වයිට් නමැති කාන්තාවක සමඟ ඉතා ගැඹුරු හාදකමක් පවත්වා තිබිණ. සීටා වයිට්, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. කර්මාන්තශාලා හිමිකරුවකු වූ ගෝර්ඩන් වයිට් ඇගේ පියා විණ. පියා, එවක මිලියනපතියකු වූ බැවින් සීටා හැදුණේ වැඩුණේ වත් පොහොසත්කම් මධ්‍යයේය. ඉම්රාන් ඛාන් සහ සීටා වයිට් අතර ප්‍රේම සම්බන්ධතාවය ගොඩනැඟෙන්නේ එක්දහස් නවසිය අසූ ගණන් අග භාගයේ පමණය. එනම් 1987 – 1988 කාල පරිච්ඡේදය තුළදී ය. ඉම්රාන් ඛාන් බ්‍රිතාන්‍යට යමින් එමින් සහ බ්‍රිතාන්‍යයට වී කල් මරමින් එවක ගත කළේ සෙල්ලක්කාර ජීවිතයකි. සමාජ ශාලාවලට ගොඩ වැදී විනෝද වීම ඔහු කිසිදු රාත්‍රියක අත්හැරියේ නැත. ප්‍රකට ට්‍රෑම්ප් සමාජ ශාලාව ඔහුගේ ප්‍රියතම ස්ථානයක් වූයේය. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස නමක් දිනාගෙන සිටි ඉම්රාන් වෙනුවෙන් එහි පෙළ ගැසී සිටි ගැහැණුන් ගණන විශාලය. ඔහුගේ දඩබිම ට්‍රෑම්ප් සමාජ ශාලාව යැයි කිව හොත් වරදක් නැත. ඒ සොඳුරු දඩබිමේදී ඔහු ඉව ඇල්ලු මුවැත්තියන් අතර සීටා වයිට් ද වූවාය.

එවක සීටා වයිට්ගේ පවුලේ උදවිය ජීවත් වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර බෙවරි හිල්හි බව සඳහන් වේ. ඒ නිසා ඇයගේ ජීවිතයත් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකාව අතර දෝලනය විණ. සීටා වයිට් මේ වනවිටත් විවාහක කාන්තාවක වූවාය. ඉම්රාන් ඛාන් සහ සීටා වයිට් අවසන් වරට මුණ ගැසී තිබෙන්නේ 1991 වසරේ ඔක්තෝබර් මස 2වැනිදාය. තමන්ට දරුවකු අවශ්‍ය බව එදා ඈ ඉම්රාන්ට පවසා ඇත.

දුවෙක් නිසා කළකිරිලා!

ඉම්රාන්ට දාව සීටා, දියණියක ප්‍රසූත කරන්නේ 1992 වසරේ ජුනි 15වැනිදා ය. ඉම්රාන් ඛාන් – සීටා වයිට් සම්බන්ධය මේ වනවිට දුරස් වෙමින් පැවතිණ. ඉම්රාන්ට වුවමණා වුණේ සීටාගෙන් පුතණු කෙනෙකි. ඔහුගේ එකම ඉලක්කය වී තිබුණේ සීටාගෙන් ලබන පුතණුවන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කිරීමය. සීටා ගැබ්ගෙන නොබෝ කලකින් කෙරුණු පරීක්ෂණවලින් අනාවරණය වුණේ සීටා තුළ පිළිසිඳගෙන තිබෙන්නේ ගැහැණු දරුවකු බවයි. ඉම්රාන් එයින් මහත් කලකිරීමට පත්ව තිබේ. ගබ්සාවක් කරගැනීමට සීටාව පොළාඹවා ගැනීම ඔහුගේ මීළඟ අභිප්‍රාය වී තිබී ඇත. එහෙත් සීටා ඊට කැමති වී නැත. 1992 ජුනි 15 වැනිදා සෙඩාර්ස් – සෙනායි වෛද්‍ය මධ්‍යස්ථානයේදී උපත ලබන්නේ ඒ දියණියයි. ඇයට නම තැබුණේ ටයිරන් ජේඩේ යනුවෙනි. ටයිරන්ගේ උපතත් සමඟ ඉම්රාන් – සීටා යුවළ එකිනෙකාගෙන් තව තවත් දුරස් වෙමින් සිටියහ. පුංචි ටයිරන්ව බලන්නට ඉම්රාන් ඛාන් කිසිදාක පැමිණියේ නැත. බිළිඳිය උස් මහත් කරගන්නට අවශ්‍ය විය හියදම් දීමෙන් පවා ඉම්රාන් වැළකී සිටියේය.

පීතෘත්වය ප්‍රතික්ෂේප කිරීමේ උත්සාහයක

මේ අතර තුර ඔහු තම දියණියගේ පීතෘතත්වයත් ප්‍රතික්ෂේප කරන තැනෙකට ද ළඟා වෙමින් සිටියේය. දියණියට තම තාත්තා කවරකුදැයි කියා සනාත කර දීමේ දැඩි අවශ්‍යතාවය සීටා වයිට් තුළ බලවත් වෙමින් තිබුණේය. ඒ තහවුරුව ලබා ගැනීම සඳහා ඈ ලොස් ඇන්ජලිස්හි අධිකරණයක නඩුවක් ගොනු කළාය. එම නඩුව පවරන විට කුඩා ටයිරන්ගේ වයස අවුරුදු තුනක් පමණ විණ. බිලියනපති කීර්තිමත් පවුලක තරුණියක වූ ජෙමීමා ස්මිත් සමඟ ඉම්රාන් විවාහ වන්නේ ද ටයිරන් දියණියගේ උපතින් තෙවසරක් ගතවන විටදීය. එනම් 1995 වසරේදීය. වාර්තාවන්හි දැක්වෙන අන්දමට සීටා වයිට් ලොස් ඇන්ජලීස් අධිකරණයේ ඉම්රාන් ඛාන්ට එරෙහි නඩුව ගොනු කර තිබෙන්නේ ඉම්රාන්, ජෙමීමාව ප්‍රංශයේ පැරිස් නුවරදී විවාහ කරගෙන දින පහක් පමණ ඉක්ම යන විටදී ය. ඉම්රාන්ට එරෙහිව සීටා ගොනු කළ නඩුව ලොස් ඇන්ජලීස් අධිකරණයේ විභාග වෙමින් පැවතියේ ය. ටයිරන්ගේ පියා ඉම්රාන් ඛාන්මදැයි කියා සැක හැර තහවුරු කරගැනීම සඳහා දෙදෙනාගේ ආවේණික ද්‍රව්‍යය පරික්ෂා කර සැසඳීමක් කළ යුතු බව අධිකරණයෙන් තීරණය කරන ලදී. ඒ අනුව එම පරීක්ෂණයට එකඟ වන්නට ඉම්රාන් ඛාන්ට සිදු විණ.

ගතානුගතිකත්වයට හිස නමමින්

එම පරීක්ෂණයෙන් අනතුරුව ටයිරන්ගේ පියා ඉම්රාන් ඛාන් බව ලොස් ඇන්ජලීස් ඉහළ අධිකරණය කොමසාරිස් ඇන්තනි ජෝන්ස් 1997 වසරේදී ප්‍රකාශයට පත් කළේය. දැරියගේ පියා තමන්යැයි කියා නීතිය ඉදිරියේදී තහවුරු කෙරුණ ද ඉම්රාන් ඛාන් ඒ බව ප්‍රසිද්ධියේ කියන්නට ගියේ නැත. විවාහ වන්නට පළමුව තමන්ට දාව දරුවකු සිටි බව ආනාවරණය වීම ගතානුගතික පාකිස්තාන මුස්ලිම් සමාජයේ කැළඹීමක් ඇති කිරීමට හේතුවක් බව ඉම්රාන් ඛාන් දැන සිටියේය. එපමණක් නොව තමන්ගේ කීර්ති නාමයට එය කැළලක් බවත් ඔහු සිතුවේය. එනිසා හෙතෙම කිසිවිටෙක ටයිරන් දියණිය ගැන කතා කරන්නට පැමිණියේ නැත.

එහෙත් 1998 වසරේදී ඉම්රාන් ඛාන් ජෙමීමා සමඟ ලොස් ඇන්ජලීස් නුවරට පැමිණීම තීරණාත්මක සංචාරයක් විණ. ලොස් ඇන්ජලිස්හි සිටින පාකිස්තාන ප්‍රජාව, ලොස් ඇන්ජලීස් හෝටලයේදී මුණ ගැසෙන්නට ඉම්රාන් ඛාන් යොදාගෙන තිබිණ. මේ අවස්ථාවට සීටා වයිට්ස් ද හදිසියේම වාගේ පැමිණියාය. මුලින්ම මේ දෙදෙනා එකිනෙකෙකු සමඟ කතා කළේ ඉතාමත් අපහසුවෙන් බව එහි සිටි කාටත් ඒත්තු ගැන්විණ. එහෙත් මඳ වෙලාවකින් සියල්ල සාමාන්‍යය අතට හැරිණ. සීටා සහ ජෙමීමා අතර සම්බන්ධතාවය ශක්තිමත්ව ගොඩ නැඟෙන්නටත් ඉම්රාන් – ටයිරන් හමුවක් සඳහාත් එය පදනමක් විණ. එදා සීටා, ජෙමීමාව හඳුනා ගත්තේ කරුණාවන්ත හදක් ඇති නිර්ලෝහී ගැහැනියක හැටියටය. සීටා, ඉම්රාන්ව හමු වූ දිනට පසුදාම ඉම්රාන්, ටයිරන් දියණිය හමු වූයේය. තාත්තාත් දුවත් පළමු වරට හමු වූයේ එදිනයි. එවක් පටන් ටයිරන්ව, ජෙමීමා ඇසුරට ළං කරන්නට සීටා කැමති වූ බවක් පෙනෙන්නට තිබිණ.

ජෙමීමා අම්මා වූ හැටි

ජෙමීමා සහ ඉම්රාන්

ජෙමීමා සහ ඉම්රාන්

 

ටයිරන්ගේ පියා ඉම්රාන් ඛාන් බව තහවුරු වීම ජෙමීමා – ඉම්රාන් ඛාන් විවාහය බිඳ වැටෙන්නට බලපෑමක් කළ බව සිතන්නට තරම් කිසිදු කාරණයක් නැත. එසේ වුවත් පැන නැඟුණු වෙනත් ගැටළු හේතුවෙන් ජෙමීමා – ඉම්රාන් ඛාන් විවාහය 2004 වසරේදී බිඳ වැටිණ. 1995 සිට 2004 දක්වා පැවැති විවාහ දිවිය තුළ ජෙමීමා, ඉම්රාන්ට දාව පුතුන් දෙදෙනෙකු වැදුවාය. ජෙමීමා ඉම්රාන්ගෙන් වෙන්ව 2004 වසරේදී බ්‍රිතාන්‍යයට නැවත පැමිණියේ ඒ පුතුන් දෙදෙනා සමඟිනි. 2004 වසරේදීම සීටා වයිට් පිළිකා රෝගයට ගොදුරු වීමෙන් හදිසියේ අභාවප්‍රාප්ත වූවාය. තමන් පිළිකා රෝගයෙන් පීඩා විඳින බව දැනගත් ඇසිල්ලෙහිම සීටා කළේ එවක දොළොස් හැවිරිදි වියේ පසුවන තම දියණියගේ භාරකාරත්වය ජෙමීමා ස්මිත්ට පැවරීමයි. සිය දියණිය ටයිරන් ඛාන් වයිට් වශයෙන් නම් කරන්නටත් සීටා අමතක නොකළාය. ජෙමීමා හරහා දියණිය ඉම්රාන් ඛාන් වෙත සමීප කිරීමේ අවශ්‍යතාවයකුත් සීටා තුළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතිණ.

මිලියනපතියකුට දාව ඉපදී දුකක් වේදනාවක් නැතිව හැදුණු වැඩුණු සීටා වයිට් හතළිස් තුන් හැවිරිදි වියේදී මරු වැළඳ ගත්තේ අසාර්ථක විවාහ තුනක් නිසා ද පියකු නැති දියණියක් නිසා ද ආර්ථික අහේනි නිසා ද හටගත් අපමණ තැවුල් විඳිමිනි. එමෙන්ම දියණියගේ ජීවිතය පිළිබඳ දැඩි අස්ථාවර බවක් අවසන් හුස්ම පොද වැටෙන මොහොතේත් සීටා තුළ පැවතියාට සැකයක් නැත. කොහොම වුණත් තමන්ටත් තම දියණියටත් අවමන් කළ අසාධාරණ මිනිසකුට එරෙහිව ඈ ඇයට හැකිතරම් දුරට ක්‍රියාත්මක වූ බව නම් සැබෑවකි. ඈ එලෙස ක්‍රියාත්මක වූයේ තම ටයිරන් දියණියගේ අනාගතය වෙනුවෙනි.

