×

පාකිස්ථානයේ මීළඟ අගමැති – ඉම්රාන් ඛාන්

පාකිස්ථානයේ ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇති බව පාකිස්ථාන මැතිවරණ කොමිසම අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.


පුරා දින 2 ක් තිස්සේ පැවති ඡන්ද ගණන්කිරීමෙන් අනතුරුව ඉම්රාන් ඛාන් නායකත්වය දරන තෙරීක්-ඉ-ඉන්සාෆ් පක්ෂය (Pakistan Tehreek-e-Insaf) ජාතික රාජ්‍ය සභාවේ ආසන 269 අතරින් 116 ක් දිනාගෙන තිබිණි. ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වූ පාකිස්ථාන මුස්ලිම් ලීගයේ (Pakistan Muslim League) මැතිවරණ වත්කම ආසන 64කට සීමා විය. පාකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකත්වය දරන්නේ හිටපු අගමැති, දැනට සිරභාරයේ පසුවන නවාස් ෂරීෆ්ගේ සොයුරු ෂබාස් ෂරීෆ් විසිනි.

ඔහු විසින් මෙම මැතිවරණය දූෂිත එකක් බවට චෝදනා එල්ල කළත්, ඉස්ලාමාබාද් අගනුවරට පැමිණ සිටි 120 දෙනෙකුගෙන් යුත් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ද ප්‍රකාශ කර තිබුණේ මෙම මැතිවරණය වංචනික එකක් නොවන බව ය.

කෙසේ නමුත් බහුතර රජයක් පිහිටුවීම සඳහා ගත යුතු අවමය වන ආසන 173 ක් දිනාගැනීමට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය අසමත් වීම නිසා ඔහුට පිහිටුවීමට සිදුවන්නේ වෙනත් පක්ෂයක හෝ කිහිපයක සහයෝගය ලබාගන්නා සන්ධාන ආණ්ඩුවකි. මේ සඳහා ඔහු විසින් දැනටමත් සුළු පක්ෂවලට ආරාධනා කර තිබේ. ඒ සඳහා ඇතැම්විට දින ගණනක් ගත විය හැකි බව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ප්‍රකාශක ෆවාද් චව්ද්රි ප්‍රකාශ කරයි.

එසේම මෙවර පාකිස්ථාන මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 52% කි. මෙයට පෙර 2013 වසරේ පැවති මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 54.8% ක් විය.

පාකිස්ථාන මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුව හෙවත් ජාතික රාජ්‍ය සභාව (National Assembly) වෙත මෙන්ම පළාත් පාර්ලිමේන්තු 4කට ද නියෝජිතයන් තෝරා පත්වීම සිදු වේ.

ඉම්රාන් ඛාන් – Facts Sheet බලාපොරොත්තු වන්න..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි