×

කේරළයට දස ගුණයක වැසි! – මිය ගිය ගණන 324 දක්වා ඉහළට

කේරළයේ මේ දිනවල පවතින අධික ගංවතුර තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවල දැක්වේ. අවදානම තවමත් පහව ගොස් නැත.


අගෝස්තු 8 වැනිදා පටන් ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කේරළ ප්‍රාන්තයෙන් ගංවතුර සහ නාය යෑම් ගණනාවක්ම වාර්තා වේ. ඊයේ දිනයේ පමණක් මරණ 30 ක් වාර්තා විය. ඉන්දියානු මාධ්‍ය පවසන්නේ කේරළයට මේ වන විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා දස ගුණයක වර්ෂාවක් ලැබෙමින් පවතින බවයි. Kerala Floods

ත්‍රිසූර් දිස්ත්‍රික්කයට අයත් චාලකුඩි නගරය, පෙරියාර් ගඟ පිටාර ගැලීමත් සමග සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, එම ගම්මානය දැන් ජලාශයක් ලෙස දිස්වන බව ද විදෙස් වාර්තාවන් හි දැක්වේ. චාලකුඩි පාලම අවට පොලිස් භටයන් 50 දෙනෙකුට වඩා රඳවා තබා තිබෙන ආකාරය ද දැකගත හැකිය.

The Indian Express

The Indian Express

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් හරහා පවසා තිබුණේ කේරළ මහ ඇමති ශ්‍රී පිනරායි විජයන් සමග දුරකථන සංවාදයකින් පසුව ගළවා ගැනීමේ මෙහෙයුම් වලට අවශ්‍ය වැඩිදුර කටයුතු කඩිනම් කළ බවයි. අද දිනයේ පැවැත්වෙන හිටපු අගමැති අතල් බිහාරි වජ්පායිගේ අවමංගල්‍යයට සහභාගි වීමෙන් අනතුරුව මෝදි කෙළින්ම කේරළයේ කොචී නුවර බලා පිටත්ව යාමට නියමිත ය.

කොචී නගරය ද ගං වතුර හේතුවෙන් විශාල විනාශයකට මුහුණ දී සිටින නගරයකි.

කේරළයේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත වන මුන්නාර් සහ පොන්මුඩි ද මේ වන විට ගංවතුර අවදානමට මුහුණ දී සිටියි. මාර්ග කැඩීයාම සහ නාය යාම් නිසා ඒවා වෙත පිවිසීම මෙන්ම පිටවීම ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. රජයේ නිල වාහන හැර කිසිදු වාහනයකට මුන්නාර් වෙත පිවිසීම තහනම් කර ඇති අතර පෙරියාර් කොටි රක්ෂිතය තුළ පිහිටා තිබෙන කඳුකරබද සබරිමාලා කෝවිල ද නරඹන්නන් හට තහනම් කලාපයක් බවට පත් කර ඇත. එයට හේතු වී තිබෙන්නේ පම්පා ගංගාවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබීමයි.

Kerala-Floods | News18.com

Kerala-Floods | News18.com

මේ වන විට කේරළයේ ටෙලිකොම් සමාගම් සියලුම ඇමතුම් සහ දත්ත නොමිලේ ලබාදෙමින් සිටින අතර, දින 7 ක් සඳහා බිල් ගෙවීමේ කාලය ද දීර්ඝ කර තිබේ.

මේ අතර සමාජ ජාල හරහා ගංවතුර තත්වය සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පැතිරවීම සම්බන්ධයෙන් කේරළ මහ ඇමති විජයන් දැඩි අවවාදයක් ද නිකුත් කර ඇත. මුල්ලපෙයරියාර් බැම්ම කැඩී යන බවට පතුරවා තිබූ ව්‍යාජ පුවත් මේ සඳහා හේතු වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි