×

‘‘මම යුරෝපියානුවෙක් මිසක් අධිරාජ්‍යවාදී මෝඩ සුද්දෙක් නෙවෙයි!“ – එල්ටන් ජෝන්

‘‘මගේ රට එහි මිනිසුන් බෙදා වෙන් කරනවා... මම මරණය දක්වාම දේශපාලකයන් අප්‍රිය කරනවා. බ්‍රෙක්සිට් අප්‍රිය කරනවා. මම යුරෝපියානුවෙක්. එහෙම නැතිව අධිරාජ්‍යවාදී මෝඩ සුද්දෙක් නෙවෙයි..‘‘


‘‘මම යුරෝපියානුවෙක් මිසක් අධිරාජ්‍යවාදී මෝඩ සුද්දෙක් නෙවෙයි!“ I’m a European – not a stupid, imperialist English idiot’එසේ කියන්නේ එදා මෙදාතුර ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම සංගීතඥයෙක් ලෙස අවිවාදයෙන් සැලකෙන එංගලන්තයේ එල්ටන් ජෝන් Elton John ය.

එක්සත් රාජධානිය බ්‍රෙක්සිට් ප්‍රශ්නය, එසේත් නැතිනම් එංගලන්තය යුරෝපා සංගමයෙන් බෙදී වෙන් වීම පිළිබඳ ගැටළුව හසුරවන ආකාරය පිළිබඳ සිය අප්‍රසාදය පළ කරමින් ඔහු මෙසේ සඳහන් කළේය.

එල්ටන් ජෝන්ගේ අලුත්ම සංගීත ප්‍රසංගය පසුගියදා ඉතාලියේ වෙරෝනා නගරයේදී පැවැත්විණි. එය මේ දිනවල පැවැත්වෙන ඔහුගේ ලෝක සංචාරයේ නවතම අදියරයි. ‘‘මගේ රට කරල තියෙන දේවල් ගැන මට ලැජ්ජයි. මගේ රට එහි මිනිසුන් බෙදා වෙන් කරනවා… මම මරණය දක්වාම දේශපාලකයන් අප්‍රිය කරනවා. බ්‍රෙක්සිට් අප්‍රිය කරනවා. මම යුරෝපියානුවෙක්. එහෙම නැතිව අධිරාජ්‍යවාදී මෝඩ සුද්දෙක් නෙවෙයි..“

අද දිනයේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එංගලන්තයට පැමිණීමට නියමිත ය. ඔහු දැඩි බ්‍රෙක්සිට් හිතවාදියෙකි. බ්‍රෙක්සිට් සඳහා බ්‍රිතාන්‍යෙය් ජනමතය වෙනස් කළ නයිජල් ෆෙරාජ්ගේ දැඩි මිතුරෙකි. ඔහු මෙවර සංචාරයේදී නියත වශයෙන්ම සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශ සමග බ්‍රෙක්සිට් ප්‍රශ්නය තවදුරටත් උත්සන්න වනු ඇත. 2016 පැවති ජනමත විචාරණයෙන් පසුව 2019 මාර්තු 19 වැනිදා එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතුව තිබුණත් අගමැතිනී තෙරේසා මේ හට රට තුළින් එල්ල වූ පීඩනය සහ, තමන්ට යුරෝපා සංගමයෙන් බෙදී වෙන්වීමට අවශ්‍ය නැත යනුවෙන් ජනමතය පසුව වෙනස් වීමෙන් ඇති වූ අර්බුදකාරී තත්වය හමුවේ මේ දිනය මේ වන විට 2019 ඔක්තෝබර් 31 වැනිදා දක්වා කල් දමා තිබේ.

එක්ව සිටිනවාට වඩා බෙදී වෙන් වීම හොඳ යැයි තවමත් පාරම් බාන, එහෙත් යුරෝපා සංගමයේ වෙනම ස්ථාවරයක් සොයන නයිජල් ෆරාජ් ඇතුළු සුදු ජාතික දක්ෂිණාංශික බලවේග පිළිබඳ මේ වන විට එල්ටන් ජෝන් වැනි සංවේදී මිනිසුන් සිටින්නේ මහත් නොසන්සුන් කමකි. සිය රට ගැන උපන් කණස්සල්ලෙනි. දේශපාලකයන්ගේ කඹ ඇදීම මගින් බෙදී වෙන් වූ රටක් බවට අනාගතයේදී එක්සත් රාජධානිය මේ අනුව පත්වීමට නියමිත ය.

මේ අතර, මේ වසරේ හේමන්ත සෘතුවේදී එල්ටන් ජෝන් සිය චරිතාපදානය එළි දැක්වීමට ද සූදානමින් සිටියි. මීට අමතරව ලෝකයේ ඉහළම තැනකට පැමිණීම සඳහා ඔහු තුළ තිබූ ස්වයං අරගලය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සමග ඔහු කළ අරගලය සහ ඔහුගේ පුද්ගලික ජීවිතය ඇතුළත් Rocketman චිත්‍රපටය මේ දිනවල තිරගත වෙමින් පවතියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි