×

සමරිසි භාවය අපරාධයක් නොවේ. – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරයි. LGBT ව්‍යාපාරයේ දැවැන්ත ජයග්‍රහණයක්

සමරිසි භාවය හෝ සමරිසි ලිංගික හැසිරීම් ඉන්දියාව තුළ තවදුරටත් අපරාධමය වරදක් නොවන බව ප්‍රකාශ කරමින් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයකින් සමන්විත ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ඓතිහාසික තීන්දුවක් ලබාදුන්නේය.


එහිදී ඔවුන් ප්‍රකාශ කළේ සමරිසි භාවය ස්වභාවික සහ පුද්ගලික කාරණයක් වන හෙයින් එය අපරාධ වරදක් ලෙස නොසැලකිය යුතු බවයි.

සමරිසිභාවය හෝ සමලිංගික හැසිරීම් ලංකාව තුළ දණ්ඩ නීති සංග්‍රහයෙන් තහනම් කර ඇති අපරාධ වරදකි. එය අස්වාභාවික සහ සාපරාධී ක්‍රියාවක් බව දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්තිවල දැක්වේ. ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහය තුළ ද මෙම අර්ථය සහිත 377 වගන්තිය පවතින අතර, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද දිනයේ ප්‍රකාශ කළේ මෙම හැසිරීම් සාපරාධී යැයි සැලකීම අතාර්කික බවයි.

‘‘මම මා ලෙස පිළිගන්න“ යැයි අගවිනිසුරු දීපක් මිස්රා සිය ඓතිහාසික තීන්දුව දෙමින් කියා සිටියේය. ‘‘කිසිවෙකුට තමන්ගේ පුද්ගලිකත්වයෙන් ගැළවී පළා යන්නට බැහැ. සමාජය මේ නව විට පුද්ගලිකත්වය සඳහා යහපත් තැනක් විය යුතුයි.“

‘‘තනි පුද්ගල කැමැත්තට ගෞරව කිරීම නිදහසේ සාරයයි. LGBT ප්‍රජාවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සම අයිතිවාසිකම් හිමි වෙනවා“ යැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ 1861 දණ්ඩ නීති සංග්‍රහය අනුව පුරුෂයන් දෙදෙනෙකු අතර සිදුවන අශෝභන ලිංගික ක්‍රියාවක් සාපරාධී වන අතර, වසර 10 දක්වා සිරගත කළ හැකි විය.

2007 වසරේදී ඉන්දියාවේ නෑෂ් පදනම නඩු ගණනාවක් මගින් සමලිංගිකත්වය සාපරාධී වරදක් නොවන බවට පත්කර ගැනීම සඳහා අධිකරණමය කටයුත්තකට මුල පුුරා සිටියේය. එහිදී දිල්ලි මහාධිකරණය පැවසුවේ 377 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවයි.

නමුත් 2013 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිල්ලි මහාධිකරණ නියෝගය අවලංගු කළේය. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ යල් පිනූ ‘අක්‍රමවත් නීති‘පිළිබඳ තීරණ ගැනීම පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක් බවයි.

ඉන්දියාවේ සමරිසි අයිතිවාසිකම් ව්‍යාපාරයේ පසුබෑමක් මෙයින් සලකුණු වුවද, මෙවර 2018 නඩු තීන්දුව මගින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හරහා 2013 පසුගාමී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආපස්සට හරවයි.

ඒ අනුව මින් ඉදිරියට ඉන්දියාවේ බලපැවැත්වෙනු ඇත්තේ අද දිනයේ ප්‍රකාශයට පත් කළ, ‘‘සමරිසිභාවය සාපරාධී වරදක් නොවේ‘ යන්නයි. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෙසු පුද්ගලයන්ට හිමි සියලු අයිතිවාසිකම් ද ඒ අයුරින්ම සමරිසි ප්‍රජාවට අද පටන් හිමි වේ.

මෙම ඓතිහාසික නඩු කටයුත්තට මෙවර මුලපිරුවේ භරත්නාට්‍යම් ශිල්පී නව්තෙජ් සිං ජොහාර්, මාධ්‍යවේදී සුනිල් මේරා, තානායම්කරුවෙකු වන රිතූ දල්මියා, නීම්රානා හෝටල් සමූහයේ සම හිමිකරු වන අමන් නාත් සහ ව්‍යාපාරික කාන්තාවක් වන අයේෂා කපූර් විසිනි. ඔවුන් විසින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වලට පහර දෙන දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොනු කර තිබිණි. නීතිය ඉදිරියේ සමානාත්මතාවය,  සහ ජාතිය, ආගම, කුලය හෝ ලිංගිකත්වය මත සිදුකරන වෙනස්කොට සැලකීම්වලට ලක් නොවී සිටීමේ අයිතිය මෙමගින් උල්ලංඝනය වන බවට තර්ක කර සිටියහ.

මෙම පස්දෙනාට ‘සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා රටේ ඉහළම උසාවියේ සහාය පැතීම‘ නිසා කුපිත වූ ජනතාව හේතුවෙන් නඩුවේ තීන්දුව ලබාදෙන තෙක් සැඟවී කල් ගත කිරීමට සිදුවූ බව ද වාර්තා වේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි