×

ඉන්දීය දුම්රිය අනතුර රාවණාගේ ශාපයක්ද?

නොසැලකිලිමත්කම නිසා හැටකට අධික සංඛ්‍යාවක් ඉන්දීය දුම්රියකට යට වෙති.අනතුර සිදුව තිබෙන්නේ අම්රිත්සාර් ප්‍රදේශයේ.


ඉන්දියාවේ උතුරු පන්ජාබයේ අම්රිත්සාර්හි ජොඩා ෆටාක් ප්‍රදේශයේදී ඊයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෝ 61දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 72කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇත. අනතුර සිදු වූයේ 300කට අධික පිරිසක් දුම්රිය මාර්ගයේ ගමන් ගනිමින් දුසෙරා නමැති හින්දු උත්සවයෙහි සැමරුම්වල නියැලෙමින් සිටියදීය.

ජලන්ධාර් සිට අම්රිත්සාර් දක්වා ගමන් ගන්නා අධිවේගී දුම්රියක්, පිරිස ගමන් ගත් දුම්රිය මාර්ගයේ ම ගමන් ගනිමින් තිබී ඇත. දුම්රිය, පිරිස ආසන්නයට පැමිණෙන තුරුම පිරිසෙහි වැඩිදෙනෙකු ඒ බවක් දැන සිට නැත. විශාල වශයෙන් රතිඥ්ඥා පත්තු කරමින් සිටි නිසා දුම්රියේ හඬ කිසිවකුට ඇසී නැති බව සඳහන් වේ. දුම්රිය එන බැව් කිසිවකුගේ අවධානයට ලක් නොවන්නට තවදුරටත් බලපා තිබෙන්නේ, පිරිස ඒ අවස්ථාව වනවිට රාවණා ආකෘතියකට ද ගිනි තබමින් සිටි නිසයි. ගිනිගෙන දැවෙන රාවණා ආකෘතිය තමන්ගේ සිරුරුවලට කඩා වැටෙතැයි කියන බියෙන් එහි සිටි පිරිස් නොසන්සුන්ව දුම්රිය මඟ දිගට එහෙ මෙහෙ යමින් එමින් සිටි බව සඳහන් වේ. තවත් පිරිසක් ජංගම දුරකතන මඟින් මේ සියලු දේ වීඩියෝ කරමින් සිටි බව සිද්ධිය ඇසින් දුටු අය පවසති. එකනෙහිම මතු වූ දුම්රිය පිරිස යට කරගෙන ඉදිරියට ඇදුනු බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

තුවාල ලැබූවන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර කඩිනමින් සහ නොමිලයේ ලබා දෙන්නට පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය අමරින්දර් සිං උපදෙස් ලබා දී ඇත. මේ අතර ප්‍රාන්ත තුළ ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. අද – සෙනසුරාදා දිනයේදී එහි පාසල් සහ කාර්යාල වසා දමා ඇතැයි රොයිටර් වාර්තාවක් පෙන්වා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදී, විපතට පත් අයගේ පවුල්වලට සිය කණගාටුව පළ කර ඇත.

විශාල ආකෘති ගිනිතබා විනාශ කිරීම අන්තරාදායක බැවින් ඒ සඳහා අවසරය ලබා ගත යතු බව ඉන්දීය නීතියෙහි සඳහන් වේ. මෙම උත්සවයේදී ඒ සඳහා අවසරයක් ලබාගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

දුසෙරා නමැති හින්දු උත්සවය පැවැත් වෙන්නේ රාමාගේ ජයග්‍රහණයන් ස්මරණය සඳහායි. ශීර්ෂ දහයක් සහිත අමනුෂ්‍ය රජ කෙනෙකු හැටියට සැලකෙන රාවණාගේ ආකෘති ගිනි තබා විනාශ කිරීම මේ උත්සවය තුළ සිදු කෙරෙන්නකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි