×

ඔබ මගේ පුතා.. ඔබ මගේ දොරකඩට රැගෙන එන ඕනෑම දෙයක් මම බාරගන්නවා..! – ශර්මාල්ගේ කතාව

ශර්මාල් වරෙයිච්, වයස අවුරුදු 34 ක තරුණයෙකි. මැන්චෙස්ටර් නුවර ඉපදුණු ඔහු දැඩි ආගමික භක්තියෙන් යුතු පාකිස්ථාන හා බ්‍රිතාන්‍ය මිශ්‍ර පවුලක උපත ලැබීය. 2013 වර්ෂයේදී ඔහු තමන් එච්.අයි.වී වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු බව හඳුනාත්තේය. මේ ඔහු අප සමග බෙදාගන්නා ඔහුගේම කතාන්දරයයි.


මට දැනුනේ සියල්ල හීනයක් මෙන්ය, වෙනත් වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් මම රෝහලට ගියෙමි. සියලු වෛද්‍ය පරීක්ෂණ අවසන් වූ පසුව ඔවුහු මාව නවත්වා ගත්හ. වයස අවුරුදු 40ක් පමණ වන පිරිමි වෛද්‍යවරයෙකු පැමිණ මා ඔහුගේ කාර්යාලයට රැගෙන ගියේය.

“ඉතින් කොහොමද මිත්‍රයා?” ඔහු ඇසීය.

“බොහොම හොඳින් ඉන්නවා ඩොක්ටර්” මම පිළිතුරු දුන්නෙමි.

සෙමින් සෙමින් ඔහු මා සමග කතා කරන්නට පටන්ගත්තේය. ශර්මාල් අපි තිබෙනවා ඔබට යමක් කියන්න යනුවෙන් ඔහු පැවසීය. මා සැහැල්ලුවෙන් පැවසුයේ ඔව් ඩොක්ටර් ඕනෑම දෙයක් කියන්න යනුවෙනි.

“ඔබ දන්නවාද ඔබට එච්.අයි.වී වෛරසය ශරීරගත වෙලා කියලා?” මට මතක එපමණය. ඉන්පසු ඔහු බොහෝ දේ පැවසීය. එහෙත් ඒ කිසිවක් මට මතකයේ රැඳුනේ නැත. මට දැනුන එකම හැඟීම හිස් බවයි. මම මැරෙන්න යන්නේ, අනේ මගේ අම්මයි තාත්තයි, මම ලොකු පාපයක් කරලා තියෙන්නෙ. මගේ අම්ම නම් පපුව පැළිලා මැරේවි.

මේ සියලු සිතුවිලි අළු පාට දුම් රේඛාවන් මෙන් මා වටා කැරකෙන්නට විය. පපු කුහරයෙන් පැමිණි මොකක්දෝ වේදනාවක් මා වෙලා ගන්නවා මෙන් මට දැනුණි. මා නිවසට ගියේ කෙසේද යන්න මට මතක නැත. දින ගණනාවක් තිස්සේ මම මාවම ප්‍රශ්න කරමින් මාව සෙව්වෙමි. මට මා ගැනම විශාල ලැජ්ජාවක් ඇති විය. “දෙවියනේ මම සමරිසියෙක්. එච්.අයි.වී කියන්නෙ සමරිසියන්ගේ ලෙඩේ කියලයි මිනිස්සු කියන්නෙ. ඒත් එහෙම නෙවෙයි කියලත් ඔවුන් දන්නවා. ඒත් දැන් මම ගැන මිනිස්සු දැනගත්තාම සමරිසියන්ට වැදෙන සීල් එක තව තවත් වැඩි වෙනවා විතරයි. ” දේවල් හිතෙන්න හිතෙන්න මට දැනුනේ මා මගේ ජීවිතයේම අගාධයට යනවා පමණි. අපේ ආගමට අනුව මම කර තිබෙන්නේ පවකි. මගේ දෛවය, මගේ ජීවිතය දැන් අවසානයට මා රැගෙන ගොස් ඇත.

මම මා ගැන කිසිවෙකුට නොපැවසූවෙමි. වෛද්‍යවරයා සහ මානසික උපදේශකවරයා පමණක් මා ගැන දැන සිටියහ. ජීවිතය අවසන් කරගැනීමට අවස්ථා කිහිපයකදීම සිතුන නමුත්, ඒ සඳහා මට ධෛර්යයක් නොවීය. එච්. අයි.වී වෛරසය ආසාදිත වූවන් ගැන මම දැන සිටියෙමි. එහෙත් ඒ කිසිවෙකුගේ ජීවිතවල සුබවාදී බවක් හෝ විසිතුරු බවක් මා දුටුවේ නැත. වසර හතරක් මම මා සමග තනිවම සටන් කළෙමි. එච්. අයි.වී මාරන්තික යැයි ප්‍රචලිත කරුණ අසත්‍ය යැයි මා ටිකෙන් ටික ඉගෙන ගතිමි. දිනපතාම නිවරැදි ආකාරයෙන් ඖෂධ ගතිමි. ගතින් වැටීමට වඩා සිතින් වැටීම බොහෝ අවදානම් බව ද තේරුම් ගතිමි.

මා මුස්ලිමි ජාතිකයෙකි. සමරිසියෙකි. ජාතිවාදය ලොව පුරා පැතිරෙමින් පැවතියදී මුස්ලිමි ජාතිකයෙකු ලෙස සමාජගත වීමට මම බොහෝ වෙහෙසක් දැරිමි. මා මුස්ලිමි යැයි දැනගත් සැනින් බොහෝ අයට මතක් වූයේ ත්‍රස්තවාදීන්ය. ඉන් පසු කාලයකදී මම සමරිසියෙකු යැයි පැවසීමට ඊටත් වඩා බොහෝ උත්සාහයක් දැරීමි. මගේ ලිංගික අනන්‍යතාවය මා මුලින්ම ප්‍රකාශ කළේ ඥාති සහෝදරියක සමගයි. ඇය පැවසූයේ “ඔහ්…….ඒක නම් හරිම නරකයි” යනුවෙනි. ඔව්! ඒක ඒ තරමටම නරක දෙයක් විය. සමාජයේ බොහෝ කෙනෙහිලිකම්වලට ලක්වෙන්නට තරම් නරක විය. මුස්ලිම් ජාතිකයෙකු සමලිංගිකයෙකු වෙන්න! කිසිසේත්ම බැරි බවට බොහෝ දෙනා පැවසුහ.

එහෙත් මාව විශ්වාස කරන, මට ආදරය කරන, සෑම විටම මගේ ඇස්වල කඳුළු සෙනෙහසේ පහසින් සෙමින් සෙමින් පිරිමදින මගේ අම්මා මා සමග විය. “ඒක ඔබගේ තීරණය නම්, මට ඔබට එපා කියන්න බැහැ පුතා. ඇය පැවසුවාය. ”නැහැ අම්මේ! මම ඒක තීරණය කළා නෙවෙයි. මම ඒක තෝරගත්තාත් නෙවෙයි. මේ මම ඉපදුන විදිය. මට මාව දැනෙන, තේරෙන විදිය.” අවසානයේ ඇය මාව සම්පූර්ණයෙන් පිළිගත්තාය. මගේ පියා ද බොහෝ කල්පනා කිරීමෙන් පසුව, ඔබේ කැමැත්තක් යැයි පැවසුවේය. සම්පූර්ණයෙන් සැඟවී සිටින ලෝකයක් ඇතුළත පිටතට පැමිණීම තරම් අසීරු දෙයක් තවත් නොමැත. ආසියානු කලාපීය මිනිසුන්ගේ ලෝකයක් හා සංස්කෘතික රාමුවක් ඇතුළත පිටතට පැමිණීම කිසිසේත් පහසු නැත. මා දන්නා සමරිසියන් විශාල ප්‍රමාණයක් නිවෙස් වලින් නෙරපා දැමුණි. ඔවුන්ට සාපේක්ෂව මම වාසනාවන්තය.

එච්.අයි.වී වෛරසය ආසාදිතයෙකු බව දැනගෙන වසර හතරකට පසුව. මේ සියල්ල මාගේ දෙමව්පියන් සමග පැවසීමට මම තීරණය කළෙමි. මා පළමුව ගියේ මෙලොව මා විඩාත් විශ්වාස කරන තැනැත්තිය වෙතටයි. ඇය මා දෙස හොඳින් බලා සිටියාය. ඇයගේ ඇස් තුළින් මම මා දුටුවෙමි. තවදුරටත් එක එල්ලේ මට ඈ දෙස බලා සිටිය නොහැකිය. දැඩි මුස්ලිම් භක්තික කාන්තාවක වූ ඇයට අනුව මා විශාල පාපයක් කර ඇතැයි මට හැඟුනි. ඇය උර්දු බසින් මෙලෙස පැවසුවාය. “ඔබ මගේ පුතා. ඔබ මගේ ගෙදර දොරකඩට රැගෙන එන ඕනෑම දෙයක් මම බාරගන්නවා. කිසිම දෙයක් පිළිබඳ සිතන්නේ නැතුව”. මා බලාපොරොත්තු වූ පරිදි ඇය කළබල වූයේ නැත. කම්පා වුණේ නැත. එය මා හට දැඩි නිදහසක් විය. මා බලාපොරොත්තු වූයේ ඇය මාගෙන් ප්‍රශ්න අසාවි කියාය. මම ඉක්මණින් මැරේවිද අසාවි කියාය. එහෙත් ඒ කිසිවක් ඇය අසුවේ නැත.

ඉන්පසුව මම මාගේ වැඩිමහල් සහෝදරයාට සහ නෑනා ට විවෘත වීමි. “ දෙවියනේ ශර්මාල්! ඇයි ඔබ මේ ගැන අපිට කලින් කිවුවේ නැත්තේ. අපි ඔයා එක්ක ඉන්නවා හැම වෙලාවෙම. ඒ ඔවුන්ගේ ප්‍රතිචාරයයි. අවසානයේ මම මගේ පියාට මා ගැන කියන්නට තීරණය කළෙමි. නිවසේදී පැවසුව හොත් ඔහු මට පහර දෙතැයි, බැන වදිනු ඇතැයි මම බිය වීමි. අප දෙදෙනාම යකඩ බඩු කඩයක් ඇතුළත නිවෙසට අවශ්‍ය යම් යම් දේ මිලට ගනිමින් සිටියෙමි. බොහෝ කාලයකට පසුව අපි ඉතා කුළුපඟ වීමු. මේ තමයි හොඳම වේලාව. ඒත් ඔහු මට මිටියකින් හරි යකඩ පොල්ලකින් හරි පහර දුන්නොත්…… විවිධ සිතුවිලි සමග දෝලනය වෙමින් සිටියදී, ඔහුම මා සමග විවෘත විය. පුතා ප්‍රශ්නය මොකක්ද යනුවෙන් ඔහු ඇසීය. මම ඔහුට විවෘත වුණෙමි.

දැන් මම එච්. අයි. වී ආසාදිත පුද්ගලයින් සම්බන්ධව බාහිර උපදේශක වරයෙකු ලෙස සේවය කරමින් සිටින්නෙමි. කිහිප වතාවක්ම පිටතට පැමිණීම හෙවත් විවෘත වීමට සිදුවීම බොහෝ පුද්ගලයින් මුහුණපාන ප්‍රශ්නයකි. විශේෂයෙන් සමරිසි පුද්ගලයින්ට මෙය අතිශය වේදනාකාරී. අසහනයෙන් හා මානසික ආතතියෙන් පිරුණු කාලසීමාවක් වේ. තමන් සමරිසියෙකු යැයි සමාජයට විවෘති වීමට බොහෝ අය විවිධාකාර උත්සාහයන් ගනී. කුමක් හෝ අවාසනාවකට එච්.අයි.වී ආසාදිතයෙකු වුවහොත් තත්ත්වය තවත් වෙනස් ස්වරූපයක් ගනී. එච්.අයි.වී සුව කළ හැකි, වළක්වා ගත හැකි හා අනෙකෙකුට සම්ප්‍රේෂණය නොකර වුවද ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ හැකි තරම් සෞඛ්‍ය සොයාගැනීම් ප්‍රබල වුවද, ආසාදිත පුද්ගලයින්ට සමාජයෙන් එල්ලවන අපහාස හා වෙනස් කොට සැලකීම් අවම වී නොමැත. එම නිසා මා ඉල්ලා සිටින්නේ තමන්ගේ දරුවන් සම්බන්ධ හොඳම තීරණය ඇත්තේ දෙමව්පියන් අත නිසා, ඔවුන් සමග සාකච්ඡාව ආරම්භ කරන්න. එය හොඳ වුවත්, නරක වුවත් යහපත් අවසානයක් කරා ඔබව මෙහෙයවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි