×

ලංකාව මිරිස්කුඩු විදින විට ඉන්දියාව ලෝකයේ වේගවත්ම සුපර්සොනික් මිසයිලය විදියි.

ඉන්දියාව, රුසියානු Sukhoi Su-30 ප්‍රහාරක ජෙට් යානාවේ සිට ලෝකයේ වේගවත්ම සුපර්සොනික් මිසයිලය විද්දේය!


මෙම බ්‍රහ්මොස් මිසයිලය (BrahMos missile) හැම අතකින්ම සාර්ථක වූ බව ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශය සනාථ කළේය.

එය ලෝකයේ ඕනෑම ගුවන් හමුදාවකට සිතාගත නොහැකි තරම් අධිබල ප්‍රතිඵල අත්කර දෙන්නේ යැයි ඉන්දියාව පවසයි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරිය නිර්මලා සීතාරාමන් හමුදාවට සහ මිසයිලය නිෂ්පාදනය කළ බ්‍රහ්මොස් එයරොස්පේස් කණ්ඩායමට සිය සුබපැතුම් එක් කළාය.

මෙවැනි මිසයිලයක් තැනීම පමණක් නොව ඒවා අත්හදා බැලීම ද ඉතා අවදානම්කාරී වන්නේ එහිදී ගුවන් කලාපයේ තිබෙන ගුවන් යානාවලට කිසිදු බලපෑමක් නොකර එය කළ යුතු වන නිසාය. ලොව පුරා මෙවැනි අත්හදා බැලීම්වලදී ගුවන් යානා විනාශ වූ අවස්ථා ද නැතුවා නොවේ.

මේ පරීක්ෂණය සාර්ථක වීමේ අදහස වන්නේ, ඉන්දීය ගුවන් හමුදාවට ඉදිරියේදී බ්‍රහ්මෝස් මිසයිල එක් වනු ඇති බවයි. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සනාථ කරන අන්දමට ඉදිරියේදී බ්‍රහ්මොස් මිසයිලවලින් සන්නද්ධ, ගුවන් යානා 18 කින් යුත් Sukhoi Su-30 ප්‍රහාරක ජෙට් යානා සේනාංක 2 ක් ඉන්දීය ගුවන් හමුදාවට එක් වනු ඇත.

බ්‍රහ්මෝස් මිසයිලය ඉන්දු-රුසියානු හවුල් ව්‍යාපෘතියක ප්‍රතිඵලයකි. ඉන්දියාවේ බ්‍රහ්මපුත්‍ර ගංගාව සහ රුසියාවේ මොස්ක්වා ගංගාවේ මුලකුරු එක් කරමින් බ්‍රහ්මෝස් යන නම එයට ලබා දෙනු ලැබිණි. මෙම සුපර්සොනික් කෘෘස් මිසයිලය, ශබ්දයේ වේගය මෙන් 3 ගුණයක් වේගවත් ය. කිලෝමීටර 290 ක පරාසයක් තුළ පිහිටා ඇති ඉලක්ක ගැනීමට එයට හැකියාව තිබේ. එහි බර ටොන් 2.5 ක් පමණ වේ.

පැහැදිලිවම පෙනී යන්නේ, සිය රට තුළ කිනම් දේශපාලනික අර්බුදයක් පැවතුණත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දියාව ලෝකයේ ඉදිරියට ගෙන යාම සඳහා තාක්ෂණික සංග්‍රාමයක් අරඹා ඇති බවයි. එය සෑම ක්ෂේත්‍රයක් වෙතම විදාරණය වන්නකි. පසුගිය සතියේ මෙම වෙබ් අඩවියේම පළ කළ පුවතකින් කියැවුණේ මෝදිගේ මැදිහත් වීම මත, එලන් මස්ක්ගේ හයිපලූප් දුම්රිය ලබන වසරේදී ඉන්දියාවට පැමිණෙන බවයි. පොළොව මතුපිට තැනෙන නළ පද්ධතියක් හරහා විදුලි වේගයෙන් දුවන හයිපලූප් නිසා, මෝටර් රථයක වේගය මෙන් 4 ගුණයක වේගයකින් මුම්බාය සහ පූනේ දෙනුවර යා වනු ඇත. අද දිනයේ ඔවුන් ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක් වන ලෝකයේ වේගවත්ම සුපර්සොනික් මිසයිල සාර්ථක ලෙස අත්හදා බලා තිබේ.

ඉතින් ඉන්දියාව සුපර් සොනික් මිසයිල විදින විට, ඉන්දියාවෙන් පැමිණි ‘ආර්යයන්‘ගෙන් පැවතගෙන එන්නේ යැයි පම්පෝරි ගසන ශ්‍රී ලංකාවේ අපි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුටු සහ මිරිස්කුඩු වතුර විදිමින් සිටින්නෙමු!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි