×

පාකිස්ථාන නව අගමැති ඉම්රාන් ඛාන් නිල නිවස ප්‍රතික්ෂේප කරයි.

ඉම්රාන් ඛාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පාකිස්ථාන මහ මැතිවරණයේ ජයග්‍රහණය සිය පක්ෂය වන PTI සතු වන බව නිවේදනය කළේය.


හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ පක්ෂය මේ වනවිට බහුතර බලය දිනාගෙන ඇති හෙයින්, සන්ධානයක් බවට පත්වී නව ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1992 වසරේදී පාකිස්ථානය ලෝක ක්‍රිකට් කුසලානය වෙත මෙහෙයවූ ජනකාන්ත නායකයා ලෝකයේම අවධානය දිනාගත් කාරණා කිහිපයක් මේ වන විට හෙළිදරව් කර තිබේ. එයින් එකක් වන්නේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් රට බාර ගත්තද, අගමැති නිල නිවසේ පදිංචියට යාමට තමන්ගේ කිසිදු අදහසක් නැති බවයි.

IMRAN KHAN

IMRAN KHAN | boomsbeat.com

ෂරීෆ්ගෙන් පසු පාකිස්ථානය

මෙම මැතිවරණය මෙතරම් තීරණාත්මක එකක් බවට පත් ව තිබුණේ මිලියන 200කට අධික ජනගහනයක් ජීවත් වන පාකිස්ථානයේ අති ප්‍රබල නායකයෙකු ලෙස සැලකුණු හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ දේශපාලන බලාපොරොත්තු සිඳලූ මැතිවරණයක් බවට ද මෙය පත්වූ නිසා ය. හිටපු අගමැති නවාස් ෂරීෆ්, පැනමා පත්‍රිකාවලින් හෙළි වූ කරුණු මත නඩු විභාගයේ විනිශ්චයට ගරු කරමින් සිය රට බලා පැමිණ නීතියට හිස නැමූ පුද්ගලයෙකු ලෙස සිපිරි ගෙට ගියේය. මෙම මහ මැතිවරණයේ තියුණුම තරගය පැවතුණේ ද ඉම්රාන් ඛාන්ගේ PTI (Pakistan Tehreek-i-Insaf) පක්ෂය සහ නවාස් ෂරීෆ්ගේ PML-N පක්ෂය අතර ය. නමුත් ඡන්ද මධ්‍යස්ථානවල පවා මරාගෙන මැරෙන බෝම්බ පුපුරාගිය මැතිවරණයක් වූ මෙයින් සිතූ තරම් ජන මතයක් දිනාගැනීමට නවාස් ෂරීෆ්ට හැකි වුණේ නැත.

‘‘මා සිතන්නේ මෙය තමයි, පාකිස්ථානයේ එදා මෙදාතුර පැවති සාධාරණම සහ පිරිසිදුම මැතිවරණය‘‘ යැයි ඉම්රාන් ඛාන් ජාතිය අමතමින් කියා සිටියේය. එසේම නවාස් ෂරීෆ්ගේ පක්ෂය පැවසූ පරිදි යම් මැතිවරණ උල්ලංඝනයක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ පැවැත්වෙන විමර්ශනවලට තමන් සහාය පළ කරන බව ද ඔහු පැවසුවේය.

එසේම රට දියුණු කිරීම සඳහා සතුරන් සමග වුවත් අත්වැල් බැඳ ගැනීමට ද ඉම්රාන් ඛාන් සූදානම් ය. කාශ්මීරය පිළිබඳ ඉන්දියාව සමග පවතින අර්බුදය විසඳා ගැනීමට ද තමන් බලාපොරොත්තු වන බව ඉම්රාන් ඛාන් පැවසුවේය. ඇමරිකා එක්සත් ජනපදය සමග ‘දෙපාර්ශවයටම වාසි සහගත‘ සබඳතා පවත්වා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ඉම්රාන් ඛාන් පැවසීය.

මිලියන 200 ක ජනගහනය අතරින් මෙවර මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළ ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන මිලියන 106 ක් විය. එයින් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50%-55% අතර ප්‍රමාණයක් විය.

ඉම්රාන් ඛාන් නමැති දේශපාලකයා

ඉම්රාන් ඛාන් මුලින්ම දේශපාලනයට අවතීර්ණ වූයේ 1996 වර්ෂයේ ය. නමුත් එහි කැපී පෙනෙන චරිතයක් බවට පත්වීම පිණිස ඔහු වසර ගණනක් තිස්සේ අරගල කළේය. අවසානයේ අවුරුදු 22කට පසුව දිළිඳුකම පිටුදැකීමට සටන් වදින ජනකාන්ත නාකයයෙකු වශයෙන් තමන්ගේ ප්‍රතිරූපය වඩවා ගැනීමට ඔහු සමත් විය.

අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට යාම ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසූ දේ, පාකිස්ථාන ඉතිහාසය තුළ ඓතිහාසික වනු ඇත. ‘‘පාලක ප්‍රභූ පැළැන්තය පාකිස්ථානය තුළ මේ දක්වා කරන තරමක් දේවල් කළේ බදු ගෙවන්නන්ගේ මුදල්වලින්. ඒ තත්වය වෙනස් කරන බවට මම අද ඔබට පොරොන්දු වෙනවා..“ යැයි ඔහු පැවසුවේය.

පෙළපත්වලට යට වී ඇති පාකිස්ථාන දේශපාලනය එයින් මුදවා ගන්නා බවට ද ඔහු සපථ කළේය. ඉහ වහා ගොස් ඇති දූෂණය නතර කිරීමට ද ප්‍රතිඥා දුන්නේය.

කෙසේ නමුත් ඉස්ලාමීය හමුදාකරණය සම්බන්ධයෙන් ඔහු තුළ ඇති ආකල්පය රටේ ඉදිරි ගමනට කෙසේ බලපාවිද යන්න විවාදාත්මක ය. අතීතයේ ඔහු දැඩි ලෙසම තලෙයිබාන් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ අයෙකි. නමුත් පසුගිය වර්ෂයේ කියබර් පඛුන්තාවා පළාතේ තිබෙන ඔහුගේ පක්ෂය නායකත්වය දරන පළාත් ආණ්ඩුව විසින් හක්කානියා මර්දාසා හට ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් දුන් බව වාර්තා විය. මර්දාසා හැඳින්වෙන්නේ ‘තලෙයිබානයේ පියා‘ යනුවෙනි.

IMRAN KHAN

boomsbeat.com

එදා 1992 වසරේදී ඉම්රාන් ඛාන් තමන්ගේ කණ්ඩායමට ලෝක කුසලානය දිනා දුන්නේය. අද 2018 දී ඉම්රාන් ඛාන් තමන්ගේ කණ්ඩායමට පාකිස්ථානය දිනා දී තිබේ. දැන් ඔහු පාකිස්ථානයේ සුක්කානම කිනම් දිශාවකට පදවාවිද? ලෝකයම බලා සිටින්නේ ඒ දෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි