×

කරුණානිධි රෝහලට

තමිල්නාඩු දේශපාලනය තුළ අති ප්‍රබල චරිතයක් සේ සැලකෙන හිටපු මහඇමති කරුණානිධි රෝහල් ගත කර තිබේ. දින ගණනාවක් නිවසේ සිට ලබාදුන් ප්‍රතිකාරවලින් පසුව චෙන්නායි රෝහල වෙත හදිසියේම ඇතුළත් කරනු ලැබීය.


ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් (DMK) පක්ෂයේ නායක එම්. කරුණානිධි 94 හැවිරිදි ය. රුධිර පීඩනය ආශ්‍රිත ගැටළු හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්වයෙන් පසුවන බවට ද මීට පෙර කියැවුණු නමුත් ඔහුගේ පුත්‍රයා වන එම්.කේ. ස්ටාලින් පවසා තිබෙන්නේ පියාගේ තත්වයේ මද සුවයක් දැකගත හැකි බවයි. කටකතා වලට නොරැවටෙන ලෙසට ද ඔහු DMK පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්දියානු පුවත්සේවා වාර්තා කරන්නේ පක්ෂ ආධාරකරුවන් පසුගිය දින කිහිපය පුරාම කරුණානිධිගේ මන්දිරය අසල කඳවුරු බැඳගෙන සිය නායකයාට ඉක්මන් සුවය පතමින් කල් ගත කළ බවයි.

NewsX

Karunanidhi

මේ අතර අද අළුයම කරුණානිධි ව හදිසියේ රෝහල්ගත කර තිබෙන්නේ ස්ටාලින්ගේ නිවේදනයෙන් මද වේලාවකට පසුව බව ද වාර්තා වේ.

එම්. කරුණානිධි, තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරයා වශයෙන් 5 වතාවක් කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ දමිල වාර්ගික අර්බුදය ඔහුගේ ප්‍රියතම මාතෘකාවක් විය. දැනට වසරක පමණ කාලයක පටන් රෝගී තත්ව හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියේ දැක ගත හැකි වන්නේ කලාතුරකිනි.

කරුණානිධි 30 වසරක සිනමා ජීවිතය හේතුවෙන් ද ඉන්දියාව තුළ අතිශයින් ජනප්‍රිය චරිතයකි. එසේම දකුණු ඉන්දීය සිනමාවේ තවත් දැවැන්තයෙක් වන සිවාජි ගනේෂන්ගේ අති ජනප්‍රිය වූ ‘පරශක්ති‘ චිත්‍රපටයේ තිර රචකයා වන්නේ ද කරුණානිධි ය. දමිල සිනමාවේ ත්‍රිමූර්තියේ තවත් සාමාජිකයෙක් වන MGR හට කීර්තිය ගෙන දුන් ‘මන්ත්‍රීකුමාරි‘ චිත්‍රපටය ද ඔහුගේ රචනයකි.

Parasakthi| The Hindu

70 වසරකට අධික දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක සිය ආසනය පරාජය නොවූ දේශපාලකයා වශයෙන් ද ඉන්දීය දේශපාලනය තුළ ඔහු වාර්තාවක් තබා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි