නමුත් ශත සහස්‍ර සංඛ්‍යාවක් වන සෛලවලට මිනිස් ශරීරය බිඳ දැමීමම විශාල අභියෝගයක්. එය කරන්නට පුළුවන් දෙයක්ද කියාත් සමහරවිට අපට සිතෙන්නට පුළුවන්. කොහොම වුණත්, ‘කළ නොහැක්කක් නොමැත‘ කියා අදහන නූතන විද්‍යාව ඒ සඳහා අති දැවැන්ත ව්‍යාපෘතියක් පටන් අරන්.
මානවයාගේ ජාන සැකසුම එහෙමත් නැතිනම්, මානව ගෙනෝමය (මානව ජිනෝමය) (human genome) මුල්ම වරට සිතියම් ගත කර අවසන් වුණේ 2003 අවුරුද්දේයි. නමුත් මේ ව්‍යාපෘතියෙන් සිදු කළේ මිනිස් සිරුරේ ජාන සැකසුම සම්පූර්ණයෙන්ම සිතියම් ගත කිරීම. එහෙම නැතිව අර කලින් කිව්වා වගේ, මිනිස් සිරුරේ සෛල සියල්ල සිතියම් ගත කිරීමක් මෙහිදී සිදුවුණේ නැහැ.
ඒ වගේම මිනිස් සිරුරේ ජාන 50,000 ක් තිබෙනවා. නමුත් මේ ජානවලින් ප්‍රකාශනය වන ලක්ෂණ සියල්ලම සෛලයකින් ප්‍රකාශනය වන්නේ නැහැ. ඇතැම් ලක්ෂණ සදහටම සැඟවී තිබෙනවා. ඒවා නිලීන ජානවල ප්‍රතිඵලයක්. ප්‍රමුඛ ජානවල ලක්ෂණ පමණක් සෛලයෙන් දිස්වනවා.
කෙටියෙන් කිව්වොත් මිනිස් ශරීරයේ තිබෙන සියලුම ආකාරයේ සෛල ගැන අපට තවමත් කිසිම සම්පූර්ණ අදහසක් නැහැ. නමුත් ඒක කියන තරම් ලේසි දෙයකුත් නෙවෙයි. අවුරුදු 150 ක් තිස්සේ ජීව විද්‍යා පර්යේෂකයන් තමන් දන්නා සියලුම ශිල්පීය ක්‍රම යොදාගෙන ඒවා සම්පූර්ණයෙන් ලැයිස්තු ගත කරන්නට වෑයම් කරනවා. ඒත් ඒ ඉතිහාසය මේ වන විට සන්ධිස්ථානයකට ඇවිත්.
අපි චලනය වන හැටි, හිතන පතන හැටි, ආහාර ජීර්ණය කර ගන්නා හැටි, නිදාගන්නා හැටි මේ සියල්ලටම විවිධාකාරයේ සෛල සැකසුම් බලපානවා. උදාහරණයක් විදිහට පැතලි තැටි වගේ පිහිටන රතු රුධිර සෛල (රතු රුධිරාණු), දිගට ඇදුණු ස්නායු සෛල (නියුරෝන) යනාදී අසිරිමත් සෛල ට්‍රිලියන ගණනකින් මිනිස් සිරුර සැදී තිබෙනවා. සෛලවලින් පටක හැදෙනවා. පටකවලින් ඉන්ද්‍රියන් හැදෙනවා. ඉන්ද්‍රියන්ගේ සැකසුම, සෛලවල සැකසුම අනුව තීරණය වුණත්, ඒවායේ ක්‍රියාකාරිත්වය වෙන වෙනම විමසා බලන්නටත් මේ අතර සිද්ධ වෙනවා. මේ සියලු කායික විද්‍යාවන් අතරේ තවමත් නොවිසඳුණු අබිරහස් ගණනාවකුත් තිබෙනවා.
දැන්, ඉතිහාසයේ පළමු වතාවට මිනිස් සෛල ගැන අංග සම්පූර්ණ ඉන්වෙන්ට්‍රියක්, එහෙමත් නැතිනම් අංගසම්පූර්ණ ලේඛනයක් සකස් කරන්නට විද්‍යාඥයන් සූදානම්. මේ ව්‍යාපෘතියේ නම, ‘‘Human Cell Atlas“. මෙය මිනිස් සෛල ප්‍රොෆයිල් කිරීමක් විදිහටත් හඳුන්වා දෙන්න පුළුවන්.
අපේ DNA (ප්‍රවේණික ද්‍රව්‍යය) සිතියම් ගත කළ ගෙනෝම ව්‍යාපෘතිය ගැන වගේම මේ ගැනත් විද්‍යාඥයන් අති මහත් සේ බලාපොරොත්තු තබාගෙන සිටිනවා. සමහරවිට මේ ඇසුරෙන් මිනිස් සිරුර සහ ලෝකය දෙස අප බලන කෝණයත් ඉදිරියේදී වෙනස් වේවි.
මේ පර්යේෂණ ව්‍යාපෘතියේ අවසාන අරමුණ වන්නේ සෛල විනාශ කරන, සෛලවලට වින කටින පිළිකා වගේ භයානක රෝග ලෝකයෙන් තුරන් කිරීමයි.
‘‘සෛල ගැන දැනගන්නවා කියන්නේ ජීවිතය ගැන දැනගන්නවා කියන එකයි“ එහෙම තමයි, මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන මැසචුසෙට්ස් ජනපදයේ කේම්බ්‍රිජ් බ්‍රෝඩ් ඉන්ස්ටිටියුට් හි පර්යේෂකයන් කියන්නේ. ‘‘මේ ගැන දැනගන්නා තෙක් ජීව විද්‍යාව ගැන අංගසම්පූර්ණ අවබෝධයක් ලබාගන්න අමාරුයි..“
ඉතින් ඉදිරි වසර කිහිපය ඇතුළත මිනිස් සෛල සිතියම් ගත කිරීමේ ඇට්ලස් ව්‍යාපෘතිය අවසන් වේවි. සමහරවිට ජීව විද්‍යාව විතරක් නෙවෙයි, වෛද්‍ය විද්‍යාවත් මේ සමගම අලුතෙන් ලියන්නටත් සිදු වේවි..