මවගේ වියෝවෙන් තනි වූ ටයිරන් ඉන්පසු වඩ වඩාත් සමීප වූයේ ජෙමීමා ස්මිත්ට ය. ටයිරන් තම නිවාඩුවෙන් කොටසක් ඥාතීන් සමඟ ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරත් නිවාඩුවේ ඉතිරි කොටස ජෙමීමා සහ තම අඩ සොයුරන් සමඟ එක්සත් රාජධානියේත් ගත කිරීම එදා සිටම දක්නට ලැබුණු දෙයක් විණ. මවගේ ඇවෑමෙන් වසර කිහිපයක් ගතවන විට මවගේ සොයුරිය සමඟ පැවැති සබඳතා බිඳ වැටුණෙන් ටයිරන්, ජෙමීමා වෙත නැඹුරුවීම වැඩිවිණ. ජෙමීමාගේ මිතුරන් සඳහන් කරන අන්දමට ටයිරන් එක්සත් රාජධානියට පැමිණි හැම අවස්ථාවකම නතර වන්නේ ජෙමීමාට අයත් ඔක්ස්ෆර්ඩ්ෂියර්හි වත්තේය. ටයිරන් එහි නැවතී සිටින කාලවලදී ජෙමීමාගේ පවුලේ කෙනෙකු ලෙස මිස ආගන්තුක දැරියක ලෙස නොහැසිරෙන බවත් සඳහන් වේ. එහෙත් ටයිරන් කිසිවිටෙකත් ප්‍රසිද්ධ ස්ථානවල පෙනී නොසිටියාය. සාදවලටත්, උත්සව අවස්ථාවන්ටත් සහභාගී වීම ඈ හැමවිටම පුරුද්දක් සහ යුතුකමක් ලෙස මඟ හැරියාය. මහජනයා වැඩිපුර ගැවසෙන එවැනි අවස්ථාවන්ට සහභාගී වුවහොත් තමන් පමණක් නොව බ්‍රිතාන්‍යයේ සිටින තම අඩ සොයුරන් සහ ඔවුන්ගේ මවත් පාකිස්තානයේ සිටින තම පියාත් අපහසුවට පත් වේ යැයි සිතා ටයිරන් එවැනි තීරණයකට එළඹියා වන්නට පුළුවන. ඒ නිසා විසි හය හැවිරිදි තරුණියක වනතුරුම ඈ හැදුනෙ වැඩුණේ රහසිගතවය; අප්‍රකටව ය.

ටයිරන්, එක්සත් රාජධානියට පැමිණි අවස්ථාවලදී ජෙමීමා සමඟ ඡායාරූපවලටත් පෙනී සිටියාය. ඒවා බලන කෙනෙකුට පෙනී යන්නේ මේ දෙදෙනා අක්කා නඟාලා දෙදෙනෙකු මෙනි. ඔවුන්ගේ කුළුපගකම ඒ තරමටම ඒවායෙන් නිරූපණය කෙරිණ. එවැනි ඡායාරූප සමාජ වෙබ් අඩවිවල තම ගිණුම්වලට එකතු කිරීමටත් ජෙමීමා අමතක නොකළා ය. එම ඡායාරූප සමඟ ඈ මුසුකළ වදන් වැල් නිරන්තරයෙන්ම ලොවට කියා පෑවේ ජෙමීමා සමඟ ඈ අසල සිටින්නේ ඉම්රාන්ගේ දියණිය බවයි.

ඇය මගේ සුළු දියණියයි!

“… මේ පුද්ගලයාට සුබ උපන් දිනයක් !. (ඇයට) සුළු දියණිය කියා ඇමතීමට තරම් මා වාසනාවන්තයි.” කියා ඈ සටහන් කර තිබුණේ පසුගිය වසරේ ටයිරන්ගේ උපන් දිනය දා ය.

ජෙමීමා හැමවිටම උත්සාහ ගන්නේ ටයිරන්ව සන්තෝෂයෙන් තබන්නට බැව් ඇඟවෙන වචන, ඡායාරූප සමාජ වෙබ් අඩවිවල ජෙමීමාගේ ගිණුම්වල දිගට හරහට සටහන් වන්නට පටන් ගත්තේය. ඉම්රාන් ලෝකයට නොකියූ දියණියගේ රුව මේ ඡායාරූප දකින්නටත් ඒ දියණියගේ තතු ජෙමීමාගේ සටහන් හරහා කියවන්නටත් ලෝකයාට හැකි විණ.

ටයිරන් ඛාන් වයිට් කියන්නේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ම දියණිය බැව් ලෝකයට දැන් තවදුරටත් රහසක් නොවේ.!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි