සුදු ජාතික යටත්විජිත ස්වාමිවරුන්, තමන්ගේ යටත්විජිතවල ජීවත් වූ කළු සම ඇත්තවුන් දැක්කේ සත්තු විදිහට. ඒ ගැන සාක්ෂි ලොව පුරාම තිබෙනවා. මේ කතාව, එවකට කොංගෝව යටත් කරගෙන සිටි බෙල්ජියම ගැනයි.
1958 වසරේ බෙල්ජියම දින 200 ක ලෝක සල්පිලක් world fair පටන් ගත්තා. එහි නම Expo ’58. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ යටත් විජිත සමයේ පුරාජේරුව කියා පාන්නටයි. තමන්න්ගේ යටත් විජිත වැසියන්ගේ සමාජයීය, සංස්කෘතික විධිචාර ගැන ලෝකය හමුවේ උදම් අනන්නයි. තමන් ඒ කළු සම ඇත්තවුන්ට වඩා ‘ශිෂ්ට සම්පන්න‘ බව ට පුරාජේරු ගසන්නටයි. මෙය සිදුවුණේ හරියටම මෙයට වසර 60කට කලින්.
ඒ අනුව ජීවමාන කළු ගැහැණුන්, කළු මිනිසුන් සහ කළු ළමයින් ව සුදු ජාතික යුරෝපීයන්ගේ විනෝදාස්වාද භාණ්ඩ බවට පත්කළ ලැජ්ජාසහගත අතීතයක් බෙල්ජියමට තිබෙනවා.
බෙල්ජියමේ මෙම දින 200 සල්පිල හැඳින්වෙන්නේ ලෝකයේ අවසාන ‘මිනිස් සත්තුවත්ත‘ යනුවෙන්.
1958 අවුරුද්ද වන විට කොංගෝව බෙල්ජියමේ යටත් විජිතයක්. තමන්ගේ රට වගේ 80 ගුණයක් විශාල මේ භූමියේ සුදු ජාතික බෙල්ජියම් ජාතිකයන් අණසක පතුරුවාගෙන සිටියා. ඔවුන්ට ස්වදේශිකයන් පෙනුණේ සතුන් විදිහටයි. ඒ මිනිසුන්ටත් අභිමානයක් තිබෙන බව මේ යටත් විජිත ස්වාමිවරුන් කිසිදාක සිතුවේ නැහැ. එදා බෙල්ජියම හැඳින්වුණේ ‘බෙල්ජියම් කොංගෝව‘ යනුවෙන්.
මේ ප්‍රදර්ශනය පැරිසියේ අයිෆල් කුලුනට සමාන බෙල්ජියමේ Atomium පාමුල පැවැත්වුණා. හෙක්ටයාර 8 ක භූමියක පැවීලියන් 7 ක් තනා ඒවා කොංගෝවේ කලාව, ගමනාගමනය, කෘෂිකර්මාන්තය වැනි තේමා හතකට බෙදා තිබුණා. හෙක්ටයාර 3 ක භූමියක් වෙන් වුණේ කොංගෝවේ ගහ කොළ සහ එහි වසන මිනිසුන්ව ප්‍රදර්ශනය කරන්නටයි. බට පතුරුවලින් තැනුණු කූඩුවල පිටත සිට සුදු ජාතික නෝනාවරුන් සහ මහත්වරුන්, සත්තුන්ව නරඹනවා වගේ කොංගෝ ජාතිකයන් නරඹමින් සිටියා.
‘හියුමන් සූ‘ එහෙමත් නැතිනම් ‘මිනිස් සත්වෝද්‍යාන‘ සංකල්පය බෙල්ජියමේ සොයාගැනීමක් නෙවෙයි. ඒ සියවසේ ලන්ඩනය, පැරිස්, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ සහ ජර්මනියේ හැම්බර්ග් නුවර සුදු නෝනාවරුන්ට සහ මහත්වරුන්ට මේ සත්වෝද්‍යාන නරුම විනෝදයක් ගෙන දුන්නා. 1906 අවුරුද්දේ නිව්යෝක් නුවරට ගෙන ආ තියුණු දත් තිබූ කොංගෝ ජාතිකයෙකුට බ්‍රොන්ක්ස් සත්තු වත්තේ වඳුරන් සමග ලැගුම් ගන්නට සිදුවූ බවට සාක්ෂි තිබෙනවා.
1897 වසරේ ගිම්හානයේ කොංගෝව පාලනය කරමින් සිටියේ බෙල්ජියමේ දෙවැනි ලියොපෝල්ඩ් රජු (King Leopold II).ඔහු තර්වුරන් හි පිහිටි සිය යටත් විජිත මාළිගය අවට රඳවා තබාගැනීම සඳහා බ්‍රසල්ස් අගනුවරට කොංගෝ ජාතිකයන් 267 දෙනෙක් ගෙන ආවා. බෙල්ජියමේ සිටි මිලියන 4 ක ජනගහනයෙන් මිලියන 1.3 ක්, ඔවුන් නරඹන්නට පැමිණි බව සඳහන් වෙනවා. මේ කොංගෝ ජාතිකයන් ලියොපෝල්ඩ් රජුගේ රාජකීය විල් වල ඔරුවල නංවා තිබූ අතර, ලණු පාලමක් මතින් ගොස් ඔවුන්ව දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබුණා.
ඒ ගිම්හානය අතිශය දරුණු ශීතලකින් යුක්ත වුණා. අසරණ අප්‍රිකානුවන්ට මේ ශීතල දරාගත හැකි වුණේ නැහැ. ඔවුන්ගෙන් 7 දෙනෙක් නියුමෝනියාව සහ ඉන්ෆ්ලුවෙන්සාව වැළඳීම නිසා මරණයට පත් වුණා. එවිට සිදු කළේ අසල තිබූ සමූහ සුසානයක ඔවුන් නමක් නැතිව මිහිදන් කිරීමයි. නමුත් මේ සිදුවීම පවා බෙල්ජියමේ කීර්තිනාමයට හානි කළේ නැහැ. මොකද, ඔවුන් තමයි, ලෝකයේ එවකට රජ කරමින් සිටියේ. එදා මේ ප්‍රදර්ශනය විසින් කොංගෝ කෞතුකාගාරයට මුල පිරුණා. අද වන විට මෙම ප්‍රදර්ශනය සිදුකළ ස්ථානය ආශ්‍රිතව ‘Royal Museum for Central Africa‘ පිහිටා තිබෙනවා.
අප කියමින් සිටි 1958 ප්‍රදර්ශනය, පෙර කී ලියොපෝල්ඩ්ගේ සන්දර්ශනයට සාපේක්ෂව ප්‍රමාණයෙන් විශාල එකක් වුණු අතර තේමාවත් එයමයි. කොංගෝ රාජ්‍යයෙන් ගැහැණු පිරිමි 598 දෙනෙක් රැගෙන විත් තිබුණා. පවුල් 183 ක්. ඒ අතරින් 197 ක් දරුවන්. කොංගෝ ක්‍රමයට කුඩා ගමක් සාදා, පිදුරු මඩුවල මේ මිනිසුන්ට දින ගණනාවක් එක දිගට ජීවත් වන්නට කටයුතු යොදා තිබුණා. සුදු ජාතික ගැහැණුන් සහ පිරිමින් ඔවුන් දෙස බලමින් ඔවුන්ට අපමණ විහිළු කළා. නින්දා කළා.
‘‘සුදු ජාතිකයන් උණ පතුරු වැටට ඉහළින් මේ මිනිසුන්ට කෙසෙල් සහ මුදල් විසිකළා‘ යැයි ඒ යුගයේ මාධ්‍යවේදීන් මේ සිදුවීම ගැන ලියා තිබෙනවා.
1969 ජූනි මාසයේ කොංගෝව බෙල්ජියමෙන් නිදහස ලැබුවා. ඒ දක්වාම ඔවුන්ට සුදු ජාතිකයන්ගේ නරුම ආනන්දය වෙනුවෙන් ප්‍රදර්ශනාත්මක භාණ්ඩ බවට පත්වීමට සිදු වී තිබූ අයුරු ශෝචනීයයි.
අද මේ මධ්‍යම අප්‍රිකානු කෞතුකාගාරයේ, ඒ ලජ්ජිත ඉතිහාසයේ කටු සටහන් නොමදව තිබෙනවා. නමුත් බහුතර බෙල්ජියම් වැසියන්, තමන් එදා ලත් විනෝදය වරදක් සේ දකින්නේ නැහැ. කෞතුකාගාරය භාරව සිටින ගුයිදෝ ග්‍රයිසීල්ස් මෙසේ කියනවා.
‘‘බෙල්ජියම් වැසියන් අප්‍රිකාව මුලින්ම දුටුවේ අපේ කෞතුකාගාරය හරහායි. එය අපේ රටේ යටත් විජිත ඉතිහාසය පිළිබඳ ලකුණක්. සුදු ජාතිකයන් කල්ලන්ට වඩා හොඳ බව ඔවුන් මෙය දැකීමෙන් තේරුම් ගත්තා. අපි එහි ගියේ ඔවුන්ව ශිෂ්ට සම්පන්න කරන්නට. මෙහි ජීවත් වන සෑම බෙල්ජියම් පවුලකටම කොංගෝව සමග බැඳුණු මූලයක් තිබෙනවා. එය තමයි, ඔවුන්ගේ පවුලේ එක සාමාජිකයෙක් හෝ එක්කෝ මිෂනාරිවරයෙක් ලෙස, ගුරුවරයෙක් ලෙස හෝ පරිපාලකයෙක් ලෙස කොංගෝවට ගොස් තිබීමයි….“
1998 වසරේදී ඇඩම් හොච්චයිල්ඩ් නමැති ලේඛකයා විසින් King Leopold’s Ghost – ලියොපෝල්ඩ් රජුගේ අවතාරය නමැති පොත ලියන තෙක්ම බෙල්ජියමේ මේ නරුමවාදී ඉතිහාසය බෙල්ජියම සමාජය තුළ සංවාදයට පවා ලක්වුණේ ඉතාම අඩුවෙන්.